සිංහල සාහිත්‍ය වංශකතාව එළිපෙහෙළි කළ මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල

643

සිංහල සාහිත්‍ය වංශය, සිංහල සංදේශ සාහිත්‍ය වැනි මහානර්ඝ ග්‍රන්ථ රාශියක් රචනා කොට මෙරට පාඨක ප්‍රජාවට දායාද කරමින් ද, සිංහල ශබ්දකෝෂකරණය, සම්භාව්‍ය සිංහල සාහිත්‍ය අධ්‍යයනය, ග්‍රන්ථ සංස්කරණය වැනි විසිර පැතිර ඇති විෂය ක්‍ෂේත්‍ර රාශියක් ඔස්සේ භාෂා සාහිත්‍යයට දැවැන්ත සේවාවක් ඉටු කළ අභාවප්‍රාප්ත මහාචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල වියතාණන්ගේ 25 වැනි ගුණ සමරුව අදට යෙදී ඇත.

ඒ නිමිත්තෙන් අද (15 දා) ප.ව. 3.00 ට කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේදී විශේෂ ගුණ සමරු උළෙලක් පැවැත්වේ.

එහිදී මහාචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල සූරින් විසින් දශක ගණනාවක් පුරා ඉටුකළ මෙහෙවර ඇගයීමත්, සිංහල භාෂා සාහිත්‍යයේ ප්‍රගමනයට එතුමන්ගේ බලපෑම ඇගයීමත් සිදු කෙරෙමින් විශේෂ දේශන කීපයක්ම පැවැත්වීමට නියමිතය.

සිංහල සාහිත්‍ය වංශකතාව එළිපෙහෙළි කළ මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය විසින් සංවිධානය කරනු ලබන මෙම ගුණ සමරු වැඩසටහනේදී සම්මානික මහාචාර්ය ජේ. බී. දිසානායක, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සඳගෝමි කෝපරහේවා, ආචාර්ය ලීල් ගුණසේකර, වෛද්‍ය මනෝරි සන්නස්ගල යන මහත්ම මහත්මීහු දේශන පවත්වති.

1915 ජුනි මස 15 වැනි දා ඌව පළාතේ පට්ටිපොළ කඳු බෑවුමේ පිහිටි අඹගස්දෝවගෙදර ග්‍රාමයේ දී ජන්ම ලාභය ලත් සන්නස්ගල සන්නස් මුදියන්සේලාගේ පුංචිබණ්ඩාර හෙවත් පුංචිබණ්ඩාර සන්නස්ගල සිංහල භාෂා සාහිත්‍යයයේ පිනට පහළ වූ සුදුර්ලභ පඬිරුවනකි. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ලංකා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලබන එතුමාගේ සාහිත්‍ය සේවය ආරම්භ වන්නේ 1947 දී පළ කරන සිංහල සාහිත්‍ය වංශය (නූතන අවස්ථාව) කෘතියත් සමගිනි. එහි මහනුවර යුගයේ සිංහල සාහිත්‍යය පිළිබඳ තොරතුරු සංග්‍රහ වී තිබුණි. දඹදෙණි යුගයේ දී දෙවන පැරකුම්බා රජු අතින් ලියැවුණු සිංහලයේ කාව්‍ය ග්‍රන්ථයන්හි මුදුන් මල්කඩ සේ සැලකෙන කව්සිළුමිණ පිළිබඳ විචාරාත්මකව රචනා කරුණු විවේචනාත්මක කෘතියක් වූ “කව්සිළුමිණ සාහිත්‍යය” නම් කෘතිය 1949 දී පළකෙරුණු අතර වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන්ගේ චරිත කතාව වූ සංඝරාජ සාධු චර්යාව සංස්කරණය කිරීමත් එතුමන් අතින් සිදු විය.

ලංකා විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සඳහා 1953 දී ඉදිරිපත් කෙරුණු කාව්‍යශේඛර සංස්කරණය ද පුංචිබණ්ඩාර සන්නස්ගලයන්ගේ සාහිත්‍ය ව්‍යායාමයකි. සද්ධර්මාලංකාරය සංස්කරණය කොට එය රචිත ගම්පොළ අවධිය හා කතුවරයා අයත් සහ පරපුරත් එහි සාහිත්‍ය සේවයත් අගයා කෙරුණු අනගි පර්යේෂණය වෙනුවෙන් ලංකා විශ්වවිද්‍යාලයෙන් දර්ශන විශාරද උපාධිය ලබා ගන්නා ආචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල අතින් ඉපැරණි තිසරණ ග්‍රන්ථ තුනක අවසානයට හමුවන සඟ සරණ කෘතියේ සංස්කරණ කාර්යය සිදුවන්නේ 1945 දී ය. බුත්සරණ, දහම් සරණ හා සඟ සරණ යන ග්‍රන්ථ තුන පොලොන්නරු අවධියට අයත් බව සාමාන්‍ය පිළිගැනීම වුව ද මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල සිංහල සාහිත්‍ය වංශය (1961) කෘතියේ දී ඒවා පොලොන්නරු යුගයට අයත් නොවන බවත් ඒවා දඹදෙණි අවධියට අයත් බවත් දක්වයි. බුත්සරණ කර්තෘ විද්‍යාචක්‍රවර්තීන්ගේ උපාධි නාමය හා සමකාලීන භාරතීය පඬුවන්ගේ උපාධි නාම අතර සාම්‍යයත්, බුත්සරණෙහි හා දඹදෙණි යුගයට අයත් ගද්‍ය ග්‍රන්ථයන්හී භාෂා ව්‍යවහාරයේ සාම්‍යයත් යන කරුණු මත පදනම්ව ඔහු මෙම නිගමනයට එළැඹී ඇති බව පෙනේ.

කුරුණෑගල අවධියට අයත් දළදා පූජාවලිය සංස්කරණය කිරීම ද සන්නස්ගල මහාචාර්යතුමා අතින් සිදුවන අතර 1963 – 1965 වර්ෂවල විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට නියමිතව තිබූ ගුත්තිල කාව්‍යයේ එවකට නිර්දේශිත කොටස පිළිබඳ අංග සම්පූර්ණ විස්තරාර්ථ වර්ණනාවක් 1962 දී පළ විය.

මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල විසින් රචිත සිංහල සංදේශ සාහිත්‍ය කෘතිය ගම්පොළ යුගයේ පටන් ක්‍රි.ව. 1960 දක්වා මෙරට සාහිත්‍යයට එක්වූ සංදේශ කාව්‍ය පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් ලබාගැනීමට මඟ පෙන්වන අතිශය ඉහළ වටිනාකමක් සහිත කෘතියකි. විශේෂයෙන් ගම්පොළ සහ කෝට්ටේ යුගවල රචනා වූ මයුර, තිසර, සැළලිහිණි, ගිරා, පරෙවි, හංස ආදී සංදේශ කාව්‍ය තුලනාත්මකව අධ්‍යයනය කරමින් ඒවායේ නිර්මාණාත්මක සුවිශේෂීතා අධ්‍යයනය කිරීමත් මෙම කෘතියෙන් සිදු වේ. කෝට්ටේ අවධියෙන් පසු මාතර අවධිය තුළ රචනා වන සංදේශ කාව්‍ය පිළිබඳව ද තොරතුරු රාශියක් මෙහි සංගෘහිත වී තිබීම සිංහල සංදේශ ඉතිහාසය හදාරනු රුචි විද්‍යාර්ථින්ට කෙරෙන කදිම මඟ පෙන්වීමකි. සිංහල සංදේශ සාහිත්‍ය කෘතිය ප්‍රථම වරට මුද්‍රණද්වාරයෙන් එළිදකින්නේ 1949 දී ය.

මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල නාමය සිංහල භාෂා සාහිත්‍යය පවතින තුරා ගෞරවාදරයට පාත්‍ර වන ඔහුගේ ශ්‍රේෂ්ඨතර සාහිත්‍ය ව්‍යායාමය වන්නේ 1961 දී ප්‍රථම වරට මුද්‍රණය කෙරෙන සිංහල සාහිත්‍ය වංශය නම් මහා කෘතියයි. සිංහල සාහිත්‍ය ගොඩනංවා ගැනීමේ දී මහාවංශය දායක වන්නේ යම්සේ ද සිංහල සාහිත්‍ය ඉතිහාසය ගොඩනංවා ගැනීමේ දී සිංහල සාහිත්‍යය වංශයේ දායකත්වය ද එලෙසින්ම ය.

සිංහල භාෂා සාහිත්‍ය වංශකතාවේ ආරම්භක අවධිය වූ අනුරාධපුර අවධියේ සිට ක්‍රි.ව. 1960 දක්වා වකවානු සියල්ල ම පුරාතන, මධ්‍යතන හා නූතන යනුවෙන් ප්‍රධාන යුග තුනකට බෙදා ඒ ඒ යුගවලට අයත් කාලසීමා, නායක කාරකාදීන්, ඒ ඒ යුගවල රචිත ග්‍රන්ථ හා කර්තෘවරුන්, ඒ ඒ ග්‍රන්ථවල වස්තු විෂයය, නිර්මාණාත්මක ලක්‍ෂණ යනාදිය විග්‍රහ කරමින් වසර දොළහකට අධික කාලයක් තිස්සේ කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් සිංහල සාහිත්‍ය වංශය රචනා වී තිබේ. 1962 ජනවාරි 26 වැනි දා නවයුගය පුවත්පතේ සඳහන් වූයේ සම්පූර්ණ සිංහල සාහිත්‍ය වංශයක් හෙළ බසින් සපයා තැබීමට ගත් ප්‍රථම උත්සාහය වශයෙන් මේ මහා කෘතිය අගය කළ යුතු බවයි.

එවකට ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල විෂය පිළිබඳ මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේ “සන්නස්ගල මහතාගේ පරිපාකයට ගිය දැනුමේත්, දරන ලද අගනා පරිශ්‍රමයේත් විපුල ඵලයක් ලෙස සිංහල සාහිත්‍ය වංශය බිහිවූ බවයි.” සිංහල සාහිත්‍යයේ ඉතිහාසය විමසා බලන්නකුට සිංහල සාහිත්‍ය වංශය කෘතියෙන් ලැබිය හැකි උපකාරය අතිමහත්ය. සිංහල සාහිත්‍ය වංශයේ නව මුද්‍රණයක් ද මෑතක දී පාඨක ලෝකයට තිළිණ වී තිබීම සතුටට කරුණකි. දශකයකට අධික කාලයක මහා ව්‍යායාමයක ප්‍රතිඵලයක් ලෙස බිහිවන සිංහල සාහිත්‍ය වංශය ඔහු අවසන් කරන්නේ මෙසේ ය. “සමස්ත සාධු ජනතාවට ප්‍රීති ප්‍රමෝද්‍යවහ වූ සිංහල සාහිත්‍යාවලිය අලලා සන්නස්ගල සන්නස් මුදියන්සේලාගේ පුංචිබණ්ඩාර හෙවත් පුංචිබණ්ඩාර සන්නස්ගල විසින් කරන ලද පුරාතන යුගය, මධ්‍යතන යුගය, නූතන යුගය හා සාහිත්‍ය ශේෂය යන ප්‍රධාන පරිච්ඡේද සතරකින් යුත් සිංහල සාහිත්‍ය වංශය මෙතෙකින් සමාප්කයි” එවන් සම්මානිත සාහිත්‍ය මෙහෙවරක් නිමා කරමින් 1997 මාර්තු මස 22 වැනි දා එතුමෝ කීර්තිශේෂභාවෝපගත වූහ. සිංහල සාහිත්‍යය මෙදියත පවත්නා යම් කලක් වේද ඒ සෑම කල්හිම පුංචිබණ්ඩාර සන්නස්ගල නාමය ද සාහිත්‍යකාමීන්ගේ සිත් තුළ පවතිනු ඇත.

● පසන් පාදුක්කගේ
සහකාර කථිකාචාර්ය
සිංහල අංශය – කොළඹ විශ්වවිද්‍යාලය

පහත සටහන සැකසෙන්නේ පුංචි බණ්ඩාර සන්නස්ගල මහාචාර්යතුමන්ට උපහාර පිණිස එතුමන් අතින් ලියැවුණු ප්‍රමුඛතම කෘතිය වන ‘සිංහල සාහිත්‍ය වංශය’ History of Sinhalese Literature ( 1961 ) එය ඇගයීමට ලක් කරමින් එවකට මෙරට සිටි ගිහි පැවිදි මහ පඬිවරුන් කීපදෙනකු දැක්වූ අදහස් ඇසුරිනි.

● විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ උපකුලපති අතිපූජ්‍ය කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමියෝ,

සාහිත්‍යයේ උපන්දා සිට නැතහොත් අනුරාධපුර යුගයේ සිට වර්තමානය දක්වා සාහිත්‍ය යුග වශයෙන් වෙන්කොට ඒ ඒ යුගවල භාෂාව, සාහිත්‍ය වර්ධනය වූ අන්දම හා පිරිහුණු අන්දමත්, සාහිත්‍යයට නොයෙක් විෂයබද්ධ කෘතීන් එකතු වූ පිළිවෙළත්, විවිධ සාහිත්‍යාංග පහළ වූ අන්දමත් ක්‍රමානුකූලව නිරවුල්ව සිංහල සාහිත්‍ය වංශයෙන් සන්නස්ගල මහතා පෙන්වාදෙන ආකාරය ඉතා අගනේය.

එය වසර ගණනාවක් මහත් පරිශ්‍රමයක් දරා කළ යුතු දෙයකි. ඒ ද භාෂා සාහිත්‍යයට දැඩි භක්තියක්, ආදරයක් ඇත්තකු අතින්ම සිදුවිය යුක්තකි. ඒ අතින් පුංචි බණ්ඩාර සන්නස්ගල මහතා දක්වා ඇති උනන්දුව, දරා ඇති වෙහෙස, පෙන්වා ඇති කුසලතාව ඉතා ප්‍රශංසනීය වෙයි

● ලංකා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි මහතා,

මෙම ග්‍රන්ථය ලිවීමේදී සන්නස්ගල මහතා ලක්දිව අස්සක් මුල්ලක් නෑර ඇවිදීමෙන්, පොත්ගුල් අවුස්සමින්, මේතාක් ප්‍රකාශයට නොපැමිණි නා නා පොතපත ගැන සොයා බලමින් මෙම කාර්යයෙහි උත්සුක වූ බව දනිමි. ආචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල මහතා පඬිවරයෙකි, ලේඛකයෙකි, සාහිත්‍යධරයෙකි.

● පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා,

1921 දී ශ්‍රීමත් ඩී. බී. ජයතිලකයන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹි සිංහල මහා ශබ්දකෝෂකරණය නිමාවට පත්කළ තැනැත්තා පුංචි බණ්ඩාර සන්නස්ගල මහතා බව අපි දනිමු. ඔහුගේ එම කුසලතාව මෙම සිංහල සාහිත්‍ය වංශයෙන් ද පෙන්වා සිටී. ඔහුගේ දැනුම් මට්ටමින් ඉතා සුපරීක්ෂාකාරීව හා අපක්ෂපාතීව සිංහල සාහිත්‍යයේ වංශකතාව මෙසේ නිමවී තිබීම ජාතියේ භාග්‍යයක් කොට මම සලකමි.

එදවස මෙම මහානර්ඝ ග්‍රන්ථ එළිදක්වමින් මහාචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල වියතාණන් මෙසේ සටහන් කළේය. එය මෙතෙක් පළවූ සුවිශේෂීම ග්‍රන්ථ පිදුමක් සේ සැලකේ.

යම් මවක් හදමඬලින් උතුරා ආ ස්නේහ රස නමැති කිරි පොවා මා ඇති දැඩි කළා ද, යම් පියෙක් සියල් සිරුරින් නැඟි මෙත් බිඳුවන් දහඩියෙහි වහලින් කයින් හා බුද්ධියෙන් මා මුහුකුරුවා ලූයේ ද, ඒ මාගේ දයාබර මව්පිය දෙදෙනා අබියස මෙම සාහිත්‍ය පුෂ්පය සදාකාලික විකසිත පුෂ්පදාමයක් වේවා.

● සචිත්‍ර නේරංජන ඇල්වලගේ

advertistmentadvertistment
advertistmentadvertistment