සිංහල සිනමාවේ පුළුල් තිර දැක්ම: නිධානයට පනහයි

868

‘‘නිධානය’’ චිත‍්‍රපටය යනු දශක හත ඉක්ම වූ ලාංකික සිනමාවේ විශිෂ්ට සිනමා කෘතියක් ලෙස අඩ සියවසක් පුරා දිවෙන කතිකාව යළි මතු කරයි. ‘නිධානය’ ට පනස් වසක් පිරීම එහි නිර්මාතෘ ලෙස්ටර් ගේ සිනමාවට නව අරුත් සෙවීමට ද අනුබලයකි.

තමා දන්නා හඳුනන නාගරික බටහිර පන්නයේ ජීවන රටාව ප‍්‍රස්තුත කොටගත් ‘දෙලොවක් අතර’ චිත‍්‍රපටය පළමුව නොතනා ‘රේඛාව’, ‘ගම්පෙරළිය’, ‘සංදේශය’ වැනි චිත‍්‍රපට ලෙස්ටර් අතින් ගොඩනැඟීම දේශපාලනික අර්ථ මතු කරයි. ජාතිකත්වය හා දේශීයත්වය ඔහු තම චිත‍්‍රපට තුළින් නිරූපණය කළේ සිනමාත්මක ශික්ෂණයකිනි. එය ප‍්‍රචාරාත්මක ලෙස පටු නොවීම හා සිනමා කෘතිය සමඟ ප‍්‍රාමාණිකව බද්ධ වීම මෙම අන්‍යොන්‍ය ප‍්‍රතිපෝෂණය අර්ථ ගන්වයි. ලෙස්ටර්ගේ සිනමාව, සිනමාව නියෝජනය කරමින්ම භූමිය නියෝජනය කිරීම හා භූමිය නිරූපණය කිරීම එහි කල් පැවැත්ම සාක්ෂාත් කළේය.

චිරස්ථායිතාව හෙවත් චිරස්ථිතිය යනු ‘බොහෝ කාලයක් පවත්නා’ යන අර්ථයයි. චිර ජීවී යනු බොහෝ කල් ජීවත් වීමයි. නිර්මාණ කෘතියක ද චිරස්ථ ගුණය යනු නොකඩවා පවතින, කල්පවතින, ස්ථිර, නිත්‍ය යන අරුත් ගනී (quality of lasting long), ස්ථායිතාව (Stability) කල්පවත්නා බව (durability) කල්ගතවන බව (chornic) තහවුරු බව (confirmed) යමක හෝ යමකුගේ චිරස්ථ ගුණය තහවුරු කරන්නා වූ පරිවාර අර්ථයෝ ය. යම් නිර්මාණයක දිගුකල් පවත්නා ස්ථායික බව හා අඛණ්ඩව පවත්නා සජීවී බව සමග ගැනෙන අනෙක් සුවිශේෂම ගුණය වන්නේ සදාකාලික බවයි. එනම් කාලසීමා ඉක්මවා එය ආස්වාදනය කළ හැකි අර්ථවත් හා වින්දනීය ගුණයකින් යුක්ත වීමයි. යම් නිර්මාණයක් සාර්වති‍්‍රක ව භාවිතයට ගැනීම (universalize) පොදුවේ සමස්තයට ම භුක්ති විඳිය හැකි වීම ය. ලෙස්ටර් පීරිස්ගේ ‘නිධානය’ සිනමා කෘතිය එබන්දකි.

‘නිධානය’ චිත‍්‍රපටය අවසන් වන්නේ ගාමිණී ෆොන්සේකාගේ ගැඹුරු හඬින් නික්මෙන විලී අබේනායකගේ පශ්චාත්තාපී ශෝකාලාපයකිනි. විලීගේ චරිතයෙහි ජීවත් වනුයේ ගාමිණී ය. නිධානයක් පාදා ගැනීම සඳහා විලී (ගාමිණී) තමාට බෙහෙවින් ගරු සෙනේ පෑ, තමා ද පෙරළා ආදරය කළ තම බිරිඳ ව තියුණු අවියකින් ඇන මරා දමයි. නොලැබුණු නිධානය විසින් විලීට පසක් කරනුයේ සැබෑ නිධානය කුමක් ද යන්නයි. විලී විසින් ම අහිමි කර ගනු ලබන්නේ එම සැබෑ නිධානයයි. අයිරින් පිටුපස උල් පිහියක් අමෝරාගෙන සිටින යක්ෂයා විලී ය. එවන් ඝාතකයින් අප සියල්ලෝ ම පිටුපසින් දිගු පිහි දික් කරගෙන අනින්නට සුදුසු මොහොත එළඹෙන තුරු බලා සිටිනු අප නොදනී. අයිරින් මේ කිසිවක් නොදැන සිටියා ය. අප ද අපගේ ඉදිරි තත්පරය කෙලෙස තීන්දුවේ දැයි නොදනිමු.

නිර්මාණයක සාර්වති‍්‍රකත්වය (universality) හා චිරස්ථායිතාවය අතර පවත්නා අන්‍යොන්‍ය සමීපතාව විසින් නිර්මාණකරුවාට ද චිරස්ථායි බලයක් ගෙන දෙයි. පවත්නා දේශපාලන හැඩරුව මත තම ආත්ම ප‍්‍රකාශන ස්වරූපය තීන්දු කරන නිර්මාණකරුවකු යම් තීරණාත්මක අවස්ථාවක තම ස්වෛරී ආත්ම ප‍්‍රකාශන ස්වරූපය අභිබවා සිතයි. එනම් නිර්මාණකරුවකු ලෙස තම පැවැත්ම සහ චීර ජීවී බව ගැන සිතන්නට පෙළැඹෙයි. සිනමා කෘතියක පැවැත්ම සහ සිනමාකරුවාගේ පැවැත්ම අතර ඇත්තේ සමීප නෑකමකි. සිනමාකරුවා චිරකාලිකයකු විය යුතුය. (චිරකාලිකයා සහ චිරකාල භටයා හැඳින්වීම සඳහා යෙදෙන ‘veternan’ නම් යෙදුමට අදාළ තවත් අර්ථ වනුයේ ‘පරිණත වැඩිහිටියා, ප‍්‍රවීණයා, අත්දැකීම් බහුල වයසැත්තා ආදී වශයෙනි.) චිරකාලික සිනමාකරුවා යනු තම සිතිවිල අනෙකාගේ සිතිවිලි මත තබා සිතිවිලි කලඹවා නව සිතිවිලි උපද්දන්නෙකි.

අවස්ථාවෝචිත ලෙස කි‍්‍රයා කිරීමේ හැකියාව (practical intelligence) සාමාන්‍ය පුරවැසියකුටත් වඩා සිනමාකරුවකු තුළ තිබිය යුතුම වන්නේ යැයි අප සිතන්නේ සිනමාකරුවා එකී සාමාන්‍ය පුරවැසියා නියෝජනය කරන්නකු ම වන නිසා ය. දේශපාලන සිනමාකරුවකුට මෙම තත්ත්වය අප හිතනවාටත් වඩා බරපතළ ලෙස අදාළ ය. විලීි ජිවත් වන ඉපැරැණි හා පාරම්පරික වලව්ව පමණක් ඉතිරි ව අන් සියල්ලෝ ම ක්ෂය වී යයි. අවසානයේ විලී සිය දිවි නහ ගන්නේ ද මෙම සුවිශාල ගුප්ත වලව්ව තුළ ය.

වඳ ව ගිය ඩයිනෝසරයන් හැඳින්වෙන dinosaur යන යෙදුම වෙනස් වන තත්ත්වයන්ට අනුගත වීමට හැකියාව නැති පුද්ගලයාට ද අදාළ කොට ගැනේ. කි‍්‍රයාකාරි සිනමා දේශපාලනයෙහි නිරත ව සිටි ඩයිනෝසරයන් අකාලයේ අකර්මණ්‍ය වෙද්දී ප‍්‍රහාර වැළැක්වීමට අවශ්‍ය ශක්තිය හා ප‍්‍රතිශක්තිය තමා තුළ නොමැති ජීවියා ද අකාලයේ මරණයට පත් වෙයි. මේ අනුව සියල්ලෝ ම නියුතු වනුයේ තීරණාත්මක ජීවන සංග‍්‍රාමයක ය. ජීවත් වීම සඳහා සියල්ලෝ ම අරගල කරති. අනෙකා සමඟ සටන් කරති. මේ අන්‍යොන්‍ය ගැටුමේ දී දුබලයෝ සැනසෙන අතර, වඩා සුදුස්සෝ තවදුරටත් ජීවත් වෙති. ජීවත් වීම සඳහා නිරත අරගලයේ දී නොනැසී ඉතිරි වන්නේ පරිසරයට ගැලපෙන සේ, අරගලයන්ට ඔරොත්තු දෙන සේ, පෝෂණය සපයා ගැනීමට හා තරගයෙන් ජය ගැනීමට සමත් වන සේ හොඳින් හැඩ ගැසුනවුත් හෙවත් වඩා උචිතවූවන් පමණකි. ‘උචිතෝන්නතිය’ යනු එයයි.

‘‘බලවතා ජය ගනී’’ යන අර්ථය දේශපාලනික ය. වර්ග භේදය, අධිරාජ්‍යවාදය හා සූරාකෑම වැනි ක්ෂේත‍්‍ර ඔස්සේ අර්ථකථනය කරනුයේ ද මේ උචිතෝන්නතිය ම ය. මෙය සිනමා ප‍්‍රකාශන විධික‍්‍රමයනට ද අදාළ කොට ගත හැකි තරම ලෙස්ටර්ගේ නොමියන සිනමාව සහ අශෝක හඳගමගේ ප‍්‍රතිජනන සිනමාව විසින් අනුබල කොට සිටී. තමා මෙම චිත‍්‍රපටය (විදු) කරන්නට බලපෑ එක් හේතුවක් වන්නේ සිනමාකරුවකු ලෙස පැවතීමේ ප‍්‍රශ්නයට මුහුණ දීමක් ලෙස යැයි හඳගමම පවසා ඇත.

‘‘මිනිසා’’ ද, එකී සමස්තය තුළ ශුද්ධ අංශුවක් වන් ‘‘සිනමාකරුවා’’ ද අවසානයේ අරගල කරනුයේ ස්ව පැවැත්ම සාදා ගැනීමේ අභිප‍්‍රායයෙනි. මෙම ජීවන සංග‍්‍රාමය තුළ එකෙකු පැරදී මියැදෙන අතර අනෙකා ජය ගනී. එනම් ජීවත් වීමට අවස්ථාව ලබයි. ජීවත් වන්නෝ අන්‍යොන්‍ය ව බැඳෙති. ගැටෙති. සියල්ලෝ තම පරිසරය තුළ ජීවත් වීමට හෝ විනාශ වීමට අවස්ථාව ලබති. එකෙකුගේ පරාජය තවකෙකුගේ ජයග‍්‍රහණයයි. එනම් නිධානයත්, ලෙස්ටරුත් සකී‍්‍රය ව තම ස්ථානය ආරක්ෂා කර ගෙන සිටි බවට සාක්ෂි ඇත. ඉතා ම සුදුස්සා නොනැසී ජීවත් වීම යනු උචිතෝන්නතියයි (survival of the fittest) ඇතැමුන් තමාට නියමිත පරිසරයට ඔරොත්තු දීම සඳහා අන් අයට වඩා සුදුසු වීම මෙහි අරුතයි. වඩා සුදුස්සෝ නොනැසී ජීවත් වෙමින් වඩා සාර්ථක ලෙස තම වර්ගයා බෝ කරති. විලීට මරණය තෝරා ගැනීමට සිදුවන්නේ ඔහු මෙම පරිසරයට අනුචිත වූ නිසා ය.

ජීවී විශේෂයෝ තමන්ට දාව අනුජාතකයන් අධිකව බිහි කළත් මේ සියලු ජනිතයෝ මුහුකුරා ගිය තාක් ජීවත් වන්නේ නැත. මෙසේ මිය යන්නේ පරිසරයට ඔරොත්තු දීමට නොහැකි වූ විට ය. අන් ජීවීන්ගේ ප‍්‍රහාර වැළැක්වීමට තරම් ශක්තිමත් නොවීම නිසා ය. අවශ්‍ය පෝෂණය ලබා ගැනීමට සමත් නොවීම හේතුවෙන් ය. මෙයාදී විවිධ හේතු නිසා ය. දුබලයා මියැදීම සාපේක්ෂ වන්නේ ‘බලවතා ජය ගනී’ යන සංකල්පය ද සමග ය. විලී දුබලයෙකි. පිටතින් නැෙඟන ප‍්‍රහාර වැළැක්වීමට තරම් ශක්තියත් ඔහු තුළ නොවීම අකල් මරණයට හේතුව ය.

මෙම ධර්මතාවය සෑම ජීවියකුට මෙන් ම සිනමාකරුවකුට ද උරුම ය. ලෙස්ටර් හා ‘‘නිධානය’’ සිය චිරස්ථායිතාව හෙවත් චිරස්ථිතිය ආරක්ෂා කර ගත්තේ ය. අතීත ලෙස්ටර්ට සාපේක්ෂ ව වර්තමානික හඳගම නිදසුන් ලෙස මෙම කාරණය හා බද්ධ කරමු. හඳගම විසින් ඔහු ම මරා දමා ඔහු ම ඔහු වෙත උපතක් ලබා දී ඇතැයි විකල්ප මාධ්‍ය නඟන මතයකි.

යම් සත්වයකු අකාලයේ අනපේක්ෂිත ව මියැදෙනුයේ තම පරිසරයට ඔරොත්තු දීමට නොහැකි බවට ජීව විද්‍යානුකූල අර්ථයයි. අන් අතකට අන් සත්වයින්ගෙන් තමා දෙසට එන ජීවත් වීම නමැති ජයග‍්‍රහණය ලැබිය යුත්තෝ ඒ සඳහා අනෙකා පරාජයට පත් කළ යුතු ය. මරණයට පත් කළ යුතු ය. විලී අයිරින් ව මරන්නට තීරණය කරන්නේ ජීවත් වීමේ අභිලාෂයෙනි. අවසානයේ විලී දිවි නසා ගන්නේ නිධානය අහිමි වීමෙන් නොව අයිරින් ව අහිමි වීමෙනි.

පරිසරය ජීවත් වන්නට නුසුදුසු වූ විට සමාජීය හැඟීම් තියෙන මිනිසකු ගේ වෑයම විය යුත්තේ එය වෙනස් කිරීමට ප‍්‍රයත්න දැරීම යැයි අශෝක හඳගම ප‍්‍රකාශ කොට ඇත. ‘‘පරිසරය වෙනස් කිරීමට හා ජීවත් විය හැකි අයුරින් සුදුසු සේ සැකසීමේ හීනය සැබෑ වන්නේ නැතිනම් මේ පරිසරයෙන් අයින් වෙන්න ලැබීමත් එක අතකින් වාසනාවක්’’ ය යනුවෙන් ඔහු කීය. විලී තම පරිසරයෙන් වියෝ විය.

මාර්ටින් වික‍්‍රමසිංහ ජීවන යත්නය හෙවත් ජීවන සංග‍්‍රාමය විග‍්‍රහ කරන්නේ පරිසරය යනු අන්‍යොන්‍ය බැඳීම මෙන් ම මරණීය ඝට්ටනයට ද හේතු වන්නක් බව පහදමිනි.

‘‘සියලුම ජීව වස්තූහු එකිනෙකා කෙරෙහි බැඳී පවතිත්, ගවයන් සුලභ වන විට ගොම කුරුමිණියෝ සුලභ වෙති. ගවයාගේ ගොම පිඬ කුරුමිණියා ගේ ආහාරය වන බැවිනි. කුරුමිණියන් සුලභ වන විට තලගොයි ආදී කුරුමිණියන් කන සත්තු සුලභ වෙති. තලගොයි සුලභ වන කල මුගටියෝ ද සුලභ වෙති. තලගොයි බිත්තර මුගටියාගේ ආහාර වන බැවිනි. ඇට ජාති, ධාන්‍ය වර්ග හා ඵල වර්ග ද සුලභ වන කල පණුවොත්, කුරුමිණි සත්තුත් සුලභ වෙත්, පණුවන්, කුරුමිණි සතුන් සුලභ වන කල පක්ෂීහු ද සුලභ වෙති. පණුවන් හා කුරුමිණි සතුන් පක්ෂීන්ගේ ආහාරය වන බැවිනි. ජීව වස්තුන්ගේ බැඳීම මෙයින් හෙළි වේ. වෘක්ෂ විශේෂයක් හෝ සත්ව විශේෂයක් හෝ වඳ වන කල ඒ කරණකොටගෙන ඒ පළාතේ සියලු ජීව වස්තූන් අතර පැවති තුල්‍යතාවන් ද නැති වෙයි.’’

ජීවන සංග‍්‍රාමය නම් වූ ධර්මතාවය තුළ ඇතැම් ජීවීහු වැඩිකල් ජීවත් වන අතර, ඇතැම් ජීවීහු අකල්හි මරණයට පත්වෙති. නොමැරී ජීවත් වන්නන් ගේ පරම්පරාව දියුණු වනුයේ අකාලයේ මියැදෙන සතුන්ගේ පරම්පරාව ක‍්‍රමයෙන් වඳ වී යන සත්‍යතාවය මතය. ‘‘ක‍්‍රම විකාශ කර්තෘකය’’ යන මාතෘකාවෙන් මාර්ටින් වික‍්‍රමසිංහ උචිතයා ජයගන්නා ආකාරය හා පරිසරයට ඊට උචිත පරිසරය සකසන ආකාරය විස්තර කරයි.

‘‘ශක්තිය ප‍්‍රයෝජන වන තැන ශක්ති සම්පන්නයා ජීවන යත්නයෙන් ජය ගනී. දුර්වලයා පරාජය ව අකාලයේ මිය යයි. දිවීම ප‍්‍රයෝජන වන තැන වේගයෙන් දුවන්නට පුරුදු වන සත්තු කලින් ආහාර ලැබ ගනිති. සතුන්ගෙන් බේරෙති. නුදුව හැකි සතුන්ට ආහාර නොලැබේ. එහෙයින් ඔවුහු පහසුවෙන් සතුන්ට හසුව ඔවුන්ට ගොදුරු වෙති. වතුර ගැලීමෙන් නිම්න නැමියක් යටවුණු කල, කඳු මුදුනට නැග ආහාර සොයා ගැනීමට හැකි සතුන් නොමැරී ජීවත් වෙති. කඳු මුදුනට නැඟ ගත නොහැකි වූ සත්තු ආහාර නොලැබ මිය යති. එයින් ඔවුන්ගේ පරම්පරාව වඳ වේ.’’

ස්වභාවික ව්‍යසනයන් නිසා අනවසරයෙන් භූ පෘෂ්ටය වෙනසක් වන විට එහි පරිසරයට වෘක්ෂලතා හා සතුන් අනුරූප විය යුතු බවත්, ජීවන සංග‍්‍රාමය වඩාත් උග‍්‍ර වනුයේ වෙනස් වූ පරිසරයට අනුරූප වීමට කරන තැත නිසා බවත් වික‍්‍රමසිංහයෝ පහදති. බාහිර විපර්යාසයන්ට අනුරූප වීමට සියලු ජීවීහු යත්න දැරුව ද එම යත්නය සාර්ථක කරගන්නෝ ජය ලබන අතර අන්‍යයෝ අකල්හි මියයති. චිරස්ථායිතාව හෙවත් ‘‘බොහෝ කාලයක් පවත්නා’’ යන අර්ථයත් ඉතා ම සුදුස්සා නොනැසී ජීවත්වීම හෙවත් උචිතෝන්නතිය (survival of the fittest) ලෙස්ටර්ගේ සුභාවිත සිනමාවට අයත් අග‍්‍රඵලයක් වන ‘‘නිධානය’’ චිත‍්‍රපටය ඇසුරෙන් විග‍්‍රහයට ගැනීමේ දී රූපාර්ථ තීව‍්‍ර කරන ප‍්‍රබල ව්‍යංගාර්ථ සපුරා ගත් එක් දෙබසකි.

විලී අයිරින්ට මෙසේ පවසයි.

‘‘බලාගෙන අත දාන්න එපා… ලස්සන සතා වුණාට හරිම නපුරුයි. අවුරුදු දෙකක් ඌත් එක්ක එකට කූඩුවේ හිටපු ගැහැනු සතාව කිසි කාරණයක් නැතුව දවසක් කොටලා මැරුවා. බැලු බැල්මට කොයි තරම් අලංකාර සතෙක් ද? මේ වගේ කුරිරු වැඩක් කරයි කියලා හීනෙකින්වත් හිතන්න බෑ. මොනරගේ නියම ස්වභාවය තියෙන්නේ උගේ ලස්සන පිල්වල නෙවෙයි ඌගේ මූසල කටහඬේ. ඒ නාදයට නයින්ගෙ බිත්තර පුපුරනවලු.’’

අයිරින්ලාට මෙසේ කී විලීලාට අවසානයේ සිද්ධ වන්නේ කවරක්දැයි ‘නිධානය’ අපට උගන්වා ඇත.

අජිත් ගලප්පත්ති

සිංහල සිනමාවේ පුළුල් තිර දැක්ම: නිධානයට  පනහයි
advertistmentadvertistment
advertistmentadvertistment