සිංහල සිනමාවේ නමගිය පාලමත් ඉවරයි

317

ගඟේ ගසාගෙන යෑමට නියමිත නක්කාවිට කම්බි පාලම

දැරණියගල නක්කාවිට කම්බි පාලම යනු මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ සුවිශේෂී ඉදිකිරීමක්ය. පාලම මත සිට අවට බලන කල්හි දකින්නට ලැබෙන දර්ශනය මනස්කාන්තය. පහළින් තාලයකට මෙන් ගලා බසින සීතාවක ගඟත් එහි වේගය මඳක් බාල කරන්නට මෙන් තැන තැන පිහිටි කුඩා ගල්තලාවන් ආධියත් ඉහළ සිට බලන කල දිස්වන්නේ දක්‍ෂ සිත්තරෙකු විසින් සිතුවමට නඟන ලද මනස්කාන්ත දර්ශනයක් ලෙසය. ඉවුරු දෑලේ පිහිටි හරිතවත් ගහ කොළ විසින් නිහඬව කියාපාන්නේ එම ප්‍රදේශය අපවිත්‍ර නොවූ වාතාස්‍රයෙන් පොහොසත් බවක්ය.

එවැනි ස්වභාවික වටපිටාවකින් හෙබි දැරණියගල නක්කාවිට ප්‍රදේශයේ ඉදිකොට ඇති කම්බි පාලම එදත් අදත් එම ප්‍රදේශයට අභිමානයක් එක්කල සුවිශේෂී ඉදිකිරීමක් බවට පත්වන්නේ කාරණා කීපයක් මුල්කර ගනිමිනි. එම කාරණ අතරින් නක්කාවිට කම්බි පාලමේ පෞරාණික වටිනාකමට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. මෙරට පිහිටි කම්බි පාලම් අතරින් නක්කාවිට කම්බි පාලම ඉහළම උසකින් පිහිටා තිබීම එහි අගය වැඩිවීම පිණිස බලපාන තවත් කරුණකි. මේ ආදී කරුණු කාරණා හේතුවෙන් 1926 වර්ෂයේදී ඉංග්‍රීසි ජාතිකයන් විසින් ඉදිකොට ඇති නක්කාවිට කම්බි පාලම දැරණියගල ප්‍රදේශයට මෙතෙක් කලක් ලබා දුන් අලංකාරයත්, අභිමානයත් ඉමහත්ය. ඒ හේතුවෙන් දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ඉහළින් දිනාගත් ස්ථානයක් ලෙසත් නක්කාවිට කම්බි පාලම නම් කළ හැක. සිංහල සිනමා වංශ කතාව ගත් විට නක්කාවිට කම්බි පාලම පසුබිම් කර ගනිමින් රූගත කළ සිනමා නිර්මාණ ගණනාවක් ඊට අයත්ය. ඒ හැරුණු කොට ජනප්‍රිය ටෙලි නාට්‍ය කීපයක්ම එම පරිසර පද්ධතිය ආශ්‍රිතව රූගත කොට ඇත.

ඉහත විස්තර කරන ලද නක්කාවිට කම්බි පාලමට නරක කලදසාවක් උදාවන්නේ ඉකුත් මාර්තු මස 31 දා මැදියම් රාත්‍රිය උදාවීමට ආසන්න මොහොතකය. කම්බි පාලම පිහිටි ප්‍රදේශයට ආසන්නයේ පිහිටි ගොඩබිම් මාර්ගයේ ගමන්ගත් කන්ටේනර් රථයක් පාලමේ ඉහළින්ම පිහිටි කම්බියේ ගැටීම හේතුවෙන් එයට බරපතළ අලාභහානි සිදුවන්නේ ප්‍රදේශයම දෙවනත් වන ආකාරයේ විශාල ශබ්දයක්ද පිට කරමිනි. ඒ හේතුවෙන් සියවසකට ආසන්න කාලයක් නිරුපද්‍රිතව පැවැති එම සුවිශේෂී ඉදිකිරීම මේ වන විට බරපතළ අවධානමකට ලක්ව පවතී. කනගාටුවට කරුණ බවට පත් වන්නේ එම අනතුර සිදුකොට පලා ගිය කන්ටේනර් රථය හා එය ධාවනය කළ රියැදුරා කවුද යන්න පිළිබඳව තවමත් විදිමත් පරීක්‍ෂණයක් පවත්වා නොතිබීමය. එම අනතුර හේතුවෙන් කම්බි පාලමට සිදු වූ හානිය පිළිබඳ සොයා බැලීම පිණිස අදාළ බලධාරීන්ගේ අවධානය මේ වන තෙක් යොමු වී නොමැත. ඒ පිළිබඳව අප විසින් සිදු කළ සොයා බැලීමකදී ප්‍රදේශවාසීන් කීපදෙනක් ඒ සම්බන්ධව අදහස් දැක්වීමට ඉදිරිපත්වූහ. පහතින් පළවන්නේ එම සිදුවීම විස්තරකරමින් ගම්වැසියන් කීප දෙනෙක් පැවසූ අදහස් උදහස්ය.

● ජී. ජී. සුසන්ත නුවන් කුමාර

පසුගිය මාර්තු 31 දා රාත්‍රී 11.30ට පමණ වැඩ අවසන් කරල මම ගෙදර ආවා. පාලම උඩින් එද්දී කිසිම අමුත්තක් තිබුණේ නෑ. රාත්‍රී 12.00ට ආසන්න වෙද්දී ලොකු ශබ්දයක් ඇසුණා. යකඩ ගොඩක් බානකොට එන ශබ්දයකට සමාන ශබ්දයක් ආව නිසා මම හිතුව කොහේහරි තැනකට යකඩ බානව වෙන්න ඇති කියලා. පහුවෙනිදා පාන්දර 5.00ට පමණ මම නැවත රැකියාවට යෑම පිණිස ගෙදරින් පිටත්වුණා. පාලමට ගොඩවෙලා අඩි කීපයක් යද්දී පාලම පැද්දෙන්න ගත්තා. ඒ පැද්දීමත් එක්ක මාව පහළට වැටුණා.

දවස් 5ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව තමයි මම නැවත ගෙදරට ආවේ. පරම්පරා ගණනාවක් අපිට එගොඩ මෙගොඩ යන්න තිබුණ කම්බි පාලම කැඩුණ එක ගම්වාසී අපට විශාල පාඩුවක්. දැන් අපිට ප්‍රධාන පාරට යන්න කිලෝ මීටර කීපයක අමතර ගමනක් යන්න වෙලා තියෙනවා. අපේ ගමට තිබුණ ලොකුම සම්පතක් මෙහෙම විනාශ වෙන්න ඉඩදීම ජාතික අපරාධයක්.

නක්කාවිට කුඩා පරිමාණ විදුලි බලාගාරයේ යන්ත්‍ර ක්‍රියාකරුවකු වන එන්. කේ. සුදත් මේ සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මෙරට කම්බි පාලම් අතරින් ඉහළින්ම පිහිටි කම්බි පාලම ලෙසත් දිගින් වැඩිම කම්බි පාලම ලෙසත් ප්‍රකට නක්කාවිට කම්බි පාලම කැඩී බිඳී යෑම හේතුවෙන් ගම්මාන රැසක පදිංචිකරුවන්ට දැඩි දුෂ්කරතා විඳින්නට සිදුවී ඇති බවය.

“පාලමේ ඉහළ කේබලයේ තමයි කන්ටේනරය හැපිල තියෙන්නෙ. ඒ නිසා කේබලය නැමිල ගේඩරයක් ඇඹරිලා ගිහින් තියෙනවා. කන්ටේනරය හිරවුණාට පස්සෙ ආපසු ගන්න යද්දී තමයි පාලම වේගයෙන් දෙපැත්තට පැද්දෙන්න අරන් තියෙන්නෙ. ඒකෙන් තමයි පාලමට ලොකු ලොකු හානි සිද්ධ වෙන්න ඇත්තෙ. මේ විනාශය ගැන තවමත් කිසි කෙනෙක් සොයා බැලීමක් සිදු කරල නෑ. ඒ පිළිබඳව ගම්වාසීන් ලෙස අපි ලොකු කලකිරීමකින් ඉන්නෙ. නක්කාවිට යකඩ පාලම කියන්නෙ ජාතික සම්පතක්. ඒකට හානි කරපු පුද්ගලයා කවුද කියලා හොයාගන්න තාමත් බැරිවෙලා තියෙනවා. ඒ ගැන බලධාරීන් ලැජ්ජා වෙන්න ඕන……”

● එස්. පෙරියසාමි

“එදා රෑ එකපාරටම යකඩ ගොඩක් පෙරළෙනවා වගේ ශබ්දයක් ඇහුණා. ඒත් එක්කම කීප දෙනෙක් කතාකරන හඬත් ඇහුණා. ඊට පස්සේ පාලම වැනෙන්න ගත්තා. මම ගෙදර තනියම හිටපු නිසා වෙන්නෙ මොකක්ද කියලා බලන්න ගියේ නෑ. බැරි වෙලාවත් කරුවලේ මමත් ඒ පැත්තට ගියානම් පාලම පල්ලෙ වැටෙනවා. උදේ තමයි දැක්කෙ පාලමට වෙලා තියෙන අලාබය. මේ පාලම නැති එක අපිට විශාල පාඩුවක් නමුත් දැන් මාසෙකටත් වැඩි කාලයක් ගතවෙලා. කිසි කෙනෙක් විසඳුමක් දුන්නේ නෑ. දැන් පාලම දෙපැත්තෙන් වහල දාලා තියෙනවා. මේක මහ අපරාධයක් එච්චරයි කියන්න තියෙන්නේ.”

ඉපැරණි නක්කාවිට යකඩ පාලමට මේ වන විට සිදුව ඇති විපත ඉහත සඳහන් කළ පරිදිය. සීතාවක ගඟට අඩි 80ක් ඉහළින්ද දිගින් අඩි 300ක පමණ දිග ප්‍රමාණයකින්ද යුත් මෙම අසිරිමත් ඉදිකිරීම මේ මොහොතේ පවතින්නේ දිරාපත්ව විනාශ වීමේ අවධානමකය. දහස් ගණනක් ජනතාවට ගමනාගමන පහසුකම් සැපයූ “නක්කාවිට යකඩ පාලම” ගඟ පල්ලට වැටීමට පෙර පිළිසකර කිරීම තව දුරටත් පමා වන්නේ කාගේ වරදින්ද? යන්න පිළිබඳ පැනයට තවමත් පිළිතුරක් නැත. මේ පිළිබඳව ගම්මු පවසා සිටින්නේ ප්‍රදේශයට අධිපති සුමනසමන් දෙවියන්ට තමන්ගේ දුක පැවසීම විනා ජනතා බදු මුදලින් වැටුප් ලබන රජයේ නිලධාරීන් පැලැන්තියට තමන්ගේ දුක පැවසීම ගඟට ඉණි කැපීමක් බඳු ක්‍රියාවක් පමණක් බවය.

රුවන් ජයවර්ධන
පසුබිම් වාර්තා හා ඡායාරූප
සෝමචන්ද්‍ර යකන්දාවල

advertistmentadvertistment
advertistmentadvertistment