සිඟිති දියණියට අමානුෂික ලෙස පහරදී අත් පා පිළිස්සූ මව රිමාන්ඩ්

659

නව හැවිරිදි තම දියණියට කෲර ලෙස වධහිංසා සිදුකර සිරුර පිළිස්සූ දැරියගේ මව පල්ලෙවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (26 දා) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියෝග කෙරිණි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කල්එළිය, වෑබඩමුල්ල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිශායි ෆාතිමා නමැති 32 හැවිරිදි තිදරු මවකි. මවගේ වධහිංසාවට භාජනය වූ දියණිය අත්පා වල දැඩි පිළිස්සුම් තුවාල සහිතව ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවේ. රෝහල්ගතව ප්‍රතිකාර ලබන දැරියගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

දැරිය විසින් යාබද නිවසක කාන්තාවකට පවසන ලද කේළමක් මුල්කර ගනිමින් මෙම සැකකාර මව තම දියණියට අමානුෂික ලෙස පහරදී නිවසේ තිබූ යකඩ හැන්දක් රත්කර අත් පා පුළුස්සා ඇති බවට පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

වධහිංසාවට ලක්වූ දැරිය පවුලේ වැඩිමහල් දියණිය වන අතර ඇයට බාල සහෝදරයෙක් සහ සහෝදරියක් ද සිටී. දැරිය වධහිංසාවට ලක්වන අවස්ථාවේ එම බාල සහෝදරයා සහ සහෝදරියද නිවසේ සිට ඇති අතර පියා රැකියාවට ගොස් සිට ඇති බව පොලිසිය පවසයි.

නව හැවිරිදි දියණිය ඇගේ මව විසින් පුළුස්සා ඇති බවට ළමාරක්ෂක අධිකාරියට ලත් පැමිණිල්ලක් අනුව පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. ආර්. සංජීව මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ කා.පො.සැ. (5272) නිර්මලා මහත්මිය ඇතුළු නිලධාරීන් විසින් පරීක්ෂණ පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගැනිණි. පො.කො. (72331) කුමාර සැකකාර මවට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරිණි.

වේයන්ගොඩ – ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment