සිකුරු මාරුව ඔබට කෙසේ බලපාවිද?

1874

2022-10-18 සිට 2022-11-11 දක්වා කාලයට

මේෂ

මේෂ ලග්න හිමියනි සිකුරු මාරුව ඔබේ ලග්නයට කෙසේ බලපාවිද යන්න විමසමු. මෙතෙක් සිකුරු නීච රාශිය වූ කන්‍යාවේ සිට තම ස්වක්ක්‍ෂේත්‍ර රාශිය වන තුලාවට පැමිණෙයි. මෙහිදී සිකුරු මුල ත්‍රිකෝණද වෙයි. මෙම සිකුරු මේෂ ලග්න හිමි ඔබේ කේන්දරයේ 7 වන රාශියට පැමිණෙයි. මෙම පැමිණීම විවාහ වූ අයට නම් ශුභදායක නොවන බව පෙන්විය යුතුයි. ඔබ පුරුෂයෙක් නම් විශේෂයෙන්ම ස්ත්‍රියක් නිසා ඔබට පීඩා විඳින්නට සිදුවෙයි. නින්දාවෙන් බේරිය යුතු කාලයකි. ඔබට දැනෙන්නට කම්පා වෙන්නට කරුණු ඇතිවෙයි. මේ කාලයේ ලාභ ප්‍රයෝජනද ලැබේ. හැබැයි වියදම් අධිකයි. මොළේ පාවිච්චි කරලා ජීවත් විය යුතුයි. හේතුව ඔබේ බලාපොරොත්තු බිඳ වැටෙයි. ආදර බන්දන බිඳී යයි. ගෙදර දොර ප්‍රශ්නද? ඔබට ගෙදර ප්‍රිය නොවන තැනක් ලෙසද පෙන්විය හැකි කාලයක ස්ත්‍රීන්ට මේ කාලයේ කේන්ති යන ගතියක්ද තම බලාපොරොත්තු ඉෂ්ඨ නොවන නිසා තරහක්ද ඇතිවෙයි. කෙසේ හෝ මේෂ ලග්න හිමි දරුවනි. අනවශ්‍ය සම්බන්ධතා ඇතිකර නොගන්න. උසස් පෙළ දරුවනි අපතේ නොයන්නට ඔබේ කාලය, ශ්‍රමය පරිස්සමින් කල්පනාවෙන් අධ්‍යාපන කටයුතුවල යෙදෙන්න.

වෘෂභ

වෘෂභ ලග්න හිමියනි ඔබේ කේන්දරයේ 6වන රාශිය වූ තුලාවටයි සිකුරු පැමිණෙන්නේ. වෘෂභයට සිකුරු ස්වක්ෂේත්‍ර වුවත් ඔබට දුක් ගෙන දෙන කාලයකි. සිතින් දුක් විඳින්නට කරුණු යෙදේ. පුළුවන් තරම් ඇඟබේරගෙන පැත්තකට වී සිටින තරමට ඇඟට ගුණයි. මන්ද ඔබ මොන තරම් හොඳ කළත් හොඳක් ලබාගත නොහැකි කාලයකි. පිටස්තර අය එසේ වුවත් ගෙදර අය ඔබට හොඳයි කියා සිතන්නට පුළුවන්. නමුත් ගෙදර ඔබේ මව, බිරිඳ සමග සතුටින් ප්‍රශ්න ඇති නොකර සිටින්නට වගබලා ගන්න. දුරදිග යන කිසිම කතාවකට සම්බන්ධ නොවන්න. සතුරන් ඇතිකර නොගන්න. මුදල් ගනුදෙනුවලට ලක්වෙන්න එපා. අහක යන කුණුත් ඔබේ ගිණුමට එක්වෙන්නට පුළුවනි. සිතට වහල් නොවන්න. අසනීපවලින් බේරෙන්න. නීතිමය කිසිවකට ලක් නොවන්න ගිවිසුම් අත්සන් නොකරන්න. අන් අයගේ ඇපවලට අත්සන් නොකරන්න. අධ්‍යාපනය ලබන දරුවනි අයාලේ යන්නට හිතට ඉඩ නොතියන්න. පොත පතට පමණක් මුල්තැන දෙන්න. අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට ඔබට ලැබේවී. දැන් ඇත්තේ ඉගෙන ගැනීම පමණයි. බලාපොරොත්තු බිඳ වැටෙයි. ආගමික කටයුතුවල වැඩියෙන් නිරත වෙන්න. බොහෝ ගැටලු මේ කාලයේ ඇතිවෙන්නේ ඔබේ ඉක්මන්කම නිසයි.

මිථුන

මිථුන ලග්න හිමියනි ඔබේ කේන්දරයේ 5 වන රාශිය වූ තුලාවේ සිකුරු ස්වක්ෂේත්‍ර වී ඇත. එම නිසා මිථුන ලග්න හිමියනි ඔබට ශුභයි. තම බලාපොරොත්තු ඉටුවන කාලයකි. විදේශ ගමන් බිමන් බලාපොරොත්තුවූ අයටත්, අධ්‍යාපනය ලබන අයටත් මේ කාලය ශුභයි. හැබැයි දරුවනි ආදර බැඳීම්වල නම් පැටලෙන්නට එපා. එමෙන්ම විවාහ වීමට සිටින අයටත් විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අයටත් ශුභයි. දරුවන් බලාපොරොත්තු වෙන අම්මලාටත් වාසනාවන්ත දරුවන් ලැබෙන බවත් කිව යුතුයි. ප්‍රීතිමත් උත්සව පවත්වන්නටත් ඒවාට සහභාගි වීමටත් ඉඩකඩ ලැබේ. රැකියා කටයුතුවලද හොඳක් ඇතිවෙයි. අලුත් ව්‍යාපාර පටන් ගන්නට ඉදිරිය ශුභයි. අලුත් සම්බන්ධතා ඇතිවෙයි. එම සම්බන්ධතාවලදී පරිස්සමින් කල්පනාවෙන් ගැලපෙන දේ පමණක් තෝරාගන්න. හේතුව ඔබ තවමත් අෂ්ඨම ඒරාෂ්ඨකයේ අන්තිම කොටසේ ඉන්න බැවිනි.

කටක

කටක ලග්න හිමියනි ඔබේ කේන්දරයේ 4 වන රාශිය වූ තුලාවේ සිකුරු ගෝචර ගමනින් පැමිණේ. සිකුරු 4 වැන්නේ ස්වක්ෂේත්‍ර වීම ඉතාම ශුභයි. නිවාස යාන වාහන ඉඩකඩම් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිය ඔබට නියම අවස්ථාවක් මේ උදාවුණේ. වෙනදා නැති පිබිදීමක් සිතට දැනේ. නිවසේ අලුත්වැඩියා කටයුතු හෝ නව නිවසක් ගොඩනැඟීමට සිතනවා නම් උත්සාහ ගන්න. ඔබේ කටයුත්ත සාර්ථක වෙයි. ගොවිතැන් කරන අයටත් දේශපාලන කටයුතුවල යෙදී සිටින අයටත් මේ කාලයේ ශුභයි. රැකියා කටයුතුවලද ශුභදායක බවක් පෙන්වයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයටත් පෙරට වඩා ශුභ බවක් පෙන්වයි. අලුත් සමාගම් ගොඩනැඟේ. අලුත් හිත මිත්‍රයන් ආශ්‍රයට ලැබේ. යම් අයුරකින් වාසනාව ඔබ සොයා පැමිණේ. හැබැයි පසුපස එන දුක් ගෙනදෙන මනසින් විඳවන ගතියක්ද පෙන්නුම් කරයි.

සිංහ

සිංහ ලග්න හිමියනි ඔබේ කේන්දරයේ සිකුරු 3 වන රාශිය වූ තුලාවේ ගෝචර විය එය ඇත්තෙන්ම ශුභයි. සහෝදර සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබේ. තමාගේ බලය වැඩිවෙයි. පුළුවන් තරම් වැරදි මාර්ගයේ නොයා හොඳ මාර්ගයේම යන තරමට වාසනාව ඔබ කරා පැමිණේ. සතුරන්ගෙන් ජය ලැබේ. එක්තරා වාසනාවන්ත කාලයකි. දියුණුවට කරුණු කාරණා ඇතිවන බැවින් කල්පනාවෙන් තමන්ගේ සියලුම කටයුතු ඉටුකර ගන්නට උත්සාහ ගන්න. රැකියා, ව්‍යාපාර, නිවාස, වාහන ආදිය අධ්‍යාපනය ලබන අයටත් විදේශ ගත වන අයටත් රැකියාවන් සඳහා විදේශගත වන අයටත් ශුභයි. සහජ හැකියාවන් දියුණු කරගන්න. අලුත් අලුත් දේ කරන්නට බලන්න.

කන්‍යා

කන්‍යා ලග්න හිමියනි. ඔබේ කේන්දරයේ 1 වන රාශිය තුලාවයි. ඇත්තෙන්ම 2 වැන්න ප්‍රබලයි. මිල මුදල් ගැටලු මෙතෙක් පැවතුනාද එයට විසඳුමක් මෙම සිකුරු මාරුවත් සමගම සිද්ධ වෙයි. දියුණුවකට විදේශ ගමනකට නව රැකියාවකට වාසනාව උදාවෙයි. කෙටියෙන් කිවහොත් තම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන කාලයකි. ආදර බන්ධන ස්ථිර වෙයි. පුරුෂයන්ට ස්ත්‍රීන්ද ස්ත්‍රීන්ට පුරුෂයන්ද ලැබෙන කාලයකි. ආදායම් මාර්ග මෙතෙක් වැසී තිබුණේ නම් එය මගහැරේ. අලංකාරවත් දේ ලැබේ. නිවාස අලුත්වැඩියාවට හෝ ඉඩම් මිලදී ගෙන තිබූ ඒවා දියුණු කිරීමට කාලය යොදවන්නට සිදුවෙයි. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින දරුවන් සිත දුවන ගතිය මගහැර අධ්‍යාපන කටයුතුවල පමණක් යෙදෙන්නට වගබලා ගන්න. මේ කාලයේ සුරැකී ධනය වියදම් වෙනවා.

තුලා

තුලා ලග්න හිමියනි ඔබේ කේන්දරයේ ලග්නයට සිකුරු පැමිණි අතර සිකුරු ලග්නයට ස්වක්ෂේත්‍ර වී ඇති අතර මේ කාලයේ විශාල දියුණුවකට මග පාදගන්න ඉඩකඩ ලැබේ. ඔබේ උත්සාහය ධෛර්යය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. සාමාන්‍යයෙන් මේ කාලය වාසනාවන්තයි. ප්‍රීතිමත් සමාගම් ඇතිවෙයි. ඔබව සොයාගෙන ඔබ පෙරට වඩා ලස්සන, පියකරු බවක් ගෙනදී සතුට සමාදානය ගෙනදෙයි. ඇත්තෙන්ම ඔබ ශක්තිමත් මේ කාලයේ විවාහ වෙන්නට බලාපොරොත්තුවෙන් සිටින අයට ශුභ කාලයක්. විවාහ වූ අයනම් තවත් සහකරුවෙක් හෝ සහකාරියක් සොයා ගන්නට නොයන්න. විදේශ ගමන් බිමන් මෙන් මෙරටදී ද දුරගමන් බිමන් යෙදේ. ඒවා ප්‍රයෝජනවත් වන ගමන් බැවින් හැම විටම විනෝදයෙන්ම නොසිට පුළුවන් තරම් නව සම්බන්ධතා හරහා දියුණුවක් ලබා ගන්න. සැපතට සිත දුවන නිසා කිසිම දෙයකට වහල් නොවී මිහිර විඳගන්න.

වෘශ්චික

කුජ හිමි වෘශ්චික ලග්න හිමියනි. ඔබ පරිස්සමින් ජීවිතය ගොඩනැඟිය යුතු කාලයකි. ඇත්තෙන්ම ඔබ අතේ ඇති මුදල් පරිස්සමින් වියදම් කළ යුතු කාලයකි. ඔබට ලැබෙන මුදල් ප්‍රමාණය කිසිම අයුරකින් ප්‍රමාණවත් නොවේ. එම නිසා ණය වෙන්නට උත්සාහ නොගන්න අතේ ඇති මුදල්වලට සරිලන අයුරින් ජීවත් වෙන්න. ඔබට හදිසි අනතුරු ඇති වෙන්නට පුළුවනි. බොහෝ දේ අහිමි වන කාලයකි. රැකියාවද ආරක්‍ෂා කරගෙන ජීවිතයට මුහුණ දෙන්න. දෙමාපියන්ද ඔබට කරදරයක් වෙයි. බිරිඳ හෝ ස්වාමියා දරුවන් දිරවන්නේ නැති කාලයකි. ආදර බැඳීම් බිඳී යයි. සිත් රිදවීම් ඇතිවෙයි. නිවස ඔබට ප්‍රිය නොවන තැනකි. නිතරම පිටවී යාමට සිතයි. සිතන්නට යමක් ඉතිරි කරලා සියල්ලම විනාශ වී යයි. පුළුවන් තරම් සිහි කල්පනාවෙන් ජීවිතයට මුහුණ දෙන්නට උත්සාහ ගන්න. නොයෙක් ක්‍රමවලින් කරදර පැමිණේ. මේ කාලයේ දත් හා ඇස්ද පරිස්සම් කර ගන්න ආබාධවලට ඉඩ නොතියන්න. අධ්‍යාපනය ලබන දරුවනි පොත පතට පමණක් කාලය වැය කරන්න සියලු දේ ටික කාලයකට පසෙකට දමන්න. 2022.11.11 පසුව ඔබට ජය හිමිවෙයි.

ධනු

ධනු ලග්න හිමියනි ඔබේ කේන්දරයේ සිකුරු 11 වැන්න වූ තුලා රාශියට පැමිණේ. මෙම පැමිණීම දියුණුවකට කටයුතු ගෙන මිල මුදල් ලාභ මෙන්ම ද්‍රව්‍ය ලාභද ලැබෙන කාලයකි. ප්‍රීතිමත් නිදහස් කාලයකි. වෙළඳාම් කරන අයට මෙන්ම පොළොවෙන් ආදායම ලබන අයටද මේ කාලය ශුභදායකයි. අලුතින් ව්‍යාපාර පටන් ගැනීමටත් ශුභ කාලයකි. විනෝද වන්නට අවස්ථාව උදාවෙයි. බිරිඳ සමග හෝ සහෝදරියන් හෝ ආදරවන්තයන්ට හා දරුවන්ටද විනෝදයක් ගෙනදෙන කාලයකි. ඔබ මෙතෙක් නොසිතූ පැතිවලින් මුදල් ලාභ ලැබිය හැකි බව සිතෙයි. සිතන්න කාලයයි. දියුණු වෙන්න හොඳම කාලයයි. ගතට සිතට දෙකටම ශුභ නිසා ජීවිතය ගොඩනඟා ගන්න. සිතේ පැවැති බලාපොරොත්තුවක් ඉටුවෙයි. කාම තෘෂ්ණාවට මුල්තැන දෙන්නට උත්සාහ නොකරන්න. කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටි දරුවන්ට ද ශුභයි.

මකර

සිකුරු පැමිණෙන්නේ 10 වන්න වූ රැකියා ස්ථානයට එනම් 10 වැන්න තුලාවයි. මකර ලග්න හිමියනි ඔබ මේ ගෙවන්නේ ලග්න ඒරාෂ්ඨකයකි. එබැවින් සියලුම ශුභඵල නොදුන්නත් මේ කෙටි කාලය ඔබට ශුභයි. සහජ හැකියාවන් ලොවට පෙන්වන්නට හොඳම කාලයකි. දරුවනි ඔබ හැකියාව පෙන්වන්න. අධ්‍යාපන කටයුතුවලදී ප්‍රේම සම්බන්ධතා ගොඩනඟා ගැනීමෙන් වලකින්න. ඔබේ දක්‍ෂතාවයට වටිනාකමක් ලැබෙන කාලයක් බැවින් සිහි බුද්ධියෙන් ගමන යන්න. රැකියාවල්වල සිටින අයට හා රැකියාවල් බලාපොරොත්තු වන අයට ශුභයි. බලාපොරොත්තු ඇති කර ගැනීමට පුළුවන් කාලයකි. තමා ස්වාධීනව මුදල් සොයන කෙනෙක් නම් ඉතාම ශුභයි. ශරීර සැප ලැබේ. පුරුෂයන් ස්ත්‍රීන් ආශ්‍රයේදී පරිස්සම් වන්න. ස්ත්‍රීන් නිසා ගැටලු ඇතිකර ගැනීමට පුළුවනි. අනික ස්ත්‍රීන් ද එසේම තම කට පරිස්සම් කරගෙන අන් අයගේ සිත නොරිද්දවා ජීවත් වන්න. සහෝදර සහෝදරයන්ගෙන් මෙන්ම මවගෙන්ද උදව් ලැබෙන කාලයකි.

කුම්භ

යෝගකාරක ග්‍රහයා සිකුරු මෙම සිකුරු පැමිණෙන්නේ පුන්‍ය ස්ථානය වූ 9 වැන්නට. ඔබේ පෙර පිං මේ සිකුරුගේ පැමිණීමත් සමගම ඔබට සිදුවෙයි. අපල කාලයක් ගෙව්වත් ඔබව ඉහළට ඔසවා තබන කාලයකි. මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට නම් දියුණුවක් ලබා ගැනීමට නම් ඔබ කළ යුත්තේ කැපවීමෙන් කාලය වැය කිරීමෙන් උනන්දුවෙන් ජීවිතය ගොඩනඟා ගැනිමයි. අධ්‍යාපනය ලබන දරුවනි කදිම අවස්ථාවක් මේ උදාවෙන්නේ. කාලය කැප කරලා පත පොතේ වැඩවල යෙදෙන්න. ඔබ ලෝකය දිහා ගැඹුරින් බලන්න. විදේශ ගත වීමට කදිම අවස්ථාවක්. රැකියාවල් සඳහාද විදේශ ගතවන්නට උත්සාහ කරන ඔබටත් කදිම අවස්ථාවක්. මේ එම නිසා පුළුවන් තරම් කැපවීමෙන් ජීවිතය ජයගන්න. විවාහ වන්නට බලාපොරොත්තුවෙන් සිටින අයටත් කදිම අවවස්ථාවකි. ඔබට ලග්න ඒරාෂ්ඨකයක් පවතින අතර පුළුවන් තරම් පිං අතේ වැඩද කරන ගමන් ජීවිතය ජයගන්නට උත්සාහ ගන්න.

මීන

මෙම සිකුරු මීන ලග්න හිමියන්ගේ 8 වැන්න වූ තුලාවට පැමිණේ. මේ කාලයේ වෙහෙස මහන්සියකින් තොරව ඔබ යම් යම් දේ ලැබේ. හැබැයි ඔබේ රැකියාවට කරදර ගෙනදෙන කාලයකි. එම නිසා අන් අයගේ බස් විශ්වාස නොකර මිනිස්සු විශ්වාස නොකර රැකියාවේ යෙදෙන්න. ඇහුම් කන්දෙන්න. අලුත් ව්‍යාපාරවලට ශුභයි. ගෘහ ජීවිතය තුළ බිරිඳ හා සැමියා අතර සතුට වර්ධනය වෙයි. විශේෂයෙන් කියන්න ඕනේ ඔබේ මවට හා බිරිඳට මේ කාලය ශුභ නොවේ. එම නිසා ඔවුන්වත් පරිස්සමින් කල්පනාවෙන් ජීවිතය ගෙන යන්න. පුළුවන් නිවාස ලාභ ගෙන දෙයි. ගෙදරට බඩු මුට්ටු ගැනීමට අවස්ථාව උදාවෙයි. ආදර සම්බන්ධතාවලින් පීඩා විඳින්නට සිදුවන නිසා හා නින්දාවක් විඳින්නට සිදුවන නිසා කල්පනාවෙන් එයට මුහුණ දෙන්න.

උපන් කේන්දරයේ සිකුරු පිහිටි ආකාරය අනුව මෙම පලාඵල අඩුවැඩිය විය හැක.

සිකුරු මාරුව ඔබට කෙසේ බලපාවිද?

ඉවෝන් දිසානායක
0777901702, 0715723434

advertistmentadvertistment
advertistmentadvertistment