සිංහල සිනමාවේ කිවිඳිය සුමිත්‍රා පීරිස් දිවි සැරිය නිම කරයි

351

සිංහල සිනමාවේ කිවිඳිය ලෙස ගෞරව සම්භාවනාවට පාත්‍රවූ අග්‍රගණ්‍ය සිනමාවේදිනී ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ (19 දා) සිය දිවි සැරියට සමුදුන්නේය.

ඇය සිනමා අධ්‍යක්‍ෂිකාවක, සංස්කාරකවරියක, නිෂ්පාදකවරියක ලෙසද ගෞරව සම්මානයට පාත්‍ර වූවාය.

සිංහල සිනමාවේ අග්‍රගණ්‍ය මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ගේ ආදරණීය බිරිඳ වූ ඇය මියයන විට 87 වැනි වියේ පසු වූවාය.

ඇය බොරළුගොඩ පිලිප් ගුණවර්ධන පරපුරේ සාමාජිකාවකි.

1935 මාර්තු 24 වැනිදා මෙලොව එළිය දුටු ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය ශ්‍රී ලාංකීය සිනමාවේ විශිෂ්ට අධ්‍යක්‍ෂවරියක ද වූවාය.

1990 දශකයේ අගභාගයේදී ඇය ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස කටයුතු කරමින් මහඟු සේවාවක් ඉටු කළාය.

ඇය විසින් අධ්‍යක්‍ෂණය කරන ලද “ගඟ අද්දර” චිත්‍රපටය මහත් ජනාදරයට පාත්‍ර විණි.

ඇය මෙලොව එළිය දුටු විට නම් තැබුවේ සුමිත්‍රා ගුණවර්ධන ලෙසිනි. ඈ උපත ලැබුවේ ශ්‍රී ලාංකික දේශපාලන ක්‍ෂේත්‍රයේ ප්‍රකට මාක්ස්වාදී චරිතයක් වන බොරළුගොඩ පිලිප් ගුණවර්ධනයන්ට ඥාතීත්වය දරන පවුලකය. සුමිත්‍රා පිලිප් ගුණවර්ධනයන්ගේ මිනිබිරියක වූවාය.

ඇගේ පියා හෙන්රි ගුණවර්ධන (හැරී ගුණවර්ධන) වූ අතර ඔහු අවිස්සාවේල්ල ප්‍රදේශයේ නීතිඥවරයකු ලෙස කටයුතු කළේය. ඇගේ මවු වූ හැරියට් වික්‍රමසිංහ සාමාන්‍ය මධ්‍යම පාන්තික කාන්තාවක් වූවාය.

ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ ඥාතීන් තිදෙනකු වන දිනේෂ් ගුණවර්ධන, ගීතාංජන ගුණවර්ධන, ප්‍රසන්න ගුණවර්ධන ලාංකීය ක්‍රියාකාරී දේශපාලනයේ අදටත් කටයුතු කරමින් සිටිති.

සුමිත්‍රා මහත්මිය අවුරුදු 14 පසුවන විට ඇගේ මව් මෙලොව හැර ගියාය. එතැන් සිට ඇය තම සොයුරු සොයුරියන් වූ ගාමිණී, චන්ද්‍රලතා, රංජිත් සමග ජීවන ගමනේ විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් පැමිණියාය.

ඇය මුලින්ම අධ්‍යාපනය හැදැරුවේ අවිස්සාවේල්ලේදීය. පසු කලෙක ඇය කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් වූවාය. ඇය ලන්ඩන් උසස් පෙළ විභාගය සඳහා ඇක්වයිනාස් විද්‍යාලයෙන් ඉගෙනුම ලැබුවාය.

ආචාර්ය සුමිත්‍රා මහත්මිය 1964 ජුනි 19 වැනිදා මෙරට අග්‍රගණ්‍ය සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සමග ඕල්සේන්ට්ස් දේවස්ථානයේදී විවාහ දිවියට එළැඹුණාය.

ඇය සිනමාවටද ඇල්මක් දැක්වූවාය. ඒ අනුව ඈ මුලින්ම සිනමා සංස්කරණයට එක්වූවාය. ඒ අනුව 1963 දී ‘ගම්පෙරළිය’ 1966 දී ‘දෙලොවක් අතර’ 1971 දී බක්මහදීගේ 1976 දී ‘මඩොල් දූව’ 1978 දී ‘අහසින් පොළොවට’ 1980 දී ‘ගඟ අද්දර’ යන චිත්‍රපට ඈ විසින් සංස්කරණය කරන ලදී.

එමෙන්ම ඇය සිනමා අධ්‍යක්‍ෂණය සඳහා ද යොමුවූවාය. ඒ අනුව 1978 දී ‘ගැහැණු ළමයි’ 1980 දී ‘ගඟ අද්දර‘ 1982 දී ‘යහළු යෙහෙළි’ 1984 දී ‘මායා’ 1988 දී ‘සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා’ 1996 දී ‘ලොකු දුව’ 1997 දී ‘දුවට මවක මිස’ 2003 වසරේදී ‘සක්මන් මළුව’ 2007 දී යහළුවෝ, වෛෂ්නාවි’ යන චිත්‍රපට ඇය විසින් අධ්‍යක්‍ෂණය කරන ලදී.

එසේම ඇය 1975 දී ‘දෑස නිසා’ චිත්‍රපටය සඳහා නිෂ්පාදනයෙන් දායක වූවාය.

එසේම හොඳම සංස්කරණ ශිල්පිනිය ලෙස සහ හොඳම චිත්‍රපට අධ්‍යක්‍ෂණයට සරසවි සම්මාන, ජනාධිපති සම්මාන, ඕ. සී. අයි. සී. සම්මාන යනාදී සම්මාන රැසකින් ඇය පිදුම් ලැබුවාය.

ඇය මෙරට ප්‍රථම වෘත්තාන්ත සිනමාවේ සංස්කරණ ශිල්පිනියද වන අතර, සිව්වැනි සිනමා අධ්‍යක්‍ෂිකාවද වන්නීය.

අභාවප්‍රාප්ත ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment