සිංහල සාහිත්‍යයේ රුසියානු මුද්‍රාව – සිරිල් සී. පෙරේරා

564

නිර්මාණාත්මක කාව්‍ය සහ ගද්‍ය සාහිත්‍යය වෙනත් භාෂාවලට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය සාහිත්‍ය පරිවර්තනය යනුවෙන් හැඳින්විය හැකි ය. එකී සාහිත්‍යාංග පුළුල් ප්‍රේක්ෂක පිරිසකට ප්‍රවේශ විය හැකි තත්ත්වයට පත් කිරීම මෙහි අරමුණ යි. මෙහි දී පරිවර්තනය සඳහා සුදුසු කෘති තෝරාගැනීමත්, පාඨකයන්ට ආගන්තුක එම සමාජ සංස්කෘතීන්, චරිත සහ පරිසර තත්ත්වයන් ඔවුනට ඉතා සමීපත්වයක් දැනෙන අයුරින් ඉදිරිපත් කිරීමත් මෙහි ලා බෙහෙවින් වැදගත් වේ.

මෙරට පරිවර්තන සාහිත්‍යයට එවන් අමිල මෙහෙවරක් සිදුකළ කෘතහස්ත පරිවර්තකයන් අතර ඒ. පී. ගුණරත්න, ඊ. ආර්. එරත්න, කේ. ජී. කරුණාතිලක, දැදිගම වී. රුදිගු, පද්ම හර්ෂ කුරණගේ, සිරිල් සී. පෙරේරා, ඉන්ද්‍රාණි රත්නසේකර, ඩී. පී. සමරසිංහ, ආරිය රාජකරුණා, චින්තා ලක්ෂ්මී සිංහාරච්චි වැනි පරිවර්තක – පරිවර්තිකාවන් අපට කිසිසේත් ම අමතක කළ හැකි නොවේ.

ඒ අතරින් සිරිල් සී. පෙරේරා සූරීන්ට මෙරට පරිවර්තන සාහිත්‍ය තුළ සුවිසෙස් තැනක් හිමිවන්නේ ලෝක ප්‍රකට නවකතා, කෙටිකතා, කවි, ළමා කතා ආදී සාහිත්‍ය කෘති රැසක් මෙන් ම, උසස් විදෙස් නාට්‍ය ගණනාවක් ම සිංහල පාඨකයාට සමීප කිරීමෙහි ලා ඔහු දැක්වූ දායකත්වය නිසා ය. පරිවර්තනය සඳහා කෘති තෝරාගැනීමේ දී සමහර වත්මන් පරිවර්තකයන් මෙන් මාරක කතා සහ අද්භූත කතා සොයා නොගිය ඔහු ඒ සඳහා විශ්ව සාහිත්‍යයේ සම්භාවනාවට පාත්‍ර වූ කෘති පමණක් සොයා ගැනීමට වගබලා ගත්තේ ය.

ඔහුගේ පරිවර්තන කෘති අතර දැවැන්ත ම සහ දුෂ්කරතම පරිවර්තනය ලෙස සැලකෙන්නේ ලියෝ තෝල්ස්තෝයි විසින් විරචිත උ්ර ්බා ඡැ්ජැ නම් දැවැන්ත නවකතාව අරභයා ඔහු විසින් සිදුකරන ලද ‘යුද්ධය හා සාමය’ නම් කාණ්ඩ දහයකින් සමන්විත සිංහල පරිවර්තනය යි.

ලියෝ තෝල්ස්තෝයි උ්ර ්බා ඡැ්ජැ නමැති මෙම මහා කෘතිය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු එවකට ලොව පුරා සිටි සාහිත්‍යකරුවන් අතර මෙම කෘතිය පිළිබඳව පුළුල් කතිකාවක් ඇති වූ බවත්, අවසානයේ එය නවකතා ගොඩට දැමිය හැකි තවත් එක් නවකතාවක් නොව, පුළුල් ජීවන වෘත්තාන්තයක් යැයි ප්‍රකාශ කරන්නට තෝල්ස්තෝයිට සිදු වූ බවත් අපි කියවා ඇත්තෙමු.

ඔහුගේ එම දැවැන්ත නිර්මාණය ‘යුද්ධය හා සාමය’ නමින් සිංහලයට නැගුණු පසුව ඒ සම්බන්ධයෙන් මෙරට විද්වතුන් අතර ඇති වූ කතා බහ ඊට වෙනස් මගක් ගත්තේ ය. මේ සම්බන්ධ වඩාත් ම සාහසික ප්‍රකාශය සිදුකරන ලදැයි සඳහන් වන්නේ ගූණදාස අමරසේකර සූරීන් ය. නිවැරදිව ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට හෝ නොහැකි පරිවර්තකයන් සිටින ලංකාවේ තෝල්ස්තෝයිගේ උ්ර ්බා ඡැ්ජැ වැනි කෘතියක් සිංහලයට පරිවර්තනය කිරීම සිහිනයක් බව ඔහු වරක් ඉංග්‍රීසි බසින් කරන ලද පුවත්පත් සාකච්ඡාවක දී සඳහන්

කළේ ය. ඉන්පසුව ඊට විරුද්ධවත්, පක්ෂවත් බොහෝ මත පළවිණි. ඊට විරුද්ධ මතයක් දැරූ රෙජී සිරිවර්ධනයන් පවසා තිබුණේ ලංකාවේ එවැනි සමත්කමක් කරන්නට හැකි පුද්ගලයන් අනිවාර්යයෙන් ම සිටින බව ය.

ගුණදාස අමරසේකරයන්ගේ මේ කතාව තදින් ම දැනුණු ඒ වනවිටත් විදෙස් කෘති ගණනාවක් සිංහල බසට පෙරළා සිටි සිරිල් සී. පෙරේරා සූරීහු අමරසේකරයන්ගේ මෙම අභියෝගය තමන් භාරගත යුතු යැයි තීරණය කළෝ ය. එය කෘතහස්ත අනුවාදයක් ලෙස ‘යුද්ධය සහ සාමය’ නමින් සිංහල පාඨකයා වෙත පිවිසෙන්නේ ඒ අනුව ය.

පළමුව ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු සිදුකළ සිරිල් සී. පෙරේරා සූරීන්ට විදෙස් සාහිත්‍ය ඇසුරු කරන්නට එම ඉගෙනුම මහත් පිටිවහලක් වී ය. පසුකලෙක එය ඔහුගේ සාහිත්‍ය පරිවර්තන කාර්යයට ද ඉමහත් ලෙස බලපෑවේ ය. සිය පියාගේ අභාවයෙන් පසු සිංහල බසින් අධ්‍යාපන කටයුතුවලට යොමු වන්නට සිදුවීම ද, ඩබ්ලිව්. ඒ. සිල්වා, මුණිදාස කුමාරතුංග වැන්නන් ඇසුරු කරන්නට ලැබීම ද සිංහල භාෂා දැනුම වර්ධනය කරගැනීම ස‘දහා ඔහුට උපස්ථම්භක වී තිබේ.

‘ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත’ යන්න බොරු කරමින් ලේඛන කටයුතවලට අමතරව ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියකු හා ගෘහ නිර්මාණ ශිල්පියකු ලෙස ද කටයුතු කළ බව දන්නේ ඉතා සුළු පිරිසකි. ඔහුගේ තෙලිතුඩින් නිර්මාණය වූ මනරම් සිතුවම් කලාගාරයක් වන් ඔහුගේ නිවසේ අදටත් තැන්පත් කර තිබීම ඊට කදිම සාක්ෂියකි.

ගෘහ නිර්මාණ ශිල්පය හැදෑරීම සඳහා මරදාන කාර්මික විද්‍යාලයට ඇතුළත් වූ ඔහුට ඔස්ටේ්‍රලියාවට ශිෂ්‍යත්වයක් ලැබුණු අතර, පහසුවෙන් ම එරට පුරවැසිභාවය ලබාගැනීමට තිබූ අවස්ථාවක් ද අතහැර ඔහු නැවත සියරට පැමිණෙන්නේ තම මව්බිමට තිබූ සැබෑ ආදරයෙනි. මෙරට බොහෝ රෝහල්, බෙහෙත් ශාලා ආදියෙහි සැලසුම් එසේ පැමිණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගොඩනැගිලි නිර්මාණ ශිල්පියකු ලෙස සේවයට බැඳුණු ඔහුගේ නිර්මාණශීලිත්වයෙන් බිහිවූ ඒවා බව බොහෝ දෙනා නොදනිති.

වෘත්තීය ජීවිතය අතරතුර ම සාහිත්‍ය පරිවර්තනයට යොමු වූ සිරිල් සී. පෙරේරා සූරීන්ගේ පාඨක-ප්‍රකාශක ආකර්ෂණය වඩාත් දිනාගත් පළමු කෘතිය බවට පත්වන්නේ චාල්ස් ඩිකන්ස්ගේ ‘ක්‍රිස්මස් කැරොල්’ නමැති කෘතියට ඔහු කළ ‘නත්තල් ගීතය’ නම් සිංහල පරිවර්තනය යි.

රුසියානුවකු තරම් ම රුසියානු සාහිත්‍යයට ආදරය කළ වෙනත් සිංහල ලේඛකයකු එවක සිටියේ දැයි සිරිල් සී. පෙරේරා සූරීන්ගේ රුසියානු පරිවර්තන පරිශීලනය කරන අපට සිතේ. එතරම් ම තදින් හද ඇද බැඳ තබාගන්නා ඔහුගේ පරිවර්තන කෘති සෑම එකක් ම ඔහු හැඳින්වූයේ පරිවර්තන ලෙස නොව, අනුවර්තන ලෙස ය.

පරිවර්තනය යනු එක් තැනක සිට තවත් තැනකට ගෙන යෑමක් බවත්, අනුවාදය යනු එක ම දෙයක් වෙනත් අයුරකින් යළි පැවසීම බවත් විශ්වාස කළ ඔහු, පාරිභාෂික පදයක් වන ‘පරිවර්තනය’ යන පදය කිසියම් ශාස්ත්‍රීය පෙළක් පරිවර්තනය කිරීමක් හැඳින්වීම සඳහා යෙදිය හැකි පදයක් බව ප්‍රකාශ

කළේ ය. සාහිත්‍ය පරිවර්තනයේ දී සිදුවන්නේ අනුවාදයක් බවත්, අනුවාදකයාට නිශ්චිත ආකල්පයක් තිබිය යුතු බවත් විශ්වාස කළ සිරිල් සී. පෙරේරා සූරීහු අනුවර්තනය කරන කෘතියේ එන අත්දැකීම්, චරිත සහ පරිසරය පාඨකයාට සමීප වන ලෙස ගොඩනැගීමට අනුවාදකයාගේ පරිකල්පන ශක්තිය බෙහෙවින් වැදගත් වන බවත් පෙන්නා දුන්නෝ ය.

ඔහුගේ මේ අදහස විවේචනයට ලක්කරමින් ප්‍රවීණ පරිවර්තකු වූ කේ. ජී. කරුණාතිලකයන් ප්‍රකාශ කර සිටියේ, අනුවාදය හේතුවෙන් මුල් කෘතීන්ට බරපතළ හානියක් සිදුවන බවත්, මුල් කෘතියේ ගුණාංග ඉස්මතුවන්නේ ඉතාමත් මඳ වශයෙන් බවත් ය. මේ සම්බන්ධ අදහස් දක්වමින් තමන් අනුවාදයේ යෙදෙන්නේ අදාළ මුල් කෘති තුළ ජීවත්වෙමින් බවත්, ඒ නිසා කිසිදිනක තමන්ගේ අනුවාදයන් හරහා මුල් කෘතියේ ජීවගුණයට හානිවූ බව තමන් කිසිසේත් ම පිළිනොගන්නා බවත් ඔහු ප්‍රකාශ කර තිබිණි.

සිරිල් සී. පෙරේරා සූරීන් විසින් ප්යෝදර් දොස්තයෙවුස්කි, නිකොලායි ගොගොල්, ඉවාන් තුර්ගිනිෆ්, ඇන්තන් චෙකොෆ්, මිහායිල් ෂෝලහොව් වැනි ප්‍රකට සෝවියට් ලේඛකයන්ගේ කෘති

රැසක් මෙන් ම, යුරෝපා, ඇමරිකානු සහ අප්‍රිකානු ලේඛකයන්ගේ කෘති කිහිපයක් ද සිංහලයට නගනු ලැබී ය. එම බොහෝ කෘති අනුවාදයට නැගීමේ දී සිංහල පාඨකයාට ආගන්තුක සංස්කෘතිකාංග, චරිත සහ පරිසරය එවන් පිටස්තර බවක් නොදැනෙන්නට පාඨකයාට සමීප කිරීමෙහි ලා ඔහු පළකළ ශක්‍යතාව එම කාර්යයේ නිරතව සිටින වත්මන් පරිවර්තකයන්ට ද මහඟු මග පෙන්වීමක් වනු ඇත.

ඔහුගේ අනුවර්තන සාහිත්‍ය අස්වැන්න අතර ‘නත්තල් ගීතය’ – චාල්ස් ඩිකන්ස්, ‘මළ මිනිස්සු’ – නිකොලායි ගොගොල්, ‘එමා බෝවාරි’ – ගුස්තාව් ෆ්ලෝබෙයාර්, ‘මහල්ලා සහ මුහුද’ – අර්නස්ට් හෙමිංවේ, ‘ෂේන්’ – ජැක් ෂෙෆ්, ‘පෙරළුැ නැවුම් පස’ – මිහායිල් ෂෝලහොව්, ‘නීලෝදකය’ – ක්‍රිස්ටෝපර් රෙන්, ‘වෘකයන් අතර නග්නව’ – බෲනෝ ආර්පිස්ට්, ‘කරමසෝ සහෝදරයෝ’ – පියදෝර් දොස්තොයෙවුස්කි, ‘ගැඹුරු මුහුද’ – ආතර් සී. ක්ලාක්, ‘ජීවිතයේ සරල කතාවක්’ – නිකොලොයි එව්. ද කිමෝච්, ‘ධවල තල්මසාගේ කතා පුවත’ – හර්මන් මෙල්විල්, ‘යුද්ධය හා සාමය’ – ලියෝ තෝල්ස්තෝයි, ‘විකීගේ පාසල් සමය’ – චිනුවා අචිබි, ‘දිබ්බ චක්කු’ – ලොබ්සාන් රම්පා, ‘පෙමතො ජායති සොකො’ – ලියෝ තෝල්ස්තෝයි, ‘දස දවස’ – ඩිකැමරන් මොකෑෂියෝ යන නවකතා ප්‍රධාන තැනක් ගනී.

ඊට අමතරව ඔහු පොත් වශයෙන් පළකරන ලද කෙටිකතා සංග්‍රහ අතර ලියෝ තෝල්ස්තෝයිගේ කෙටිකතා සංග්‍රහ දෙකක් ද, ඇලෙක්සැන්ඩර් පුෂ්කින්, ගී ද මෝපසාන්, ප්යෝදර් දොස්තයෙව්ස්කි, ඕ. හෙන්රි, කර්නාර් සිං ඩුගාල් යන ලේඛකයන්ගේ කෙටිකතා සංග්‍රහ එක බැගින් ද වේ. තව ද, විවිධ කෙටිකතාකරුවන්ගේ කෙටිකතා ඇතුළත් ‘නිර්මාණය හා ශෝකය’ කෙටිකතා සංග්‍රහය ද, කියවීමේ රුචිය වර්ධනය කිරීමේ අභිලාෂයෙන් ලියැවුණු ‘පොතක මහිම’ නමැති ග්‍රන්ථය ද ඔහුගේ බෙහෙවින් ජනප්‍රිය ග්‍රන්ථ බවට පත්වී ය.

සිරිල් සී. පෙරේරා සූරීන් විසින් වරින්-වර පුවත්පත් සඟරාවලට සම්පාදනය කරන ලද කෙටිකතා, කවි, ළමා කතා, ලිපි ලේඛන සහ ඔහු සම්බන්ධ වූ පුවත්පත් සාකච්ඡා ප්‍රමාණය සිය ගණනකි. ඔහු තම නිර්මාණ ජීවිතයේ දී විදේශීය ලේඛකයන් පහළොස්දෙනකුගේ නවකතා දහ අටක් ද, කෙටිකතා එකසිය හැත්තෑ දෙකක් ද, ප්‍රධාන නාට්‍ය තුනක් ද සිංහල බසට පෙරළා ඇත. ඊට අමතරව ඔහු කෙටි ළමා නාට්‍ය දහ අටක් ද සිංහලයට නැගුවේ ය.

ලෝක සාහිත්‍ය තුළ බිහිවූ විශිෂ්ටතම නාට්‍ය අතරින් ඔහු විසින් පරිවර්තනය කරන ලද වේදිකා නාට්‍ය අතර 1985 දී ධර්මසිරි බණ්ඩාරනායක නිෂ්පාදනය කළ ‘මකරාක්ෂයා’ සහ 1989 දී ඔහු විසින් ම නිෂ්පාදනය කරන ලද ‘ධවල භීෂණ’ රසිකයන් බෙහෙවින් වැළඳ ගත් නාට්‍යද්වය ලෙස සැලකේ. ඊට අමතරව ඔහු 2003 දී අයිරිෂ් ජාතික ඒරියල් ඩෝෆ්මනගේ උසාදඅි නාට්‍යය ‘වැන්දඹුවෝ’ නමින් සිංහලයට පරිවර්තනය කළ අතර, එම නාට්‍යය ජෙරොම් ද සිල්වා විසින් 2004 වර්ෂයේ දී ‘ආයෙත් එන්නේ නෑ’ නමින් නිෂ්පාදනය කරන ලදි. එම නාට්‍ය ත්‍රිත්වය පිළිවෙළින් 1986, 1992 සහ 2004 වසරවල පැවැති රාජ්‍ය නාට්‍ය උළෙලවල දී වසරේ හොඳ ම නාට්‍ය ලෙස සම්මානයට පාත්‍ර වී ය.

1976 සිට 1996 දක්වා වසර හතක් රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ සිරිල් සී. පෙරේරා මහතා 1979 දී ජාත්‍යන්තර සාහිත්‍ය සාම ත්‍යාගයෙන් ද, 2004 දී කොළඹ රුසියානු මන්දිරයට අනුබද්ධ රුසියානු සාහිත්‍ය කවය පිරිනැමූ ‘ලියෝ තෝල්ස්තෝයි’ සම්මානයෙන් ද, 2006 දී ‘සාහිත්‍ය රත්න’ සම්මානයෙන් ද පිදුම් ලැබී ය.

ඊට අමතරව, ඔහු කොළඹ සරසවියේ ‘වින්දන’ කලා කේන්ද්‍රය ඇතුළු විවිධ සංස්කෘතික හා බහුජන සංවිධාන රැසක සම්මානයට පාත්‍ර වී ය.

රුසියාව, බල්ගේරියාව, ජර්මනිය, කොරියාව, ඔස්ටි්‍රයාව ආදී රටවල පවත්වන ලද ජාත්‍යන්තර පරිවර්තකයන්ගේ සම්මේලන ගණනාවකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ සිරිල් සී. පෙරේරා සූරීහු, සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සාහිත්‍ය අනු මණ්ඩලය, නාට්‍ය අනුමණ්ඩලය, අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය වැනි ආයතනවල සේවය කරමින් මෙරට සාහිත්‍ය උන්නතිය වෙනුවෙන් ඉමහත් සේවයක් සිදු කළේ ය.

යථාර්ථවාදී සාහිත්‍යය යනු කුමක්දැයි නූතන ලේඛකයා වටහා ගත්තේ පරිවර්තන සාහිත්‍යය ඔස්සේ බව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් දැරූ මතයට සමගාමීව යමින් අපට හරවත් ස්වතන්ත්‍ර සාහිත්‍යයක් උරුම වන්නේ පරිවර්තන සාහිත්‍යය ඔස්සේ බව ප්‍රකාශ කළ සිරිල් සී. පෙරේරා නම් ඒ අසහාය සාහිත්‍යධරයා 2016 සැප්තැම්බර් 4 දින සදහට ම අපෙන් සමුගත්තේ මෙරට පරිවර්තන සාහිත්‍ය තුළ සුවිසල් හිදැසක් ඉතිරි කර තබමිනි.

අනුර බී. සෙනෙවිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment