සිකුරු අමුතු ගමනක ඔබටත් රටටත් අලුත් දශාවක්…!

1559

ග‍්‍රහයෙකුගේ ගමන ද වාහනයක ගමන මෙනි. වාහනයක් ගමන් කරන සාමාන්‍ය වේගයක් තිබේ. මේ අනුව එම වාහනය පසුකරන කිලෝමීටර් ගණන ද ඊට ගතවන කාලය ද අනුමාන කළ හැකිය. එහෙත් වාහනය ඉදිරියට ගොස් ආපසු හැරී මුලින් සිටි තැනට පැමිණ තවත් පසුපසට ගොස් නැවත වරක් ඉදිරියට යනවිට ඒ අමුතු ගමනකි. මෙය අසාමාන්‍ය ක‍්‍රමයක් බව දකින අයට පෙනේ.

සිකුරු ග‍්‍රහයා ද නුදුරේදීම මෙවැනි අමුතු චලිතයකට සූදානම්ය. සිකුරු ග‍්‍රහයා සාමාන්‍යයෙන් මාසයකට වරක් එක් රාශියක් පසු කරයි. එහෙත් මෙවර එසේ නොවේ. දෙසැම්බර් 8 වැනිදා ධනු රාශියේ සිට මකර රාශියට පැමිණි සිකුරු දෙසැම්බර් 19 දා වක‍්‍ර වේ. එනම් ආපසු හැරෙයි. ඉන්පසුව දෙසැම්බර් 30 දා කලින් සිටි ධනු රාශියටම ඇතුල් වන සිකුරු ජනවාරි 29 දා නිවෘත වෙයි. එනම් නැවත ඉදිරියට යයි. පෙබරවාරි 27 දා නැවතත් මකර රාශිගත වෙයි. ඊළඟ රාශිය වූ කුම්භයට යන්නේ 2022 මාර්තු 31 වැනිදාය. මේ වූ කල් සාමාන්‍යයෙන් මාසයකට වරක් රාශිය මාරු කරන සිකුරු ග‍්‍රහයා ඒ සඳහා මාස තුනකට වැඩි කාලයක් ගත කිරීමකි. ඒ අමුතු ගමනකි. දුර්ලභ ගමනකි. රටටත් ජනතාවටත් වෙනස් කාලයක් උදා වීමකි.

සිකුරු ග‍්‍රහයා කලාවට සෞන්දර්යයට අධිපති වෙයි. තරුණ කාන්තාවන්, කලා ශිල්පීන් මෙන්ම ව්‍යාපාර ද නිවේදනය කරයි. කාමයට ද අධිපති වෙයි. මේ සිකුරු ග‍්‍රහයා දෙසැම්බර් 8 මාරු වූයේ ශී‍්‍ර ලංකාව හිමි කුම්භ ලග්න යෙන් දොළොස්වැන්නට හෙවත් වැයස්ථානයටය. දැනටමත් මෙම රාශියේම සෙනසුරුද ගමන් කරමින් සිටී. ව්‍යාධි, පාඩු වැය පෙන්වන ස්ථානයට සිකුරුගේ පැමිණිම නිසා පහත සඳහන් ප‍්‍රතිඵල දැනගත හැකි වනු ඇත. ශී‍්‍ර ලංකාවාසීන්ට පොදුවේ මෙම පලාපල ඇති කළත් උපන් ලග්න අනුව විවිධ සුබාසුබ පෙන්වනු ඇත.

දෙසැම්බර් 30 දක්වා කාලය කලා ශිල්පීන්ට එතරම් යහපත් නොවේ. වෙළෙඳාම් කරන ව්‍යාපාරිකයනට විවිධ ගැටලූ මතු වේ. ඇපල්, දෙළුම් වැනි පලතුරුවල මිල ඉහළ යයි. හෝටල් හා රෙස්ටුරන්ට්, ඡුායාරූප ශිල්පීන්, රූපලාවන්‍යාගාර පවත්වාගෙන යන අයට බාධා පැමිණේ. කරාබු, සාදික්කාවල මිල පහළ බසී. එවැනි ව්‍යාපාරිකයින්ට පාඩු ලබන්නට සිදු වේ. රූපවාහිනී, ගුවන්විදුලි ශිල්පීන්ට ද තරමක බාධා ඇති කරයි. කලින් අපේක්ෂා කළ ආකාරයට මංගල උත්සව පැවැත්වීමට බාධා පැමිණේ. ස්තී‍්‍ර ¥ෂණ ගැන අසන්නට ලැබේ. ප‍්‍රසිද්ධ කලාකරුවකුගේ අභාවයක් සිදු වෙයි.

මේ අතර ජනතාව අතර මුත‍්‍රා රෝග, වකුගඩු රෝග, ලිංගාශි‍්‍රත රෝග බහුල වෙයි. දික්කසාද ඉහළ යයි. ආගම භක්තිය, සදාචාරය පහළ වැටීමට හේතු වෙයි. එහෙත් දෙසැම්බර් 30න් පසුව මේ තත්ත්වය තරමක් දුරට සුබ අතට හැරේ. බාධා වෙමින් පැවති ව්‍යාපාර අංශවලට යථා තත්ත්වයට පත්වීමට හැකි වේ. කලා ශිල්පීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනවාරි සිට විවිධ වැඩසටහන් කි‍්‍රයාත්මක වෙයි. 2022 වසර පිළිබඳව විස්තර කිරීමට අපේක්ෂා කරන විමසුමේදී මේ පිළිබඳ වැඩි විස්තර ඉදිරිපත් කරමු. සිකුරු මාරුව උපන් ලග්න අනුව බලපාන්නේ මෙසේය.

  • මේෂ

ඔබට සිකුරු මාරුව මිශ‍්‍රපල ගෙන දෙන බව පෙන්වයි. අසනීපවලින් සුවය ලැබේ. කාන්තා පක්ෂය සමග කරන කටයුතුවලදී කල්පනාකාරී වීම මැනවි. ලග්නපති දුර්වලව ගමන් කරන නිසා ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න. තනි තීරණ ගැනීමෙන් වලකින්න. මේ කාලය තුළ අලූතින් ආරම්භ කරන රැකියා ව්‍යාපාරවලින් සාර්ථකත්වය ලැබිය හැකියි.

  • වෘෂභ

ආගමික කටයුතුවලට නැඹුරු වීම හා සමාජ සේවා කටයුතුවල යෙදෙන කාලයකි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. අවිවාහක වෘෂභ හිමි තරුණ තරුණියන්ගේ විවාහ යෝජනා ස්ථිර වේ. මංගල යෝග යෙදේ. දරුවන්ට හා ශිෂ්‍යයින්ට ශුභ කාලයකි. රවි තරමක් දුර්වලව ගමන් කරන නිසා ඌෂ්ණාධික රෝගවලින් ප‍්‍රවේශම් වෙන්න. ගෘහ ජීවිතය සතුටුදායකයි.

  • මිථුන

සිකුරු අටවැන්නට මාරුවීම සුබපලදායක බව කියා තිබේ. පවතින ගැටලූකාරි තත්ත්වයන්ට විසඳුම් ලැබේ. ධන ලාභ ලැබෙන කාලයක් වේ. ආයෝජනවලින් ලාභ ලැබේ. එමෙන්ම ලොතරැයි ජයක් හෝ අනුන්ගේ ධනයක් ලැබීමට ඉඩ තිබේ. මංගල යෝග යෙදේ. නමුත් ශනි ඒරාෂ්ඨක අපල තත්ත්වයන් ද පවතින නිසා ශනි දශා ගත කරන අයට තරමක් අපලයි. ශරීර සෞඛ්‍ය රැක ගැනීමට සැලකිලිමත් වෙන්න.

  • කටක

විවාහ මංගල යෝජනා හෝ පෙම් සබඳතා ස්ථිර කර ගැනීමට සුදුසු නොවේ. විවාහ සහකරුට ද තරමක් අපල කාලයක් බව පෙනේ. පවුලේ වියදම් ඉහළ යයි. අඹු – සැමි සමගිය ආරක්ෂා කර ගැනීමට ඉවසීමෙන් කටයුතු කරන්න. විනෝදාංශ පාලනය කර ගැනීමට සැලකිලිමත් වෙන්න. හවුල් ව්‍යාපාරවලට ද සුදුසු නොවේ. අදාළ ග‍්‍රහ ශාන්ති කර්ම කර ගන්න. ඇසුරු කරන අයගෙන් ප‍්‍රවේශම් වෙන්න.

  • සිංහ

සිකුරු මාරුව සිදුවන්නේ ලග්නයෙන් හය වැන්නටය. මේ නිසා කාන්තාවන් නිසා කරදර ඇති විය හැකි බව කියා තිබේ. ණය වීමට සිදුවිය හැකියි. රහස් සතුරන්ගෙන් ප‍්‍රවේශම් වෙන්න. රැකියා හෝ ව්‍යාපාර අංශවල ද තරමක දුෂ්කරතා ඇති වීමට ඉඩ තිබේ. විනෝදාංශවලට බරවීම නිසා දියුණුවට කරන කටයුතුවලට බාධා ඇති විය හැකියි. විනෝදය පාලනය කර ගන්න. මේ කාලය තුළ ශරීර සුවතාවය ගැන සැලකිලිමත් වෙන්න.

  • කන්‍යා

අවිවාහක තරුණ තරුණියන්ට මංගල යෝග යෙදේ. පෙම් සබඳතා ස්ථිර වේ. ව්‍යාපාරවලට මුදල් යෙදවීමෙන් ලාභ ලැබේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විභාගවලින් සාමාර්ථ විය හැකියි. ආදායම් ඉහළ යනවා ඇත. දරුවන් හෝ ශිෂ්‍යයින් ගැන සිතා සතුටු විය හැකි වේ. තරගකරුවන් හා සතුරන් පරාජය වේ. හිතේ සතුට ඇති වේ. ලොතරැයි ජයක් පවා ලැබීමට ඉඩ තිබේ.

* තුලා

ගෘහ ජීවිතය සතුටුදායක වනවා ඇත. ස්වයං රැකියා හෝ කෘෂි කාර්මික කටයුතුවලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබේ. නිවසේ අලූත්වැඩියාවක් හෝ ගෘහ භාණ්ඩ මිලට ගැනීමක් සිදුවිය හැකියි. මවුපියන්ගේ ධනයන් ද ලැබීමට කරුණු යෙදේ. තනතුරේ හෝ තත්ත්වයේ උසස්වීමක් ලැබීමට ඉඩ තිබේ. පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. වාහන ලාභ ලැබේ. නිවසේ පී‍්‍රති උත්සවයන් පැවැත්වීමට ද ඉඩ තිබේ. සුබයි.

  • වෘශ්චික

වික‍්‍රමස්ථානයට සිකුරුගේ පැමිණීම සුබපලදායකයි. උත්සාහය, උනන්දුව වැඩි වේ. සහෝදර සබඳතා අලූත් වේ. අසල්වාසීන් සමග තිබූ අමනාපකම් දුරු වේ. සුහදතාවය වැඩි වේ. නිතර කෙටි ගමන් බිමන් යෙදේ. සහෝදරයකු පිළිබඳව සතුටුදායක ආරංචියක් ලැබේ. සමාජයේ තිබූ ගෞරවය හා පිළිගැනීම ඉහළ යයි. සතුරන් හා තරගකරුවන් පරාජය කළ හැකි වේ. ගෘහ ජීවිතය ද සුබපල දෙනවා ඇත.

  • ධනු

ගෘහ ජීවිතයේ දියුණුවට තිබූ බාධා ඉවත් වේ. ආදායම් ඉහළ යයි. අවිවාහක අයට මංගල යෝග යෙදේ. විවාහ සහකරු නිසා ධනයක් ලැබීමට ඉඩ තිබේ. ගෞරවය හා පිළිගැනීම ඉහළ යයි. නීතියේ පිහිට ලැබේ. නීතියේ පිහිට ලැබේ. උසස් අයගේ උදව් ලැබේ. අසනීප තිබුණේ නම් සුව අතට හැරෙනවා ඇත. ලග්නපති තුන්වැන්නේ ගමන් කරන නිසා තරමක අවිවේකී බවක් ද ඇති වේ. රැකියා ලාභ ලැබෙන කාලයකි.

  • මකර

ගතවූ කාලයට වඩා සතුටුදායක බවත් පෙන්වයි. හිතේ සතුට ඇති වේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. අධ්‍යාපන කටයුතුවලට තිබූ බාධා ඉවත් වේ. පවුලේ අය සමග සතුටින් කාලය ගත වේ. ව්‍යාපාරවලට ආයෝජනය කරන මුදල්වලින් ලාභ ලැබේ. අවිවාහක අයට මංගල යෝග යෙදේ. බිරිඳ හෝ සැමියාට සුබදායකයි. අඹු සැමි සමගිය ඇති වේ. දුර ගමනක් යෙදීමට ද ඉඩ තිබේ.

  • කුම්භ

සෙනසුරු ද දොළහේ ගමන් කරන අතර සිකුරු ද දොළහට මාරුවීම තරමක් බාධා ඇති කරන බව පෙන්වයි. ගෘහ ජීවිතයේ දියුණුවට අවහිරතා ඇති විය හැකියි. පවුලේ වියදම් ඉහළ යයි. උත්සාහයේ තරමට ප‍්‍රතිඵල නොලැබෙන බව පෙනේ. මේ කාලය තුළ අනවශ්‍ය ලෙස විනෝදයට බරවීම සුදුසු නොවේ. විනෝදය මෙන්ම වියදම් ද පාලනය කර ගැනීමට සැලකිලිමත් වෙන්න.

  • මීන

ලග්නයෙන් එකොළොස් වැන්නට සිකුරු මාරුවීම සුබදායකයි. හිත මිතුරන් සමග සතුටින් කාලය ගත කරන්නට අවස්ථා උදා වේ. ආදායම් ඉහළ යයි. රැකියා, ව්‍යාපාර අංශවල ද සාර්ථක බවක් ඇති වේ. සහෝදර සබඳතා ඉහළ යයි. සමාජය තුළ ඇති පිළිගැනීම හා ගෞරවය වැඩි වේ. ගෘහ ජීවිතය සතුටුදායකයි. විනෝද ගමනක් යෙදීමට ද ඉඩ තිබේ. හිතේ සතුට ඇති වේ. දරුවන්ට සුබයි.

කලාභූෂණ කෑගල්ලේ
සුනිල් කුමාර ගම්ලත්
කේ.එෆ්.සී.ගොඩනැගිල්ල ,
දෙවන මහල කෙලින් වීදිය,කෑගල්ල

advertistmentadvertistment
advertistmentadvertistment