සිංහ, කන්‍යා, ධනු, මකර ලග්න හිමියනි – ඔබට මේ මාසය ඉතාම ශුභදායකයි

2177

ප්‍රධාන ග්‍රහ මාරුවීම් මේ ආකාරයෙන් සිදුවෙයි. එනම් 2 වන රවි දින බුධ නිවෘත වෙත අතර 16 වන දින කුජ, මිථුන රාශි ගතවෙයි. 17 රවි, තුලා රාශියටත් 26 වන දින සිකුරු උච්ච බවන වූ තුලාවටත් පැමිණේ. අනිත් ග්‍රහයන් එනම් ශනි මකරයෙත්, ගුරු මීනයේ, රාහු මේෂයෙත්, කේතු, තුලාවෙත් ඒ ආකාරයෙන්ම සිටියි. ශනි ඔක්තෝබර් 23 වැනිදා නිවෘත වෙයි. මෙසේ වක්‍ර නිවෘත උච්ච වන ග්‍රහයන් ඔබේ ජීවිතයට කෙසේ බලපාවිද යන්න විග්‍රහ කර බලමු.

මුලින්ම මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ මාසය කෙසේ බලපාවිද බලමු.

මේෂ

මේෂයෙන් උපන් ඔබේ ලග්නයේ රාහු සිටින අතර බුධ 7 වැන්න වූ තුලාවට පිවිසෙයි. මෙතන කේතුද සිටින අතර 26 වැනිදා සිකුරාදා 7 වන රාශියට පිවිසෙයි. එමෙන්ම රවි 17 වන දින රවිද තුලා රාශිය වූ 7 වැන්නට පිවිසෙයි. මෙතනදී මෙතෙක් පැවැති කෝණය ඉවත් වන අතර මේෂ ලග්න හිමි ඔබට මාලවි යෝගයද උදාවෙයි. මුල් කාලයේ විශේෂයෙන් ලොකුවට ශුභ ඵල නොදුන්නත් මාස මැදදී ජීවිතයේ යම් යම් තීරණාත්මක දේ සිදුවෙයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින දුවා දරුවනි පුළුවන් තරම් අධ්‍යාපන කටයුතුවල පමණක් යෙදෙන්න. බාහිර දේ අඩුවෙන් කළත් කමක් නෑ. ප්‍රේම සම්බන්ධතාවලට හසු නොවන්න. මුළාවේ වැටීමෙන් වළකින්න. තමන්ගේ පාඩුවේ ජීවිතය ගෙවන්න. විවාහ වීමට සිටින අයට 17 වැනිදායින් පසුව යම්කිසි පිබිදීමක් ඇතිවෙයි. බොහෝදුරට මුළා නොවී විවාහ ජීවිතයට ඇතුළත් වන්න. උපතේදී මෙම ග්‍රහයන් බලවත් නම් වේගයෙන් ඔබට ශුභ ඵල උදාවන අතර අශුභ නම් තවත් සිතන්නට යමක් ඉතිරිවෙයි. ලෙඩ රෝගවලට මුල්වෙන ගතියක්ද, මිල මුදල් අතේ රඳන්නේ නැති කාලයක්ද වෙයි. විදේශගත වීමට අවස්ථාව උදාවෙයි. නමුත් බාධාවීම් ද යෙදේ. කිසිම විටක මුළා නොවී ඉදිරියටම යන්න. දැනට කරන රැකියාව සහ අලුත් ව්‍යාපාරවලට සහ හවුල් ව්‍යාපාරවලින් මුදල් සොයන ඔබද කල්පනාකාරී වන්න. ඉක්මන් තීරණ  නොගන්න. ආගම දහමට නැඹුරු වන්න. මුදල් වියදම් කරන්නට පෙර සිතන්න.

වෘෂභ

සිකුරු 5 වන භාවයේ නීච භංග රාජයෝගයෙන් ගමන් කළ බුධද අධිත්‍ය යෝගයෙන් 5 වන රාශියේ ගමන් කරයි. මෙම රවි 17 වන දින තුලා රාශි ගතවෙයි. මෙතනදී කේතු සමග සිකුරුද 26 වැනිදා තම උච්ච රාශිය වූ තුලාවට පැමිණේ. ගුරු මීනයේද ශනි මකරයේද කුජ 16 වැනිදා මිථුනයේද ගමන් කරමින් ආරම්භ වන නව මාසය ඔබට කෙසේ බලපාවිද යන්න විමසමු. මේ ලග්නය හිමි ඔබ විශේෂයෙන්ම ඔබේ ශරීර සෞඛ්‍ය ගැන විමසිලිමත් වන්න. විශේෂයෙන් චර්ම රෝගවලින් ප්‍රවේශම් වන්න. අදෘෂ්‍යමාන බලවේගවලින්ද ප්‍රවේශම් විය යුතුයි. කුජද මුල් කාලයේ ලග්නයේ ගමන් කරයි. අධ්‍යාපනය ලබන දරුවන් මේ කාලය ශුභ වුවත් අනවශ්‍ය දේට සිත දුවන බැවින් පුළුවන් තරම් සිත එක තැනක තබාගෙන ජීවත් වෙන්න. පුළුවන් තරම් තමාට ලැබී තිබෙන දේ රැකගන්න උත්සාහ කරන්න අනවශ්‍ය බැඳීම්වලින් නිදහස් වෙන්න. බුද්ධියට මුල්තැන දෙන්න. වියදම් පක්‍ෂය වැඩිවෙයි. නීතිමය කටයුතුවලටද යන්නට සිදුවෙයි. රැකියාවේ ගැටලු ඇති නොකරගෙන ආශ්‍රය කරන අයගෙන්ද ප්‍රවේශම් වන්න. ශනි, ගුරු දෙදෙනාගේ බලය වැඩි නිසා ඔබ අනාගත දියුණුව සඳහා ආයෝජනය කරන්න. එය තැන්පත් ධනයක් නම් ශුභයි. සැලසුම් සහගත දේට ශුභයි. වස්තු ලාභ ලැබීමටත් ඉඩකඩ පවතියි. බලාපොරොත්තු බොහෝදුරට මාසය මැදදි ඉටුකර ගැනීමට හැකියාව පවතියි. මේ කාලයේ සිතට දුකක් දැනේ. දුකට කරුණු කාරණාද ඒකරාශි වෙයි. කට වෙහෙසා කටයුතු කරන අයට මූල්‍යමය වාසි ලැබේ ශුභයි. අලුත් අලුත් දේ ඉගෙනීමටද අවස්ථාව උදාවෙයි. විදේශගතවන අයටයි මේ පණිවිඩය ඇත්තෙන්ම සියලු දේ දැනගෙන විදේශ ගතවෙන්න. රැකියාවක් ඇත්නම් පමණක් විදේශගත වෙන්න. පුළුවන් තරම් ආගමික කටයුතුවල නිරත වෙන්න. පුළුවන් තරම් දැහැමි වෙන්න. සියලු දේ සිතන අයුරින්ම ඉටුවේවි. පවතින අපල දුරු කර ගන්න ඇති එකම මාර්ගය තමන් අදහන  ආගමක් හොඳින් භක්තියෙන් ඇදහීම පමණයි.

මිථුන

මිථුනයෙන් උපන් ඔබේ කේන්දරයේ මේ ආකාරයට ග්‍රහ මාරුවීම් සිදුවෙයි. එනම් ඔබේ ලග්නාධිපති බුධ 2 වැනිදා නිවෘත වෙයි. 16 වැනි දින කුජ ඔබේ කේන්දරයේ ලග්න ගතවෙයි. එනම් කුජ මිථුනයට පැමිණේ. 17 වන දින රවි තුලා රාශිගත වෙයි. 26 සිකුරු තම උච්ච රාශිය වූ තුලාවට පැමිණේ. ඔබේ කේන්දරයේ අනිත් ග්‍රහයන් ඒ ආකාරයෙන්ම සිටියි. එනම් ශනි මකරයෙත් රාහු මේෂයෙත් කේතු තුලාවෙත්, ගුරු මීනයෙත් සිටිමින් ගත වන කලදශාව විග්‍රහ කර බලමු. මෙම කාල වකවානුවේදී ශරීර සෞඛ්‍යයට එතරම් ශුභදායක බවක් නොපෙන්වයි. වරින් වර අසනීප ගති මතුවෙයි. මෙය ශරීරගත රෝගවලට මුල්ම අඩිතාලමක් බව සිතන්න. කනගාටුවට ද කරුණු ඇතිවෙයි. හිස සම්බන්ධ රෝගද අධික ලෙස තමාට තමාව පාලනය කර ගැනීමට නොහැකි කරුණුද ඇතිවෙයි. අධ්‍යාපනය ලබන දරුවන්ටද කරදර බාධක ගෙනදෙන කාලයකි. හිතේ අමාරුද ගතේ අමාරුද නිසා දවසින් දවස අධ්‍යාපන කටයුතු මග හැරෙන්නට පුළුවන් නිසා ඒ ගැන කල්පනාවෙන් සිතට ගෙන අධ්‍යාපන කටයුතුවල යෙදෙන්න. යාළු මිත්‍ර සම්බන්ධතා පළුදු වෙයි. එමෙන්ම විවාහ වූ අඹු දරුවන් අතරද ගැටලු ඇතිවිය හැක. ආදර සම්බන්ධතා බිඳ යෑමටද පුළුවනි. මෙපමණක් නොවේ ඔබ ළඟින් ආශ්‍රය කළ කෙනෙක් ඔබෙන් ඈත් වීමට හෝ අමනාප වීමට පුළුවනි. එබැවින් පුළුවන් තරම් කල්පනාවෙන් ජීවත් වන්නට උත්සාහ ගන්න. මාසේ අන්තිම වන විට සුළු වශයෙන්වත් ලාභ ප්‍රයෝජන ලැබෙන්නට පුළුවනි. ආදර සම්බන්ධතා ස්ථිර වෙයි. විදේශ ගමන් බිමන් යෙදේ. අලුත් යාළු මිත්‍රයන් ඥාතීන් ලැබේ. බොහෝ කල් යනතෙක් උපදෙස් මෙන්ම ආදරය කරුණාවද ලැබේ. එබැවින් කරන කියන හැම දේම කල්පනාවෙන් කළහොත් ජීවිතය  ගොඩදාගෙන ජීවන ගමන යා හැක.

කටක

කටක ලග්නයෙන් උපන් ඔබේ ලග්නයේ මුල් කාලයේ බුධ 3 සිට හතරවන රාශිය වූ තුලාවේ තැන්පත් වෙයි. එමෙන්ම තුලාවේ කේතු සිටින අතර එතනට රවිගේ පැමිණීමද සිදුවෙයි. තුලාවේ කේතු, රවි, ශුක්‍ර තැන්පත් වේ. ශනි 7 වැන්නේද, ගුරු 9 වැන්නේද රාහු මේෂය වූ 10 වැන්නේ ද ගමන් කරයි. කුජ 12 වැන්නේ ගමන් කරයි. මෙම ග්‍රහ ගෝචරයට අනුව ඔබට නොයෙක් විද කරදරවලට මුහුණ පාන්නට සිදුවෙයි. මේ කාලයේ තද ලෙසම තම සිත නරක් වීමට කරුණු කාරණා සිදුවෙයි. තද ලෙස සිත පාලනය කර ගැනීමට නොහැකිකම නිසා ශරීරයේ නොයෙක් ලෙඩ රෝගවලට මුහුණ දෙන්නට සිදුවෙයි. විශේෂයෙන් හිසේ වේදනාව, පපුවේ වේදනාව තදින් දැනෙන්නට පටන් ගනියි. මේ සියලුම දේ ඔබේ කලබලකාරී බව මුල්කරගෙන සිදුවන කරදරයි. හදිසි අනතුරු කරදරවලින් බේරීමටත් කකුල්වල දද, කුෂ්ඨ තුවාල ඇතිවීමටත් පුළුවනි. අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙන දේ. පෙරට වඩා උනන්දුව උත්සාහය තිබිය යුතුයි. අනවශ්‍ය ආදර සම්බන්ධතාවලින් මිදෙන්න. නින්දා අපහාස අපවාද විඳින්නට ඉඩ තිබෙන නිසා පුළුවන් තරම් කල්පනාකාරී වන්න. විදේශගත වීමට බලාපොරොත්තු වන අයට බාධක කරදර ගෙන දුන්නත් විදේශගත වීමට හැකියාව පවතියි. විවාහ වීමට බලාපොරොත්තු වන අයගේ විවාහය කල් යෑමටත් රැවටිලිවලට හසුවීමටත් පුළුවනි. එබැවින් ප්‍රවේශම් වන්න. ජීවිතය විනාශ කර නොගන්න. කිසිම විටක කැඩුණු බිඳුණු දේ මිලදී නොගන්න. රැකියා කරන අයගේ රැකියා ස්ථානවල නොයෙක් ආකාරයේ සිත් රිදවීම් ඇති වුවත් ඒකාකාරීව තමාගේ කටයුතුවල පමණක් යෙදෙන්න. නැතිනම් නොයෙක් ආකාරයේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙයි.

සිංහ

සිංහ ලග්නයෙන් උපන් ඔබේ කේන්දරයේ ද මෙම ග්‍රහ මාරුවීම් තුළදි ඔබේ ජීවිතයට නව පණක් ගෙන එන කාලයකි. මෙතෙක් ඔබට අතපසු වූ හෝ කර ගැනීමට තිබූ දෙයක් මෙතෙක් ප්‍රමාද වූවානම් එය ඇත්තෙන්ම කර ගැනීමට හැකි කාලයක් බැවින් උනන්දු වන්න. විදේශගත වීමට හෝ අධ්‍යාපන කටයුතු හෝ රැකියා කටයුතු සම්බන්ධවනම් එයටත් හොඳම කාලයකි. පවුලේ අයටද පවුලට තවත් සාමාජිකයන් එකතු වන කාලයකි. විවාහ අපේක්‍ෂක අයට මංගල සීනු හැඬවෙන කාලයකි. අලුත් ව්‍යාපාර පටන් ගෙන කරන්නටත් තිබෙන ව්‍යාපාර තවදුරටත් ව්‍යාප්ත කරන්නටත් හොඳම කාලයකි.

අලුතින් දේපළ ගැනීමටත් ලැබීමටත් පුළුවනි. විශේෂයෙන් මේ කාලයේ නව නිවාස, අත්තිවාරම් දැමීමට හොඳම කාලයකි. මිල මුදල් ලාභ ලැබෙන කාලයක් නිසා පුළුවන් තරම් යහපත් වැඩවල පමණක් යෙදෙන්න. ධාර්මිකව ලාභ පවා ලැබේ. පොළොව සමග ගනුදෙනු කරන අයටද මේ කාලය ඉතාම ශුභ කාලයකි. මේ කාලය නිසි කළමනාකරණයක් ඇතිව ඉදිරි කාලය ගැන සිතා කරන වැඩකටයුතුවලින් සිතන්නේ නැති අයුරින් සියලු දේ සඵල කර ගැනීමට හැකියාව ගෙන දෙයි. ගොඩ දවසකින් තමයි මේ වගේ කාලයක් ඔබට උදා වූයේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල ලබා ගැනීමටත් ඔබේ දැන් යන දශාවන් අනුවත් අතුරු දශා අනුවත් මෙහි අඩු වැඩිවීම් ඇතිවෙයි. පොදුවේ ගත් කල සිංහ ලග්න හිමි ඔබට ඉතාම හොඳ කාලයකි. සියලුම දේ සර්ව සම්පූර්ණ කර ගැනීමට පුළුවන් කාලයකි. අශුභ දශා ගෙවන අය අනතුරු කරදරවලින්ද බේරිය යුතුයි. එපමණක් නොවේ ලෙඩ රෝගවලින්ද ප්‍රවේශම් විය යුතුයි. කට ඉස්සර නොකරන්න. දැහැමිව ජීවිතය ගෙන යන්නට අදිටන් කර ගන්න. දුක් වීමට කරුණු ඇති වීමට පුළුවනි. අසල්වැසියන්, ඥාතීන් සමග කටයුතු කිරීමේදී ප්‍රවේශම් වන්න. නොතේරුම් කමින් මෝඩකමින් සියල්ලම පටලවා ගන්න උත්සාහ නොකරන්න. උසස් අය සමග රැකියාව කරන අය සමගත් කල්පනාවෙන් රැකියා කටයුතුවල යෙදෙන්න.

කන්‍යා

මෙම කේන්දරයෙන් උපන් ඔබටද රවි, බුධ, කුජ, සිකුරුගේ ග්‍රහ මාරුවීම් කෙසේ බලපාවිද කියා ඇත්තෙන්ම මෙම ග්‍රහ මාරුව ශුභදායකයි. මෙතෙක් පැවැති කරදර බාධක සුළු කාලයකට හෝ පසෙකලා ඔබට වාසනාව උදාකරයි. දියුණුවට ගන්නා වූ සෑම පියවරක්ම ඔබට වාසනාව දියුණුව ගෙනදෙයි. නීතිය පැත්තෙන් රැකියාව කරන අයටත් කතාවේ බලයෙන් මුදල් සොයන අයටත් මේ කාලය ඉතාම ශුභදායකයි. විදේශ ගමන් බිමන් සඳහා මෙන්ම උත්සාහයෙන් ජීවිතය ගොඩදාගන්න හොඳම කාලයකි. උසස් අයගෙන් වැඩිහිටියන්ගෙන්, හොඳ උපදෙස් මග පෙන්වීම් මත එයින් ඉදිරියටත් ප්‍රයෝජන ගත හැකි අය හඳුනා ගැනීමට අවස්ථාව උදාවෙයි. ඇත්තෙන්ම තමාගේ පින මතුවෙන කාලයකි. ඉතිං අප්‍රමාදව මෙම පිනෙන් ප්‍රයෝජන ගන්න. අලුත් දේ ඉගෙනීමට අවස්ථාවක්ද උදාවෙයි. මෙයද ඉදිරි අනාගතයට ආයෝජනයක් වෙයි. අධ්‍යාපනයේ යෙදී සිටින දරුවනි පසුගිය කාලයේ පසුබෑමක් ඇති වුවත් එය ඉදිරියේ එසේ නොවේ. ඔබට ඔබ සිතන ආකාරයෙන් ඔබේ කටයුතු කර ගැනීමට හැකියාව පවතින අතර ආදර සම්බන්ධතා ඇති කරනොගෙන ඉදිරියට යන්න හැකි නිසා එයින් ප්‍රයෝජන ගන්න. හැම විටම අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දෙන්න. වාසනාව ඔබ ළඟම තියෙන නිසා එය මගහැර නොයන්න. විවාහ අපේක්‍ෂාවෙන් සිටින අයටද වාසනාව උදාවෙයි. මෙතෙක් මිල මුදල් ප්‍රශ්න තිබුණු අයට එම ප්‍රශ්න විසඳා ගැනීමට හැකියාව පවතියි. විශේෂයෙන් ස්ත්‍රීන්ගෙන් ලාභ ප්‍රයෝජන ලැබෙන කාලයකි. ස්ත්‍රී/පුරුෂ දෙගොල්ලටම මේ කාලයේ වාසිදායකයි. හැබැයි අනියම් සම්බන්ධතානම් මා අනුමත නොකරයි. නමුත් එයින්ද වාසි ලාභ ලැබෙන කාලයකි. ප්‍රීතිමත් සමාගම් පවත්වන්නට ඉඩ ලැබේ. එයින් තම ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීමට පුළුවනි. තෑගි බෝගද ලැබෙන කාලයකි. ඉහත කී කාරණා ඔබට එසේම ඇති නොවෙන්නට ද පුළුවනි. එසේ වන්නේ ඔබේ යන දශාව/අනු දශාව/ඒරාෂ්ඨක අනුවයි. එබැවින් එවැනි අපලයක් ඔබේ ලග්නයේ පවතීනම් කල්පනාකාරී වන්න. විශේෂයෙන් අතුරු ආන්ත්‍රාවක් ඇති නොකර ගන්න. මුහුණේ කුරුලෑ එන්නටත්, ඇස්වල දත්වල ආබාධ ඇති වීමටත් පුළුවනි. ආරාවුල්වලට නොයා ඇඟ බේරගෙන ඉන්නට අදිටන් කර ගන්න. විවාහ වූ අයට ස්වාමියා හෝ බිරිඳව අසනීප කරයි. මිල මුදල් ලාභ ලැබුණත් එය වහා වියදම් ංවී යයි. පුළුවන් තරම් කල්පනාකාරී වන්න අනතුරුවලින්ද ප්‍රවේශම් වන්න.

තුලා

විශේෂයෙන් මේ කාලයේ ශුභ දශාත් අශුභ දශාත් දෙකම ගෙවන අය පෙරට වඩා තම ශරීරය ගැන උනන්දු වෙන්න. මන්ද මේ කාලයේ මුහුණේ තැන් තැන්වල ලප කැලැල් මතුවෙයි. මුහුණු වියළි යන ගතියක් පෙන්වයි. තුවාල සාදයි. ඔළුවේ ද තුවාල ඇති වීමට පුළුවනි. මේ කාලයේ පිරිසිදුකම අතිවිශේෂයි. එබැවින් සිතට වරින් වර කේන්තියන ගතියක්ද ඔබට ඔබවම තේරුම්ගත නොහැකි ගතියක්ද පෙන්නුම් කරයි. මේ කාලයේ තමා අතින් සිදුවූ වැරදි නිසා පසුතැවෙයි. පුළුවන් තරම් අවංකව තම රැකියා කටයුතුවල යෙදෙන්න. සොර සතුරන්ගෙන්ද ප්‍රවේශම් වන්න. නිතරම කරදර ගෙන දෙයි. පුළුවන් තරම් කල්පනාකාරී නොවුණොත් සියලු දේ අවුල් සහගත ලෙස නිමා විය හැක. මේ කාලයේ තමාගේ අය මෙන්ම පිට අය සමග වුවත් ගනුදෙනු කිරීමේදී පරිස්සමින් එය සිදුකරන්න. මන්ද එය සමහරවිට ලියකියවිලි සම්බන්ධයෙන් හෝ දේපළ බෙදා ගැනීම් සම්බන්ධයෙන් විය හැක. මිල මුදල් ගනුදෙනුවලින් විය හැක. මේ කාලයේ බොහෝ ඉක්මනින් රැවටිලිවලට හසුවෙයි. සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතුයි. කේලම් ඕපාදූපවලට මේ කාලයේ නොයන්න. එයින් දුරින් දුර යන ප්‍රශ්න ඇතිවෙයි. කතාව නිසා අමාරුවේ වැටෙයි. නිදාගන්නා තැන පවා වෙනස් වෙයි. අධ්‍යාපනය ලබන දරුවනි අනවශ්‍ය ගැටලු ඇති කර නොගන්න. මොනතරම් මනස විසිරුනත් එය නිරවුල්ව තබා ගන්නට උත්සාහ ගන්න. හේතුව බාධක සමග ඉදිරියට යාමක් මේ පවතින්නේ. දෙන වැඩේ අතපසු නොකර කරන්නට උත්සාහ ගන්න. තුලා ලග්න හිමි දරුවන් සිටින දෙමාපියනි, ඔබේ පළමු දරුවාටත් ඔබේ පියාටත් මේ කාලය අපලදායකයි. මානසික සුවය හැම අතින්ම ඔබට අවාසි ගෙන දෙමින් කාලය ගත කරන්නට සිදුවෙයි. හදිසි අනතුරුවලින්ද ප්‍රවේශම් වන්න. උෂ්ණ රෝගවලින් තමාගේ වරදින්ද බොහෝ දුක් පීඩා තනිව විඳින්නට සිදුවෙයි. තමන්ට අයිති නැති කිසිවක් නොගන්න. විශේෂයෙන් විවාහ වූ අයටත් විවාහ වීමට සිටින තරුණ තරුණියන්ගෙන්ද කරන ඉල්ලීමකි. අන්සතු දේ නොගන්න. එසේ වුවත් දුක්විඳින්නට සිදුවන්නේද ඔබටමයි.

වෘශ්චික

වෘශ්චික ලග්න හිමියනි කල්පනාවෙන් ගෙවිය යුතු මාසයකි මේ. එබැවින් කරන කියන සෑම දෙයක් ගැනම සිහිබුද්ධියෙන් කළ යුතුයි. ඔබේ ගෞරවයට හානිගෙන දෙන කාලයකි. සිත් තැවුල් නිතරම ඇතිවෙයි. අවුල් වියවුල් එන්න එන්නම වැඩිවෙයි. පුළුවන් තරම් පැත්තකට වී සිටිය යුතු කාලයකි. නිකරුණේ කාලය ගෙවී යෑමටත් වෙනදා නැති කම්මැලි ගතියක් ශරීරයට කිසිම ප්‍රාණවත් භාවයක් නැති කමත් අසනීපාදී කරදරවලට ලක්වීමටත්, හදිසි අනතුරුවලට ලක් වීමටත් ඉඩකඩ පවතියි. අධික ලෙස වියදම් යන කටයුතු යෙදේ. බොහෝ අවස්ථාවලදී අවශ්‍ය දේට වඩා අනවශ්‍ය දේ සඳහා කාලයත් ධනයත් වැය කරන්නට සිදුවේ. ලාභ බලාපොරොත්තුවෙන් මුදල් වියදම් කිරීමට ගොස් පාඩු විඳින්නට සිදුවන නිසා අලුත් දේටත් ආයෝජනයක් කිරීමටත් නොයන්න. ධන හානි ඇති කරන මාසයකි. ශරීර වේදනා මෙන්ම දුක් වේදනාද ගෙනදෙන කාලයකි. උෂ්ණ රෝග, පිත් කෝප රෝග, දත්වල හා පාදයේ රෝගවලින් පරිස්සම් වන්න. විදේශ ගමන් බිමන් මේ කාලයේ ටික දවසකට කල් දමන්න. ස්ථාන වෙනස්වීම්වලට මේ කාලයේ නොයන්න. අධ්‍යාපනය ලබන දරුවනි උත්සාහයෙන් ඉදිරියට යා යුතු කාලයක් බැවින් පුළුවන් තරම් අධ්‍යාපන කටයුතුවල පමණක් යෙදෙන්න. ආදර සම්බන්ධතාවලින් සිත් පීඩා පමණයි ඉතුරු වෙන්නේ. ඊට වඩා යමක් මේ කාලයේ ඔබට හිමි නොවේ. ඔබේ ගෞරවය අන් අයගේ ගෞරවය රැකිය යුතු කාලයකි. එය රකින්න. මිත්‍රයන් සමග අවුල් වියවුල් ඇති කර නොගන්න. වරදක් කළත් නොකළත් ඔබට ඔබේ පැත්තට ඇඟිල්ල දික්වෙන කාලයක් බැවින් පරිස්සමින් සියල්ල කරන්න. සතුරන් සමග නෙත නොගැටෙන්න. කම්මැලි ගතිය අඩුකරගෙන දිගින් දිගටම ඉදිරියට යන්නට උත්සාහ ගන්න. වැඩිහිටි දෙමාපියනි, පුළුවන් තරම් පරිස්සමින් කාලය ගත කරන්න. හොඳම දේ හුදකලාවයි. හුදකලාව ජීවිතේ බොහෝ දේ කියා දෙමින් ඔබව වෙනස් කරයි. ආගමික කටයුතුවල වැඩියෙන් කාලය ගෙන යෙදෙන්න. අනතුරු දැක එයට මුහුණදෙන්න උත්සාහ ගන්න.

ධනු

ධනු ලග්න හිමියනි ඔබට වාසනාව ගෙන එන මාසයකි. ඇත්තෙන්ම වාසනාවන්ත කාලයක් මේ ඔබ ගෙවන්නෙ. ගෞරව සැලකිලි ලැබෙන කාලයකි. රාජකාරි කරන තැන පවා ඔබට ගෞරව ප්‍රශංසා ලැබෙන කාලයකි. අලුත් දේ උරගා බලන්නට හොඳම කාලයයි. නව නිපයුම්වලට, අලුත් නිවාස ඉඩම් මිලදී ගැනීමටත් හොඳම කාලයයි. එමෙන්ම මේ කාලයේ ඔබව ඉහළට ඔසවා තබනු ඇත. එයින් ප්‍රයෝජන ගැනීම උත්සාහවන්ත වී තමාගේ දියුණුව ඉදිරියට ගෙන යෑමට හැකියාව ඇත්තේ ඔබට පමණයි. එයින් ඵල නෙළා ගන්න. විදේශ ගමන් බිමන් යෙදේ. උසස් රැකියාවන්ට ඇරයුම් ලැබේ. ඔබට වාසනාව මෙන්ම පෙර පින්ද මතුකරවන කාලයක් බැවින් දැහැමිව සෙමින් සියලු දේ සඵල කර ගන්න. ගෙදර දොර වාසනාව උදාවෙයි. අධ්‍යාපනය ලබන දරුවනි ඔබටද මේ කාලයේ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට වාසනාව පෑදේ. ඔබ බලාපොරොත්තු වූවාට වඩා දෙයක් ලැබෙන කාලයකි. විනෝදය සඳහා යන ගමන් බිමන් යෙදේ. උසස් අයගෙන් ගුරු සැලකිලිද ලැබේ. නොයෙක් දේ ලැබෙන කාලයකි. ආදර සම්බන්ධතා ඇති අධ්‍යාපනය ලබන දරුවනි ආදරයට මුල්තැන නොදී අධ්‍යාපනයේ පමණක් යෙදෙන්න. වැඩිහිටි අයට මංගල සීනු නාදවෙන කාලයකි. අලංකාරයට ප්‍රසිද්ධිය සියල්ලම සිදුකර ගැනීමට අවශ්‍ය දේ නිසියාකාරයෙන් ලැබේවි. ධන ලාභද මුදල් ලාභද ලැබේ. මෙය විවාහයත් සමග සිදුවෙයි. අඩුපාඩු නැතුව සියල්ලම විසඳෙයි. ධනු ලග්න හිමි ඔබට මේ ගෙවෙන්නේ අශුභ දශාවක් නම් හෝ අතුරු දශාවක් නම් ඉහත කී කරුණු කාරණා ඒ අයුරින්ම ඉටු නොවන්නට පුළුවනි. නමුත් එම අශුභ දශාව වුවත් එය ශුභ කරගෙන ඉදිරි කාලය ගත කිරීමට හැකියාව ඔබ සතුයි. ආගම දහමට වැඩි වශයෙන් යොමු වෙන්න. පුළුවන් තරම් පින් අතේ වැඩ කරන්න. එයින් බොහෝ ඵල බොහෝ ආනිශංස ලබාගත හැක. මොන දේ වුවත් විශාල වශයෙන් හානි ගෙන නොදෙන බව සඳහන් කළ යුතුයි. හොඳ හික්මීමෙන් සියල්ල සාර්ථක කරගන්න. ඔබට හැකියාව පවතියි. වාසනාව ඔබ ළඟ රඳවා ගැනීමට හැකි හොඳම කාලයයි මේ.

මකර

මේ කාලයේ ඔබට ලග්න ඒරාෂ්ඨකයක් ගත වෙයි. මේ මාසය ශුභාශුභ මිශ්‍ර ඵල විපාක ගෙන දෙන කාලයකි. මේ මාසයේ නිශ්ඵල දේ සඳහා මිල මුදල් හානි සිදුවෙයි. අධික ලෙස මුදල් වියදම් කරන්නට සිදුවෙයි. ඔබ අනාගතයට යමක් ආයෝජනය කළා නම් එයින් ඵල ලැබේ. පියා සතු දේපළක් ලැබෙන්නට පුළුවනි. නැතහොත් පියාගෙන් දෙයක් ලැබෙන්න පුළුවනි. මෙය සියලුම මකර ලග්න හිමියන්ටම සිදුවෙයි කියා සිතන්නට එපා හේතුව ඔබේ උපන් කේන්දරයත්, දැනට පවතින දශාවේ අතුරු දශාවේ බලවත් කමත් මෙයට බලපාන බැවිනි. මේ කාලයේ රැකී රක්‍ෂා කටයුතුවලද වෙනසක් ඇතිවෙයි. අලුත් රැකියා අවස්ථා තරුණ තරුණියන්ට උදාවෙයි. ප්‍රසිද්ධ තැන්වලට යෑමටත් විදේශ ගමන් බිමන් යෙදීමටත් හැකියාව පවතියි. ගරු නම්බුනාම පවා ලැබෙන්නට පුළුවනි. ප්‍රීතිමත් උත්සව පැවැත්වීමට සහ ඒවාට සහභාගි වීමට අවස්ථාව උදාවෙයි. පවුලේ බාලයාගේ උසස් වීමකට අධ්‍යාපනයෙන් ඉහළට යාමක් හෝ මොනයම් ආකාරයෙන් හෝ පවුලට සතුටක් ගෙන එන්නට බාල සහෝදරයා සමත් වෙයි. එය පවුලට නම්බුවකි. පෙර තිබුණු වැරදි අතපසුවීම් ටික කාලයකට ඔබව නිදහස් කරයි. මනස නිරවුල් කරයි. ආත්මාර්ථකාමී නොවී සියලු ප්‍රශ්න විසඳගෙන ඉදිරියට ගියහොත් ඒරාෂ්ඨකයක් පැවතුණත් ජයගන්නට හැකියාව ඔබ සතුයි. මකර ලග්න හිමියනි ඉහත මා කිව් මිශ්‍රඵල සහිතයි කියලා මේ ගැනත් සිතන්න. මේ කාලයේ අසනීප ඇතිවෙයි. නමුත් එය වහා සුවවෙයි. සතුරුකරදවලින් ප්‍රවේශම් වන්න. තමා සමග එකට වැඩකරන අයගෙන් තමාට හානියක් කරදරයක් සිදුවේ යැයි සැකයෙන් බලන්න. එවිට ඔබට සිදුවීමට ඇති හානිවලින් බේරීමට හැකියාව පවතියි. මුදල්මය ගැටලු ඇති වුවත් අවශ්‍ය දේ අවශ්‍ය මොහොතේ ලබා ගැනීමට හැකියාව පවතියි. වාසනාව ඔබ කරා එයි. ඔබ දියුණුව කරා යා යුතුයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල නෙළා ගැනීමට හැකියාව පවතියි. මේ කාලයේ සිතට දුකක් හෝ අසතුටක් ඇති වීමට කරුණක් යෙදෙන නමුත් එය දිගින් දිගටම ගෙන නොයන්න ආදර බැඳීම්වලදී ප්‍රවේශම් වන්න.

කුම්භ

කුම්භු ලග්න හිමියනි ඔබට මේ ගෙවෙන්නේ ලග්න ඒරාෂ්ඨකයකි. මෙම අපල කාලයත් සමග ඔබ මේ මාසය කෙසේ බලපාවිද යන්න විමසමු. ඔබේ කේන්දරයේ සිකුරු කන්‍යාවේ නීච භාවයෙන් සිට තම උච්ච රාශිය තුලාවට පැමිණීමත් රවි, බුධ පැමිණීමත් කේතු තුලාවේ සිටීමත් ඔබේ ජීවිතය කුමන අයුරින් වෙනස කරවිද. මොන දේ සිදු වුවත් ඔබට අලුත් ඇඳුම් පැළඳුම් ලැබෙන කාලයකි. එයට හේතුව ආදර බන්ධන ස්ථිර වීමත්, අලුත් ආදර සම්බන්ධතා ගොඩනඟා ගැනීමත්ය. හැබැයි හොඳින් මතක තියාගන්න කිසි විටකත් ණයට නොගන්න. අලාභ හානි මිල මුදල් හානි ඇති කරන නිසා කල්පනාකාරීව ජීවිතය ගෙනියන්න. බොහෝ අවස්ථාවලදී ඔබේ සැනසීම අඩුවී යයි. නෑනලා මස්සිනාලගෙන් ප්‍රවේශම් වන්න. සතුරන් ඇති වීමට පුළුවනි. සතුරන්ගෙන් ප්‍රවේශම් වන්න. හදිසි අනතුරු කරදරවලින් ප්‍රවේශම් වන්න. මුහුණේ, කකුල්වල, ඇස්, දත්වල, උගුරේ ආබාධ ගෙන දෙන බැවින් ප්‍රවේශම් වන්න. නින්දාවෙන්, මුළාවේ වැටීමෙන් පරිස්සම්වන්න. ස්ත්‍රී පුරුෂ තරුණ අයට ආදර සම්බන්ධතා ඇතිවෙයි. නමුත් කල්පනාකාරී වන්න. හේතුව රැවටීම ඔබ ළඟමයි. හිතවතුන් ඥාතීන් බොහෝ අවස්ථාවලදී ඔබට හරහට හිටියි. පෙර තිබුණු උනන්දුව උත්සාහය ටික ටික ඔබෙන් පලා යයි. ශරීරයට පණ නැති ගතියක්ද පෙන්නුම් කරයි. නිෂ්ඵල අධික වියදම් ගතිය අඩුකර ගන්න. නිතර ඇතිවන සිත්තැවුල්වලින් නිදහසක් සොයා ගන්න. ආගමික කටයුතුවල යෙදෙන්න. විදේශ ගමන් බිමන් පෙන්නුම් 2023 න් පසුව එයට උත්සාහයක් ගන්න. එතෙක් හිමින් කල්පනාවෙන් කාලය ගෙවන්න. අධ්‍යාපනය ලබන දරුවනි කල්පනාවෙන් පරිස්සමින් උනන්දුවෙන් උත්සාහයෙන් ඉදිරියට යා යුතු ගමනක් මේ ඔබට යන්න සිදුවී ඇත්තේ. ඇත්තෙන්ම උනන්දුව අඩු වුවහොත් ඔබව ඉස්සර කරගෙන යන දුවා දරුවන් සිටින බව මතක තබාගන්න. දෙමාපියනි වැඩිහිටියනි ඔබට තරමක් අශුභ කාලයකි. දුක්වන්නට කරුණු කාරණා ඇතිවෙයි. වැඩිහිටියන්ව හොඳින් බලාගන්න ඔවුන්ව තේරුම් ගන්න. දුක්වෙන්න විඳවන්නට කරුණු ඇති කර නොගන්න. මොන අමාරුකම් ආවත් මුදල් නැති වුණත් ආගම දහමට නැඹුරු වෙන්න.

මීන

මීන ලග්න හිමියනි ඔබ පරිස්සම් විය යුතුම කාලයකි. ඔබට පමණක් නොවේ ඔබේ පවුලේ අයටද අශුභ කාලයකි. මොන දේ කළත් සෑම පැත්තෙන්ම ඔබට පාඩුගෙන දෙයි. ව්‍යාපාරවලින් ඔබ යටතේ වැඩකරන අයගෙන් ඔබට වඩා උසස් අයගෙන් යටහත් පහත් සේවකයන්ගෙන් ප්‍රවේශම් වන්න. ඔබේ මනස අවුල් වියවුල් කරන කාලයකි. මේ කාලයේ ඔබව අසනීප කරයි. අධික රුධිර පීඩනය, ලේ දෝෂ, අර්ශස් ආබාධ, හිසේ අසනීප ආදියෙන් ඔබට පීඩා විඳින්නට සිදුවෙයි. හදිසි අනතුරු ඇතිවෙන කාලයකි. සතුට ඔබෙන් පලා යන කාලයකි. උනන්දුව තියා ගන්න. කල්පනාවෙන් හොඳින් ජීවිතයට මුහුණ දෙන්න. රාජ්‍යයට සම්බන්ධ දෙයින් ප්‍රවේශම් වන්න. ඔබේ නම නරක් වෙයි. ඔබ සමහර විට සොරෙකු ලෙසද හංවඩු ගසන්නට පුළුවන් වෙයි. දරුවනි ඔබේ වාසනාව අවාසනාව දෙකම මේ අවස්ථාවේ භුක්ති විඳීමට සිදුවෙයි. නමුත් අධ්‍යාපනය ලබන දරුවනි ඔබට කළ යුතු එකම දේ අධ්‍යාපනය නම් ඔබ එය පමණක් කරන්න. අනිකුත් සියලුම ප්‍රශ්න මග හරින්න. එවිට ඔබට ජය ගන්නට හැකියාව ගෙන දෙයි. විදේශ ගමන් බිමන් බාධා මැද්දේ වුවත් ඉටුකර ගැනීමට හැකියාව පවතියි. ඉතිං දරුවනි ආදර බැඳීම් ඇති කර නොගෙන නින්දා අපහාසවලින් බේරී අනාගතය සරුකර ගන්න. ආතතියෙන් මිදෙන්න. මොන දේ වුණත් මේ මාසයේ බුධ සහ රවි සංයෝග වෙයි. එය ඔබට වාසියක් ගෙනදෙයි. වැඩිහිටියනි අනතුරු දැක දැක එයට මුහුණ දීමට ශක්තිය තරකර ගන්න. ආගමික කටයුතුවල යෙදෙන්න. මීන ලග්න හිමියනි ඔබ ගෙවන්නේ ලග්න ඒරාෂ්ඨකයකි.

සිංහ, කන්‍යා, ධනු, මකර ලග්න හිමියනි - ඔබට මේ මාසය ඉතාම ශුභදායකයි

ඉවෝන් දිසානායක
0715723434 / 0777901702

 

advertistmentadvertistment
advertistmentadvertistment