‘සිටි බස්’ සේවාවෙන් රුපියල් ලක්ෂ අසූවක පාඩුවක්

268

කොළඹ කොටුව හා මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානය අතර 2021 ජනවාරි සිට මාස තුනක් ධාවනය කළ ‘සිටි බස්’ සේවාවෙන් රුපියල් ලක්ෂ අසූවක පාඩුවක් ශ්‍රී ලංගමයට සිදුව ඇත.

මාස තුනක කාලයක් නියාමන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ ‘සිටි බස්’ සේවය තවදුරටත් පාඩු පිට පවත්වාගෙන යෑම ඵලක් නොවන නිසා ශ්‍රීලංගම අධ්‍යක්‍ෂ මණ්ඩලය එය නතර කිරීමට තීරණය කර තිබේ.

මෙම ‘සිටි බස්’ සේවය සඳහා කුඩා බස් රථ ලංගමය සතුව නැති නිසා ලේලන්ඩ් සමාගමෙන් බස් රථ දොළහක් ලබාගෙන ධාවනයට එක්කර තිබූ බව ලංගමය කියා සිටී. ඒ අනුව එක් බස් රථයක් සඳහා මසකට රුපියල් 275,000 ක් බැගින් එම සමාගමට ගෙවා ඇත. ඒ අනුව මාස තුනක කාලයේදී ශ්‍රී ලංගම, අදාළ බස් රථ සමාගමට රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවා ඇත.

මෙම පාඩු සහිත සිටි බස් සේවාව නතර කිරීමට ශ්‍රී ලංගම අධ්‍යක්‍ෂ මණ්ඩලය ගත් තීරණයට කිපී ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා වහාම ශ්‍රී ලංගම සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතාට එම තනතුරින් ඉල්ලා අස්වන ලෙසට ලිඛිතව දැනුම් දී ඇතැයි එහි උසස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසීය.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංගම සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ ‘සිටි බස්’ සේවය පාඩු ලැබූ නිසා අධ්‍යක්‍ෂ මණ්ඩල තීරණයකට අනුව එය නතර කළ බවයි. ප්‍රවාහන ඇමැතිවරයා තමාට චෝදනා කර ඇති එකී තීරණය සම්බන්ධයෙන් ප්‍රතිඋත්තරයක් යොමු කරන බවත් ඉන් පසුව ලැබෙන ප්‍රතිචාර අනුව ඉදිරි පියවර ගන්නා බවත් සභාපතිවරයා කියා සිටියේය.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment