සිංහල වේදිකා නාට්‍ය අඹරෙහි පායා දිදුළ ගුරුතරුව බැස ගොසින් තෙවසරකි

405

ජයලත් මනෝරත්නගේ ගුරුතරුව නාට්‍යයෙන් අද ජනවාරි 12 වැනි දා 2023 ටවර් රඟහල අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය වර්ණවත් වේ. මීට වසර තුනකට පෙර අද වන් දිනෙක ජයලත් මනෝරත්න නම් වූ විශිෂ්ටයා දිවි සැරිය නිමා කළේ දශක පහක පමණ කාලයක් තුළ ඔහුගේ නම ඉදිරියේ සටහන් වී ඇති නිර්මාණ සම්ප්‍රදාන ගොන්නක් අප අතර ඉතිරි කරමිනි. අද දින රඟ දැක්වෙන ගුරුතරුව නාට්‍යය පමණක් වුව ඔහුගේ කලා භාවිතයෙහි ප්‍රතිභාන්විත පරිකල්පනීය කෞශල්‍යයට නිදසුන් ය. 1996 රාජ්‍ය නාට්‍ය උලෙළේ දී හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය රචනයට හිමි සම්මානය හා එම වසරේම රාජ්‍ය සාහිත්‍ය උලෙළේ දී හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය කෘතියට හිමි සම්මානය යන සම්මාන ද්වයම මනෝරත්න විසින් දිනා ගනු ලබන්නේ එබඳු සම්මන ද්වයක් දිනාගත් ප්‍රථමයා ලෙස යයි හඟිමි.

සිංහල වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයෙහි නාට්‍ය රචනයෙන්, අධ්‍යක්ෂණයෙන්, හා රංගනයෙන් සම්මන දිනූ අන් කවර හෝ නිර්මාණකරුවකු නොවේ. ඔහුගේ භූමිකා මෙන් ම ඔහු ද අතුල්‍ය (Unique) වන්නේ එබැවිනි. පසු ගිය කාලය පුරා මවිසින් ඔහු පිළිබඳ ලියන ලද ලිපි ලේඛන බොහොමයක ඔහු One and Only Mano… ලෙස හැඳින්වූයේ එබැවිනි. එනිසාම ඔහුගේ වියොවින් ඇති වූ රික්තය කිසි දිනක පුරවා ලිය නොහැක්කක් යයි අපට සිතේ. ඊට ප්‍රධාන සාධකය වන්නේ මනෝරත්න යනු වේදිකාවෙහි පමණක් දස්කම් විස්කම් පෑ චරිතයක් නොවන බැවිනි. රූපවාහිනියෙහි ඔහු රූපවාහිනී නාට්‍ය රචකයා ය. අධ්‍යක්ෂවරයා ය. රංගධරයා ය.

සම්ප්‍රවේශකයා ය. සිනමාවෙහි එතෙර මෙතෙර සම්මානලාභී රංගධරයා ය. සාහිත්‍යයෙහි දී කවියා ය. කෙටිකතාකරුවා ය, ගේය කාව්‍ය රචකයා ය. ඉදින් මනෝ පෙළහර පෑ මෙම ක්ෂේත්‍ර තුළ බහුවිධ කුසලතා සතු වූ නිර්මාණකරුවකු වේ නම් හේ මනෝරත්න පමණක් ම වන්නේ ය. ඔහු අපට අහිමි වූයේ අපගේ ම අවාසනාවට ය. කලාකරුවන් යයි කියාගන්නා ඊනියා බොල් චරිත හමුවේ මනෝරත්න ප්‍රදීපස්ථම්භයක් සේ ආලෝකය පතුරුවමින් අද පරම්පරාවට මග පෙන්වයි.

මහගිරිදඹ ස්වතන්ත්‍ර නාට්‍ය රචනයෙන් 1980 දී මනෝ තම නාට්‍ය කලා ජීවිතයේ නිෂ්පාදක රචක භූමිකාව අරඹයි. එතැන් සිට 2016 දී හඬ නිහඬ රචනා කොට නිෂ්පාදනය කරමින් නිහඬ වනතෙක් ඔහුගේ නම ඉදිරියේ සටහන් වී ඇති නිෂ්පාදන රැසකි. ප්‍රසන්න විතානගේ විසින් පරිවර්තනය කරන ලද පුත්‍ර සමාගම හැරුණ කල ජයලත් මනෝරත්න විසින් රචනා කොට නිෂ්පාදනය කරන ලද සම්මාන ලත් නාට්‍ය නිෂ්පාදන රැසකි. ඔහුගේ නාට්‍ය නාමාවලිය අතරෙහි, තල මල පිපිලා, ගුරුතරුව, අන්දරේලා වැනි නිර්මාණ වෙසෙසි වේ. අපගේ මහා නාට්‍යකරුවන් කිහිප දෙනාගෙන් එක් අයෙකු වූ දයානන්ද ගුණවර්ධන පසු කාලයේ මධුර ජවනිකා, ගජමන් පුවත වැනි නාට්‍ය සඳහා තම නිෂ්පාදන ශෛලිය ලෙස තෝරාගත් වාර්තා රංගය (Docu Theatre) අනු දත් මනෝරත්න ගේ බොහෝ නිෂ්පාදන වාර්තා රංග හෝ අර්ධ වාර්තා රංග ශෛලියෙන් නිර්මාණය වූ රංග කාර්යය වේ. මනෝරත්නගේ එබඳු නිර්මාණ නාමාවලිය තුළ අන්දරේලා, සඳගිර, කනේරු මල්, සුදු රෙදි හොරු, සෙල්ලම් නිරිඳු, හඬ නිහඬ ආදී වූ නාට්‍ය රැසක් හමුවෙතත්, ඒ සියල්ල අතර ඉන්ද්‍රඛීලයක් සේ මතු වී පෙනෙන්නේ ගුරුතරුව යයි කීම නිවරද යයි සිතමි.

ජයලත් මනෝරත්න නම් වූ නාට්‍ය නිෂ්පාදකවරයාට ඔහු තුළ ජීවත් වූ සාහිත්‍යධරයා මෙන්ම ඔහු තුළ වූ නිසඟ රංගන ප්‍රතිභාව ද කලාත්මක නාට්‍ය නිර්මාණ අභ්‍යාසයක් සඳහා සෘජුව ම බල පෑ බව නොරහසකි. ජන රඟ මඬල ආශ්‍රයෙන් තලමල පිපිලා වැනි රංග කාර්යයක නිෂ්පාදන ආකෘතිය සකස් කරගන්නා මනෝ ගුරුතරුවෙහි දී අර්ධ වාර්තා රංගයකට සමීප නිෂ්පාදන ශෛලියකට සමීප වේ. සාහිත්‍යයෙහි දස්කම නිසාම ඔහු ගේ නාට්‍යමය සංවාද, භාෂාව ව්‍යංගාර්ථ බාහුල්‍යයෙන් ද තියුණු උපහාසයෙන් ද විරෝධාකල්පයෙන් ද යුතුය. ගුරුතරුව මගින් මෙරට පාසල් අධ්‍යාපන රටාව, දේශපාලක භූමිකාව, වාණිජකරණය වැනි සමාජ සංස්ථා පිළිබඳ නිරීක්ෂණානුභූතියක් වේදිකාව මත ප්‍රතිනිර්මාණය කරනු දකින්නට හැකිය. ගුරුතරුවෙහි ප්‍රධාන චරිත වන මුල් ගුරුතුමා, සාහිත්‍ය ගුරුවරයා, සංගීත ගුරුවරිය ප්‍රධාන කොට ගත් චරිත හා සමාජ අසාධාරණයෙන් බැටකන සිසුන් පිළිබඳ සංවේදී ජීවිතානුභූතියක් අපූරු රංග කාර්යයක් බවට පත් කිරීමෙහි ලා මනෝරත්න දක්වන ඇති පරිණතබව පැසසුම් සහගතය. ඔහුගේ භාෂාව සතු උපහාසයෙහි හා විරෝධාකල්පයෙහි ප්‍රබල බව කියාපාන එක් සංවාදයකි මේ.

මුල් ගුරුතුමා: හැබෑවටම මහත්තයො දැන් ඔය මැටි වැඩාරව මේවා ඉගෙන ගත්තොත් ඔය කළ ගෙඩියක් මුට්ටියක්වත් හදාගන්න පුළුවන්. ඔය සාහිත්‍ය ඉගෙන ගෙන මොනවද කරන්නේ ?

සාහිත්‍ය ගුරුතුමා : සාහිත්‍යයෙන් නේද? (කෝපයෙන්) සාහිත්‍යයෙන් කරන්නේ ඔය කෙළින් කරල තියෙන කොන්ද උඩ තියෙන මැටි මුට්ටියට රත්හරන් පුරෝගන්නවද අසූචි පුරෝගන්නවද කියල තෝරල බේරල ගන්න එක.

ජයලත් මනෝරත්න යනු හුදු නාට්‍ය රචකයකු, නිෂ්පාදකවරයකු පමණක් නොවේ. සමාජ විඥානයෙන් යුත් අද වැනි දවසකට අවශ්‍ය ජන හද ආමන්ත්‍රණය කළ හැකි නිර්භීත කලාකරුවෙකි. විශිෂ්ට රංගධරයෙකි. සාහිත්‍යධරයෙකි. කෙටිකතා, පද්‍ය හා ගේය කාව්‍ය රචකයෙකි. ඒ සියල්ලටම වඩා මනුස්සකමින් පිරුණු හදැති කලාකරුවෙකි.

එවැන්නන් විරල සමාජයක ජයලත් මනෝරත්න සරදාකාශයෙහි පායා ආ සඳක් සේ ආලෝකය පතුරමින් අප අතර සිටින්නාක් සේ දැනේ.

● බුද්ධදාස ගලප්පත්ති
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment