සිංහල සිනමාවේ අඩ සියවසක ස්ත්‍රී ලාලිත්‍ය

231

සුමිත්‍රා පීරිස් දිවි සැරිය නිමා කොට ඇත්තීය. සිංහල සිනමා වංශ කතාවේ සාරවත් කාන්තා පරිච්ඡේදයකට හිමිකම් කියන ඇය ගැන සටහනක් තැබිය යුතුමය. ඒ සඳහා අපි අජිත් ගලප්පත්ති විසින් රචිත සුමිත්‍රාගේ අඩසිය වසක අද්විතීය සිනමා ජීවිත කතාව කෘතියෙන් සීරුවට තෝරාගත් කොටස් මෙසේ පළකරමු. කෘතියෙහි ඇති වැදගත්ම යැයි හැඟෙන කොටස් මුල සිට අග දක්වාම ඉතා ප්‍රවේසමෙන් තෝරාගෙන මෙම ලිපිය සකස් කර තිබේ. එය පාඨක ඔබේ රස විඳීමට බාධාවක් නොවන බව ද අපි විශ්වාස කරමු.

සුමිත්‍රා… සැබවින්ම සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා….

සුමිත්‍රා පවසන ආකාරයට තම මව කිසිදු ආකාරයක සෞන්දර්යවාදී හැඟීම් තිබුණු ගැහැනියක නොවේ. එසේ වුව ද, ඇය තම දරුවන්ට ජීවිතය ඉගැන්වූයේ ඉඟියෙන් යැයි සුමිත්‍රා ම පවසයි. සුමිත්‍රා අපට ජීවිතය ගැන උගන්වන්නේ ද ඉඟියෙනි. ඇගේ “චිත්‍රපටය” යනු ඉංගිත සමූහයකි.

සුමිත්‍රා තම මව සහ තම සිනමාව තුළ මවන මව ගැන මෙසේ පවසයි.

“මං මගේ සිනමාව ඇතුළේ නොයෙක් අම්මලා මවද්දී මට මගේ අම්ම ව මතක් වෙනවා. ඈත ලෝකෙ ඉඳන් අම්මා මං දිහා බලාන ඉන්නවා කියල මට හිතෙනවා”

“සක්මන් මළුව” චිත්‍රපටයෙහි මැවූ අම්මා (අයිරාංගනී සේරසිංහ) තම මවට බොහෝ සමාන යැයි සුමිත්‍රා කියයි. එනම් ඇය මේ චලන රූප කලාව තුළ ඇගේ මවගේ රූපය සොයමින් හිඳ ඇති බව නොවේ ද? නෙක වේශයෙන් නොයෙක් ලෙස චලනය වන්නා වූ සිනමා රූපාවලිය තුළින් ඇය ඇගේ මවගේ රූපය ඇහිඳ ගැනීමට වෙර දරා ඇත.

යම් පුද්ගලයකු තමුන්ගේ සිනමාව තුළ සොයන්නේ තමුන්ගේ ම රූපයයි. තමුන් සිහින මවන තම සිතැඟි රූපයයි. සුමිත්‍රා ද එසේ ය.

හැරී ගුණවර්ධන වඩාත් ප්‍රිය කළේ දේශපාලනයට නොව ඉතිහාසයටයි නීතිඥවරයාගේ ඉතිහාසලෝලීත්වය හා සිනමාලෝලීත්වය. රාජසිංහ චරිතය සිනමාවට… අධ්‍යක්ෂණය ජේ. සිංහ, නිෂ්පාදනය හැරී ගුණවර්ධන සමාජවාදය, අධිරාජ්‍යවාදයට එරෙහිව නැඟුණු ත්‍රස්තවාදයක් ලෙස පිලිප් හා රොබට් දේශපාලන සිරකරුවන් ව සිටියදී සිරකුටියට ආ ගිය සිය නිදහස් සොහොයුරා සිය බාප්පලා රැගෙන යන පොලිස් ජීප් රිය පසුපස දිවගිය කුඩා දැරියකි. පසු කලක සුමිත්‍රා තම බාප්පලාගේ දේශපාලන රැස්වීම්වලට වහ වැටුණා ය. දේශපාලන පොර පිටියෙන් හැරීව ඈත් කළ බලවේගය ඇන්. ඇම්ලා පොපි මලට එරෙහිව සූරිය මල පිබිදුවේ හැරීගේ නිවසේදී හැරී අවිස්සාවේල්ල ආසනයට තරග කොට පැරදුණේ ය.

තාත්තා අපට ළං වුණෙත් නෑ ඈත් වුණෙත් නෑ. සුමිත්‍රා කීවා ය.

පිලිප් ගුණවර්ධන සහ රොබට් ගුණවර්ධන යන දෙසෝයුරෝ දේශපාලනමය හේතූන් මත රිමාන්ඩ් ගතව සිටි කාලේ වැල්ලවත්ත පොලිසියට නිතර ආ-ගියේ ඔවුන්ගේ වැඩිමහලු සොහොයුරා වූ හැරී ය. පිලිප්ගෙත් රොබට්ගෙත් වැඩිමහලු සොහොයුරා වූ හැරී සමඟ පොලිස් ස්ථානය වෙත ඉක්මන් අඩි තබමින් නිතර ආ ගිය දැරියකි. තම බාප්පලා පොලිස් ජීප් රියෙහි දමාගෙන යද්දී එම පොලිස් ජීප් රථය පිටුපස දිව ගියේ ද එම කුඩා දැරිය ම ය.

එම දැරියගේ නම සුමිත්‍රා ය. පිලිප් සහ රොබට් දෙසොයුරන්ගේ වැඩිමහලු සොයුරාගේ දියණිය ඇයයි. සුමිත්‍රා තම බාප්පලා කළ දේශපාලනය සහ තාත්තාගේ දේශපාලනය සිහි කරමින් එය සසඳන්නට මුල පිරුවේ මෙයාකාරයෙනි.

“පිලිප් බාප්පා උසස් අධ්‍යාපන කටයුතු ඉවර කරලා ආපසු ලංකාවට ආවේ සමාජවාදයත් අරගෙන බව කවුරුත් දන්නවනේ. බාප්පා මේ රටේ සමාජවාදී සටන් ආරම්භ කරද්දී පවුලේ හැමෝම එයට සහයෝගය දැක්වූවා. ඒ දේශපාලන කටයුතුවලට හැමෝම කැපවෙලා වැඩ කළා. ඒත් අපේ තාත්තා ඒ වෙනුවෙන් එතරම් කැප වෙලා වැඩ කළේ නෑ. දේශපාලන පොර පිටියෙන් අපේ තාත්තාව ඈත් කරන්නට අම්මා හැම උත්සාහයක් ම ගත්තා. පිලිප් බාප්පලාගේ සමාජවාදය ඒ කාලේ හැටියට අධිරාජ්‍යවාදයට විරුද්ධ ව නැඟුණු ත්‍රස්තවාදයක් වුණා. සමහර විට තාත්තා දේශපාලනයට බහිනවාට අම්මා විරුද්ධ වෙන්න ඇත්තෙත් ඒ නිසා වෙන්න ඇති. අනික තාත්තා නීතිය තෝරා ගත්තේ සීයා කැමති නිසා බව මම අහලා තියෙනවා. සීයා කැමති වුණේ බාප්පලා ව සහ තාත්තා නීතිය පැත්තෙන් ඉහළට යනවටයි”

හැරී ගුණවර්ධන පිළිබඳ ව වඩාත් සුවිශේෂ ම හෙළිදරව්ව මේ කිසිවක් නො වේ. සුමිත්‍රා වරක් පැවසූ ආකාරයට සිය පියා සිනමාවට ද සම්බන්ධ ය.

සිය පියා සිනමාවට සම්බන්ධ ව සිටියේ ඇය ලන්ඩන් ෆිල්ම් ස්කූල් හි සිනමා අධ්‍යයන කටයුතුවල නිරත ව සිටිය දී ය. පියාත් දියණියත් දුර දෙතැනක සිට එකිනෙකාට වෙනස් අයුරින් සිනමාවත් සමඟ සම්බන්ධ වූහ. ඇගේ සිනමා ජීවිතයට එබිකම් කර බැලීමේ දී එය අප විසින් සුවිශේෂී අවධාරණයට ගත යුත්තකි. සුමිත්‍රාටත් කලින් සිය පියා සිනමාවට සම්බන්ධවීම සියල්ලට ම වඩා විශේෂ ය. මෙම ඉතිහාස සාක්ෂියෙන් පැහැදිලි වන්නේ සුමිත්‍රාගේ පියා සිනමාලෝලියකු ව සිටි බව ය. හැරී ගුණවර්ධන, “රාජසිංහ චරිතය” සිනමාවට නඟන්නට මහ ඉහළින් සූදානම් විය. එය දෙමළ චිත්‍රපටයක් සිංහලෙන් කිරීමක් බවට ද තොරතුරු ඇත. කෙසේ වුව ද හැරී එම චිත්‍රපටයේ ආයෝජකයකු විය. තම කුළුඳුල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම සඳහා ඔහු විසින් තෝරාගනු ලැබුවේ ජේ. සිංහ ය. එනම් “කඩවුණු පොරොන්දුව” අධ්‍යක්ෂණය කළ ජේ. සිංහ ය. මෙහි මුහුරත් උත්සවය පවා පැවැත්විණ. මිලී කහඳවල ඇතුළු නළු නිළියන් රැසක් රාජසිංහ චරිතය සඳහා තෝරා ගත්හ. හැරී ගුණවර්ධන සිංහල සිනමා ඉතිහාසයේ තවත් නිෂ්පාදකවරයකු ලෙස බිහිවන්නට සැලැසුම් සකස් කෙරිණි.

අවාසනාවකට මෙන් එම චිත්‍රපටය අතරමග ඇනහිටිණි. යම් හෙයකින් රාජසිංහ චරිතය සිනමා යථාර්ථයක් බවට පත්වූයේ නම් සුමිත්‍රා යනු අද මෙරට සිනමා ඉතිහාසයේ ගෞරවනීය නිෂ්පාදකවරයකුගේ දියණිය ලෙස අන් අයුරකින් ද ගරු සම්භාවනාවට පත් වන්නට ඉඩ තිබිණි. හැරී ගුණවර්ධන චිත්‍රපට ගත කිරීම සඳහා රාජසිංහ චරිතය තෝරා ගැනීම ද ඓතිහාසික කාරණයකි. ඔහු ඉතිහාසලෝලියෙකි. සිය ඉතිහාස ඇල්ම සිනමා මාධ්‍යයෙන් ප්‍රකාශ කරන්නට ඔහු ප්‍රයත්න දැරුවා විය යුතු ය. පෘතුගීසි පාලන සමයෙහි ඓතිහාසික සීතාවක රාජධානිය හා බැඳුණු ටිකිරි බණ්ඩාර රාජසිංහ චරිතය මෙරට ඉතිහාසයේ දැවැන්ත නාමයකි. ඔහු රජකමට පත්වූයේ 1578 දී ය. හැරී. පිලිප් සහ රොබට් වැනි දැවැන්තයෝ ද ඓතිහාසික සීතාවකපුර විසූ වැසියෝ වීම ද සුවිශේෂ කාරණයකි. සුමිත්‍රා පැවත එන්නේ මෙබඳු පසුබිමකිනි.

සිය බාප්පා මෙබිමට ගෙනා මාක්ස්වාදී දර්ශනය පිළිබඳව සුමිත්‍රා බැලුවේ කිසියම් මධ්‍යස්ථ දැනුවත් බවකින් විය යුතුය. ඇය සැදූ පළමු චිත්‍රපටයෙන්ම වුවද ඒ බව වටහාගත හැකිය. සුමිත්‍රා සිටියේ න්‍යාය අභිභවන ප්‍රායෝගික තැනකය. සුමිත්‍රා ගේ සීයා ද, බාප්පා ද එකල මෙහි වූ සුදු අධිරාජ්‍යවාදයට තදින්ම විරුද්ධ වූවෝ වෙති. ලෝක ඉතිහාසයේ අධිරාජ්‍යවාදයට හා ධනවාදයට එරෙහිව එල්ල කළ පළමුවැනි මහා ප්‍රහාරය ගොඩනැගුවේ කාල් මාක්ස් ය. ලංකාවේදී “මාක්ස්වාදයේ පියා” ලෙස හැඳින්වෙන්නේ සුමිත්‍රාගේ බාප්පාය. ඇය පවසන ආකාරයට ඇගේ ජීවිතයට ප්‍රබල බලපෑමක් කළ චරිතයක් වනුයේ පිලිප් ගුණවර්ධන චරිතය යි. එනම් ඇගේ චින්තනය සකසන්නට “ලංකාවේ මාක්ස්වාදයේ පියා” යම් ආකාරයෙන් හේතු වී ඇති බවය. සුමිත්‍රා සහ මාක්ස්වාදය අතර සබැඳියාව කෙතරම්ද?

සුමිත්‍රා කතා කළේ ද දුක් විඳින ගැහැනු මිනිසුන් ගැනය. එයද එක්තරා ආකාරයක අරගලකාරී හඬ නැගීමකි. නිහඬ ව හඬ නැගීමකි. අප මෙය අර්ථ දක්වන්නේ රූපයෙන් කළ විප්ලවයක් ලෙසිනි. ඇය සිනමාවෙන් කළ විප්ලවය කුමක්දැයි අප හඳුනා ගත යුතු ය. ඇය තිරයේ මැවූ ස්ත්‍රීන් ගේ අරගලය කුමනාකාරදැයි අපි දැකිය යුතු ය. සුමිත්‍රා තම සිනමා ප්‍රකාශනය තුළින් පෙන්වූ ස්ත්‍රී චරිත ස්ත්‍රිය ගේ විමුක්තිය වෙනුවෙන් අරගල කරන වීරවරියක් ලෙස දැකීමට පවා ඇතැම්හු පෙළඹුණහ. එහෙත් ඇය ජීවත් වූයේ මාක්ස්වාදයේ න්‍යාය මත පටු වෙමින් නොවේ. ඇගේ ආත්ම ප්‍රකාශනය සදාකාලෙට ම මුළු ලොවට ම පොදු වූ අගයක් ගන්නේ මේ නිසා ය.

සුමිත්‍රා තිරයේ මැවූ ස්ත්‍රී චරිතය යනු ස්ත්‍රිය වෙනුවෙන් අරගල කරන විප්ලවීය වීරවරියක් ලෙස දැකීමට මෙරට මාක්ස්වාදී විචාරකයෝ අපේක්‍ෂා කළහ. එහෙත්, සුමිත්‍රා ගේ අපේක්ෂාව වූයේ සැබෑ ස්ත්‍රිය නිරූපණය කිරීම ය. ඈ කළ නිහඬ විප්ලවය වනුයේ ස්ත්‍රියට උරුම වූ සැබෑව හා සත්‍යයේ යථා තත්ත්වය පෙන්වීම ය. ඇය නිරත වූ සිනමාත්මක විප්ලවයේ දේශපාලනය එතරමටම විශාල විය.

සුමිත්‍රා සිය සිනමා විප්ලවය දියත් කරන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “සංදේශය” චිත්‍රපටයෙනි.

‘සංදේශය’ චිත්‍රපටයේ 24 ක් වූ කාර්මික ශිල්පි කණ්ඩායමෙහි සිටි එක ම තරුණිය වූයේ සුමිත්‍රා ගුණවර්ධනයි. මෙම ‘එකම කාන්තාව’ පසු කලක එහි අධ්‍යක්‍ෂවරයාගේ ප්‍රිය භාර්යාව බවට ද පත්වන්නීය. ඇය එපමණට ම ‘සංදේශය’ දර්ශන තලය තුළ සුවිශේෂී වෙයි.

සමාජවාදී දේශපාලන අභිමතාර්ථ මත තම ‘සංදේශය’ කප්පාදු කිරීමට එරෙහිව ලෙස්ටර් තම විරෝධය පෑවේ ය. ඒ සිය සිනමා ජීවිතය තුළ ය. සමාජවාදයේ පතාක යෝධයන් ගේ නිජබිම වූ බොරලුගොඩ උපන් සුමිත්‍රා එබඳු වූ ලෙස්ටර් සමග විවාහ වන්නීය. ඒ ජීවිත සිනමාව තුළ ය. මේ සියල්ල සිදුවී අඩසියවසක් ගෙවී අහවර ය. සිනමාව – ජීවිතය – දේශපාලනය – සිනමාවේ ජීවිතය හා සිනමා ජීවිතයේ දේශපාලනය ආදී දෑ ගැන බොහෝ අරුත් මේ අඩ සියවස තුළ මොවුන් අපට පහදා දී ඇත. සිනමා දර්ශන තලය හා ජීවන දර්ශන තලය ඇත්තේ පුදුමාකාර බැඳීමකි.

ගාමිණී ගුණවර්ධන, එනම් සුමිත්‍රාගේ ආදරණීය සොහොයුරා චිත්‍රපට බැතිමතෙකි. ස්වකීය නැඟණිය ව එකල චිත්‍රපට නරඹන්නට කැඳවාගෙන යන්නේ වුවද ඔහුය. සුමිත්‍රාටත් පෙර ලෙස්ටර් ව දැන හඳුනා ගත්තේ ගාමිණීය. “රේඛාව” චිත්‍රපටයෙහි මංගල දර්ශනයෙහි ආරාධනා පත්‍රයක් ලෙස්ටර්, ගාමිණීට පිරිනැමුවේ ය. ඒ තරමට ම මේ එකිනෙකා ව දැන හඳුනති. ඒ දැන හඳුනාගත් ආකාරය ද අපූරු අතුරු කතාවකි. මෙම අතුරු කතාව නිකම්ම නිකං සිද්ධියක් නො වේ. ලාංකික සිනමාවේ මුල් දශකය ගිලගෙන සිටි ඛේදවාචකයේ තරම ද ඉන් කියැවෙයි. ලෙස්ටර්ගේ සිනමාවේ මුල් කාලේ ඔහු අත්විඳි දරුණු සිත් තැවුල්වල තරම ද එහි ගැබ්ව ඇත. එම අතුරු කතාව මෙසේ ය:

සිනමාව හදාරන්නට ඇය ලන්ඩන් බලා පිටත්වූයේ ප්‍රේමය පිළිබඳ සමස්තය ම දෛවයට භාර කරමිනි. දෛවය විසින් උචිත ම ආකාරයට සියල්ල විසඳන ලදී. ඔවුනොවුන් ඔවුනොවුන්ටම අයිති විය. එකිනෙකා එකිනෙකාට සෙනෙහේ පෑහ. දෙදෙනාම දෙදෙනාටම සේ ම සිනමාවට ද එක සේ ආදරය කළහ. සිය යුග ජීවිතය යනු සිනමාව විය.

දෙදෙනාගේ වෘත්තාන්ත චිත්‍රපට 28ක් ම ඊට සාක්ෂි ය. එරට මෙරට සම්මාන රාශියක් ද ඊට සාක්ෂි ය.

ඔව්හු “රේඛාවෙන්” දැන හඳුනාගත්හ. සංසාරික ව ඇඳී ආ සියුම් රේඛාවකින් ඔවුනොවුන් ව සබැඳුවේය. “ගම්පෙරළිය” චිත්‍රපටය නිමාවෙද්දී මෙකී ප්‍රේමය යුගදිවියකට පෙරළෙන්නට තරම් ප්‍රබලව, ස්ථාවර ව තිබිණි.

ලෙස්ටර්ගේත් සුමිත්‍රාගේත් සමීපතම මිතුරකුව සිටි ඇන්ටන් වික්‍රමසිංහ දිනක් කදිම යෝජනාවක් ගෙනාවේ ය.

සිංහල සිනමාවේ අඩ සියවසක ස්ත්‍රී ලාලිත්‍ය

“ජුනි 14 වෙනිදාට හොඳ නැකතක් තියෙනවා. ඒ තරම් බලවත් නැකතක් ආයෙ මේ අවුරුද්දටම නැතිලු. මොනවටද තවත් බල බල ඉන්නේ මඟුල් කටයුතු සේරම මගේ ගෙදර ලෑස්ති කරන්නම්. ඔය දෙන්නට තියෙන්නෙ හරි වෙලාවට ඇවිල්ලා අත්සන් කරන එක විතර යි.”

“ලෙස්ටර් එක්ක වැඩ කරන කොට ඔහුයි මායි අතරේ සමීප ඇසුරක් ඇති වුණා. පිරිමි ගොඩක් මැද්දේ වැඩ කරන බවක් මට දැනුණේ නෑ. ලෙස්ටරුත් මාත් සමීප වුණේ අපටම නොදැනීමයි.

“සංදේශයෙන්” පසු සුමිත්‍රා ලෙස්ටර්ගේ ”ගම්පෙරළිය”ට සම්බන්ධ වූවා ය. “දෙලොවක් අතර”ට එක් වූවා ය. ඒ සංස්කාරිකාවක ලෙස ය.

අනතුරු ව “අක්කරපහ”, “ගෝඩ් කිං”, “ගොළු හදවත”, “රන්සළු”, “දෑස නිසා”, “අහසින් පොළොවට” වැනි ලෙස්ටර්ගේ විශිෂ්ට සිනමා කෘති සංස්කරණය කළා ය. ලෙස්ටර්ගේ ම “බැද්දේගමට” නිෂ්පාදනයෙන් ද සම්මාදම් වූවා ය. ලෙස්ටර් ගේ සිනමා කෘතිවලින් කිහිපවරක්ම හොඳම සංස්කාරිකාව ලෙස ද සම්මානනීය වූවාය.

“ගැහැනු ළමයි වෘත්තාන්තය මා හද සසල කළ එකක්. ඊට හේතු කීපයක්ම තිබෙනවා. විශේෂයෙන් ම එහි පසුබිම් වූ පාසල් ජීවිතය අපට තවමත් පුරුදු අත්දැකීමක්. ඒ නිසා ම එය මිහිරි වින්දනයක් වීම වැදගත් වෙනවා. අනික “ගැහැනු ළමයි” හි ප්‍රධාන චරිතය විවිධ සමාජීය ආධ්‍යාත්මික හැඟීම් තුළින් නිර්මිත වූවක්. ගැහැනියක වශයෙන් ද මම මේ චරිතයට ප්‍රියතාවක් දක්වනවා.”

නගරයට ආ සුමිත්‍රා තව තවත් ගමට පෙම් බඳින්නීය. අතීතය ගැන සිතා එම ආදි කාලයට යන්නට ඇත්නම් කියා සිතමින් ළතැවෙන්නීය. “ගැහැනු ළමයි” ඉපැද්දවූ කාලයේ සුමිත්‍රා මෙසේ කියා තිබිණි.

මමත්, මගේ අක්කාත්, දෙන්න ම ඉගෙන ගත්තෙ එක ම ඉස්කෝලෙක. ජීවත් වුණේ එක ම සමාජ පරිසරයක. නමුත් ඇයත් මමත් හාත්පසින් ම වෙනස් චරිත දෙකක්.

ඇගේ ජීවන ආකල්ප සහ මගේ ජීවන ආකල්ප අතර ඇත්තේ පැහැදිලි වෙනසක්. ඇයි අපි දෙන්නා මේ විදියට දෙපැත්තකට ගියේ කියන එක මට හිතාගන්නත් අමාරු යි. මේක සරල දෙයක් නෙමේ.”

සුමිත්‍රා මෙසේ තමා හා තම සොහොයුරිය ගැන පවසන්නේ “යහළු යෙහෙළි” චිත්‍රපටයෙහි එන මද්දුමී සහ ඇගේ වැඩිමහලු සොහොයුරියගේ චරිත ස්වභාවයන් පිළිබඳව එකල ඇතැමුන් නැගූ තර්කයකට නිදර්ශනාත්මකව පිළිතුරු වශයෙනි.

මද්දුමී එසේ හැසිරීම සාධාරණ ද? එසේ හැසිරිය යුතු ව තිබුණේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක වන ඇගේ වැඩිමහලු සොයුරිය නොවේ ද? ඇය මද්දුමීට වඩා සමාජීය හැසිරීම් අතින් මුහුකුරා ගිය තරුණියක නොවේ ද? මෙබඳු ප්‍රශ්නවලට සුමිත්‍රා පිළිතුරු දුන්නේ තමාගේ සහ තම වැඩිමහලු සොහොයුරියගේ සැබෑ චරිත ස්වභාවයන් ම මෙලෙස නිදර්ශන ගත කරමිනි. එසේ නම් චිත්‍රපටයක දී පැය දෙකක් වැනි සුළු කාලයක් තුළ දී යම් චරිතයක් මෙසේ හැසිරෙන්නේ මේ නිසා යැයි විග්‍රහ කරන්නේ කෙසේ දැයි සුමිත්‍රා ප්‍රශ්න කරයි.

සුමිත්‍රා පවසන පරිදි ගැහැනුන්ට ස්වභාවයෙන් ම උරුම වන දුක් දොම්නස් පීඩාවන් සුවිශේෂ ය. එසේ ම ඔවුනට ම අනන්‍ය වූ සෞන්දර්යවත් ලාලිත්‍යයක් හා භාවාත්මක නිරූපණ විලාසයක් ද වේ. සුමිත්‍රාගේ සිනමා රීතිය සැකසෙනුයේ ද එවන් වූ රමණීය සැබෑ පසුබිමක ය.

සුමිත්‍රා යනු සිය ප්‍රකාශන මාධ්‍යය තුළින් ස්ත්‍රිය ගැන කතා කරන ස්ත්‍රියකි. ස්ත්‍රිය දෙස බැලීම සහ ස්ත්‍රියක වීම ඇගේ චිත්‍රපට අරභයා සලකා බැලෙන ප්‍රධානතම දෘෂ්ටීන් දෙකකි. එය ඇගේ චිත්‍රපටවල අර්ථයට අදාළ කාරණයකි.

සිනමාවට සුමිත්‍රා පීරිස්ගේ දායකත්වය:

අධ්‍යක්‍ෂණය:-
ගැහැනු ළමයි (1978)
ගඟ අද්දර (1980)
යහළු යෙහෙළි (1982)
මායා (1984)
සාගර ජලය මදි හැඬුවා
ඔබ සන්දා (1988)
ලොකු දුව (1996)
දුවට මවක මිස (1997)
සක්මන් මළුව (2003)
යහළුවෝ (2007)
වෛෂ්ණාවී

සහය අධ්‍යක්‍ෂණය:-
සංදේශය (1960),
ද ගෝඩ් කිං (1976)

සංස්කරණය:-
ගම්පෙරළිය (1963), දෙලොවක් අතර (1966), රන් සලු (1967) අක්කර පහ (1970), ගොළු හදවත (1960) ද ගෝඩ් කිං (1976), මඩොල් දූව (1976), අහසින් පොළොවට (1978), දෑස නිසා (1975) වෛෂ්ණාවී

සම නිෂ්පාදනය:-
බැද්දේගම

සංස්කරණය: (කෙටි වාර්තා) –
හෝම් ෆ්‍රෝම් ද සී (මුහුදෙන් ගෙදරට) (1962) ෆෝර්ටි ලීග්ස් ෆ්‍රොම් පැරඩයිස් (සුරපුරට හතළිස් ගව්වක් මෙහා) (1970)
කැන්ඩි පෙරහැර (නුවර පෙරහැර) (1971)

අධ්‍යක්‍ෂණය (වාර්තා) –
සැළලිහිණිගම, පමා නොවී එමි අකුරට, නිවසේ හදිසි අනතුරු, වින්කල් පැංචා, සේරිවාණිජ ජාතකය, ඉල්ලීස ජාතකය, සස ජාතකය

අධ්‍යක්‍ෂණය (ටෙලි නාට්‍ය) –
ගැහැනු ළමයි

සම අධ්‍යක්‍ෂණය (ටෙලි නාට්‍ය) –
ගොළු හදවත

සම්මාන ඇගයුම්

ජාත්‍යන්තර සම්මාන –
● ලන්ඩන් චිත්‍රපට උළෙල – (1978, කැපී පෙනෙන චිත්‍රපටයට හිමි ඩිප්ලෝමාව (ගැහැනු ළමයි)
● කාතේජ් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල – 1978, ජූරියේ විශේෂ කුසලතා ඩිප්ලෝමාව, (ගැහැනු ළමයි)
● ටෝකියෝ දකුණු ආසියානු සිනමා උළෙල – 1980, ඩිප්ලෝමාව (ගඟ අද්දර)
● මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල – 1984, ඩිප්ලෝමාව, (යහළු යෙහෙළි)
● ලොස් ඇන්ජලීස් ෆිල්මෙක්ස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල – 1985, ඩිප්ලෝමාව, (යහළු යෙහෙළි)
● ටෝකියෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල – හොඳම චිත්‍රපට 10 අතරට තේරීම, (සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා)
● නැන්ටෙස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල – 1993, ඩිප්ලෝමාව, (ලොකු දුව)

ජාතික සම්මාන ඇගයුම් විශිෂ්ට සංස්කරණය උදෙසා –

● සරසවිය සම්මාන උළෙල – 1964, (ගම්පෙරළිය)
● සරසවිය සම්මාන උළෙල – 1967, (දෙලොවක් අතර)
● විචාරක සම්මාන – 1971, (බක්මහ දීගේ)
● ජනාධිපති සම්මාන – 1979, (අහසින් පොළවට)
● ඕ. සී. අයි. සී. සම්මාන – 1979, (අහසින් පොළවට)

විශිෂ්ට අධ්‍යක්‍ෂණය උදෙසා –

● ඕ. සී. අයි. සී. සම්මාන – 1979, (ගැහැනු ළමයි)
● ජනාධිපති සම්මාන – 1981, (ගඟ අද්දර)
● සරසවිය සම්මාන උළෙල – 1981, (ගඟ අද්දර)
● ජනාධිපති සම්මාන උළෙල – 1983, (යහළු යෙහෙළි)
● ඕ. සී. අයි. සී. සම්මාන – 1983 – (යහළු යෙහෙළි)
● සරසවිය සම්මාන උළෙල – 1985, (මායා)
● සරසවිය සම්මාන උළෙල – 1990, (සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා)
● ඕ. සී. අයි. සී. සම්මාන – 1990 – (සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා)
● සරසවිය සම්මාන උළෙල – 1996, (ලොකු දුව)
● ජනාධිපති සම්මාන – 1998, (දුවට මවක මිස)

අජිත් ගලප්පත්ති
ඡායාරූපය- දයාන් විතාරණ

advertistmentadvertistment
advertistmentadvertistment