සිතුල්පව්ව පුදබිමේ ඓතිහාසිකත්වය සහ පුරාවිද්‍යාත්මක වටිනාකම

500

සිතුල්පව්ව පුදබිම හමුවන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම – කිරින්ද මාර්ගයේ යෝධකණ්ඩිය වැව අසලින් වම් අතට හැරී කි. මී. 25 ක් පමණ ගිය විට ය. එම ප්‍රදේශය කිරින්ද ග්‍රාම නිලධාරි කොට්ඨාසයට අයත් වේ. ක්‍රි. පූ. යුගයෙහි මේ ප්‍රදේශය දස බෑ රජවරුන් නමින් ප්‍රකට ව සිටි මහාසේන රජු ප්‍රධාන ක්‍ෂ්ත්‍රිය පරපුරේ බල ප්‍රදේශයට අයත් විය. ශ්‍රී මහා බෝධිය වඩමවන අවස්ථාවේ කතරගම (කාජරගාම) ක්‍ෂ්ත්‍රියයන් ඊට සහභාගි වූ බව වංශ කතාවල සඳහන් වේ. මාගම රාජධානිය බිහිවීමෙන් පසු කතරගම රාජ්‍යය මාගම රාජ්‍යයෙහි උප රාජධානියක් බවට පත් විය.

අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේගේ සම්ප්‍රාප්තියෙන් පසු සම්බුදු දහමේ ප්‍රඥාලෝකය මෙන්ම සංස්කෘතිකාලෝකය ද ලක්දිව පුරා පැතිර ගියේ සූර්ය ප්‍රභාවෙන් මුළු ලොව ඒකාලෝක වන්නාක් මෙනි. පිහිටි රට අනුරාධපුර මහා විහාරයද, රුහුණු රට තිස්සාරාමය හෙවත් තිස්ස මහා විහාරය ද බුදු සසුනේ අධ්‍යාත්මික මාර්ගෝපදේශකත්වය සපයන ස්ථානයක් බවට ඉක්මනින් ම පත්විය. අනුරාධපුර මහා විහාරය ග්‍රාමවාසී අංශය ද මිහින්තලේ අටසැට ලෙන් සහිත චේතියගිරි විහාරය වනවාසී අංශය ද නියෝජනය කරන්නාක් මෙන් රුහුණේ තිස්ස මහා විහාරය ග්‍රාමවාසී අංශය ද සිතුල්පව්ව වනවාසී අංශය ද නියෝජනය සඳහා මුල් යුගයේ දීම ඉදිවුණු බව පැහැදිලි ය.

ආචාර්ය බුද්ධඝෝෂ මාහිමියන් විසුද්ධිමග්ග පඨවි කසීණ නිද්දේසයේ සඳහන් කරන්නේ රුහුණේ දක්ඛිණගිරි වෙහෙර හෙවත් මුල්ගිරිගල විහාරය, මිහින්තලේ චේතියගිරිය, අනුරාධපුර ගල්ගමුවේ හත්ථිකුච්චි විහාරය මෙන්ම රුහුණේ චිත්තල පබ්බත හෙවත් සිතුල්පව්ව විහාරය ද “ලේන සම්මත විහාර” යනුවෙනි. එසේ නම් කරන්නට ඇත්තේ ඒවායෙහි බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ පංචවිධ විහාරයන් පැවැති නිසා නොව ගල්ලෙන් සහිත ආරාම සංකීර්ණ නිසා විය හැකිය. විසුද්ධිමග්ගයෙහි සඳහන් එම ස්ථාන හතරෙහි ම භාවනායෝගී භික්‍ෂූන් වැඩ සිටි ගල්ලෙන් විශාල සංඛ්‍යාවක් පවතී. ඒ අනුව සිතුල්පව්ව ද ලෙන් විහාරයකි. බුදුරජාණන් වහන්සේ අනුමත කළ ආරාම පස් වර්ගයට අයත් නොවන සංඝාරාම ඉදිකිරීම විනය විරෝධි හෙයින් එබඳු නුසුදුස ආරාම කොතනකවත් ඉදිකර නැත. ඒ නිසා “ලේන සම්මත විහාර” යනුවෙන් මෙම ආරාම හතර සුවිශේෂ කර දක්වා ඇත්තේ ගල්ලෙන් සහිත නිසා ය.

ගිරිදුර්ග වනදුර්ග සහිත ගල්ලෙන් 100 කට වැඩි ප්‍රමාණයක් 1943 දී මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සිදුකළ පරීක්‍ෂණයක දී සොයාගෙන ඇත. ඉන් කිහිපයක ක්‍රි. ව. 7 – 10 සියවස්වල අයත් බිතු සිතුවම් හමු වී තිබේ. සමහරුන් ප්‍රකාශ කරන්නේ ඒවා මීටත් වඩා පැරණි බවයි.

මෙහි ඇති විශාලතම ලෙන විහාර ගෙයක් ලෙස අනුරාධපුර යුගයේ සිට ම භාවිත කොට ඇති බව පෙනේ. එම යුගයට අයත් ශිලාමය බුදු පිළිමයක කොටස් විහාර ගෙයින් හමු වී ඇත. මහ සිතුල්පව්වේ නැඟෙනහිර බෑවුමේ ඇති මෙය දිගින් මීටර් 29ක් හා උසින් මීටර් 5 ක් පමණ වේ. එහි මීටර් 11 1/2 ක් පමණ දිග සැතපෙන පිළිමයක් ඇත.

ලෙන් විහාරයේ පියස්සෙහි ඇති සිතුවම් භාරතයේ අජන්තා ලෙන් විහාරයේ සිතුවම් සමග සැසඳිය හැකි බව පුරාවිද්‍යාඥයෝ පෙන්වා දෙති. භික්‍ෂුවකගේ රූපයක්, මුවෙක්, දේවතා රූප දෙකක් ,කුඩා මිනිස් රූප හතරක් හා පක්‍ෂි රංචුවක කොටසක් දැනට මතු කරගෙන ඇත. ලෙන් බිත්තියට හේත්තු කර ඇති බුදු පිළිමය තිවංක පිළිම ගණයට හා අමරාවතී කලා සම්ප්‍රදායට අයත් සේ සැලකේ. විහාර මළුවේ තිබී කොරවක් ගල්, සඳකඩ පහණ, ගල් උළුවහු, පියගැට පෙළ ආදී නටබුන් හමු වී ඇත.

මීට අමතරව පැරණි පටිමාඝරයක නටබුන් ද බෝධිඝරයට උතුරු පැත්තෙන් දක්නට ලැබේ. මෙහි මීටර් 04 ක් පමණ උස කණු හය බැගින් යුත් පේළි 05 ක් පැවැති බව පෙනේ. දැනට ඉතිරි වී ඇත්තේ උස ගල් කණු එකක් පමණි. ගර්භ මධ්‍යයෙහි හිටි බුදු පිළිමයක් තිබෙන්නට ඇතැයි කිව හැකි සලකුණු පවතී.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධියේ ඵලවලින් හටගත් දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේගෙන් එක් අංකුරයක් මෙහි රෝපණය කර ඇතැයි සිංහල හා පාලි බෝධිවංසවල සඳහන් වේ. රුහුණු රජ පෙළපතේ ආරම්භකයා වූ දේවානම්පියතිස් සොහොයුරු මහානාග යුවරජගේ කාලයේ සිට ම මෙම පුදබිම ආරම්භ වන්නට ඇතැයි සැලකේ. ඔහුගේ මී මුණුබුරා වන කාකවණ්ණ තිස්ස රජු මෙම පුදබිම සංවර්ධනය කිරීම සඳහා පළමුවෙන් ම ඉදිරිපත් වූ රජතුමා ය. එතුමා මේහි ස්තූප, ධර්මශාලා, උපෝසථාගාර, සංඝාවාස, දාන ශාලා ආදිය ඉදිකරවා වැව් පොකුණු විහාර භූමිය අලංකාර කොට සහදේව නම් රහතන් වහන්සේ ප්‍රමුඛ දොළොස් දහසක් රහතන් වහන්සේට සඟ සතු කොට පූජා කළේය. එපමණක් නොව තමාගෙන් පසු මතු ඇතිවන යුවරජ, මාපා, ඈපා ආදීන් විසින් ද මෙම තපෝ භූමිය ආරක්‍ෂා කළ යුතු බවට විධානයක් ද පැනවී යැයි මහාවංසයේ 22 සහ 24 පරිච්ඡේදවල සඳහන් වේ. කාවන්තිස්සගේ පුතුන් දෙදෙනා වූ ගැමුණු සහ තිස්ස ඉගෙනුම ලැබුවේ සිතුල්පව්වේ වැඩසිටි කසුබු හා උපාලි යන හිමිවරුන් ගෙනි.

දේවානම්පියතිස්ස පරපුරේ කාකවණ්ණ තිස්ස රජුගේ මුණුබුරෙකු වන රජ කෙනෙකු සිතුල්පව්ව ගම්වර පිදූ ලිපියක් සිතුල්පව්ව දාගැබට යන පියගැටපෙළ පසෙක පර්වතයේ කොටා ඇත. මෙහි බොහෝ අකුරු කැඩී බිඳී ගොස් ඇති බැවින් ස්ථිර තොරතුරක් කීමට නොහැකිය.

සිතුල්පව්ව පුදබිමේ සිදු කළ කැණීම්වල දී ස්ඵටික හුණු ගලින් නෙළන ලද සමභංග ඉරියව්ව නිරූපිත බෝධිසත්ත්ව පිළිම දෙකක් හමු වී ඇත. මේවා ක්‍රි. ව. 06 වන සියවසට අයත් සේ සැලකේ. ඉන් එක පිළිමයක හිස සහ අත්දෙකේ වැලමිටට මදක් ඉහළ සිට ඇඟිලි දක්වා කොටස් කැඩී ගොස් ඇත. සමහරු මෙය මෛත්‍රී බෝසත් පිළිමයකැයි කියති. තවත් අය රජ රුවක් ලෙස එය දකිති. අනෙක් රූපයට වඩා ධෝතියෙහි ඉණ දෙපසින් රැළි දෙකක් නැඟී දෙපසට විහිද තිබීම, ආභරණ පැළඳ සිටීම වැනි විශේෂ ලක්‍ෂණ සලකා ඔවුහු එසේ කියති.

සිතුල්පව්වෙන් හමු වූ මෙම පිළිම දෙකම අවලෝකිතේශ්වර බෝසතුන්ගේ බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. ක්වන්ධ රූපය අවලෝකිතේශ්වර බෝසතුන්ගේ විභූෂණ රාජකුමාර විලාසය ලෙසත්, අනෙක් රූපය නිර්විභූෂණ යෝගී විලාසය ලෙසත් ඔවුහු හඳුන්වා දෙති. සාධනමාලා නම් ග්‍රන්ථයෙහි සඳහන් වන පරිදි අවලෝකිතේශ්වර බෝසත්තුමා විටෙක යෝගියෙකුගේ වේශයෙන් පෙනී සිටී. එම යෝගී අවස්ථාව හඳුන්වා ඇත්තේ “සිංහනාද අවලෝකිතේශ්වර” යනුවෙනි.

මහානාග යුවරජුගේ කාලයේ තිස්ස මහා විහාරය හා සමකාලීනව සිතුල්පව්ව විහාරය ද ග්‍රාමවාසී හා ආරණ්‍යවාසී භික්‍ෂු පිරිස් වෙනුවෙන් ඉදිවන්නට ඇත. ප්‍රථම වරට මෙහි විහාරංග ඇති කොට සංවර්ධනය කළේ කාවන්තිස්ස රජතුමා ය. දුටුගැමුණු කුමාරයා එළාර සමග සටනට යෑමට පෙර සිතුල්පව්වට ගොස් එහි විසූ භික්‍ෂූන්ට දන් පිළිගැන්වූ බව “සහස්ස වත්ථූප්පකරණ’ නම් පාලි ග්‍රන්ථයේ සඳහන් වේ.

දුටුගැමුණු රජු ද මෙම පුදබිම සංවර්ධනය කළේය.

දුටුගැමුණුගෙන් පසු ලක් රජය ඉසුළුෑ සද්ධාතිස්ස රජුගේ පුත් ලජ්ජතිස්ස රජු පිහිට වූ සෙල් ලිපියක් විහාරයට පිවිසෙන තැන ඇත. වළගම්බා, මහාචූලික මහාතිස්ස, භාතිකාභය, මහාදාඨික මහානාග ආමණ්ඩ ගාමිණී යන රජවරු මෙහි සංවර්ධනය කළේය.

පළමුවන ගජබාහු රජුගේ (ක්‍රි. ව. 114 – 136) ලිපියක් මහ සිතුල්පව්වට අයත් පර්වතයක දක්නට ඇත. මෙහි පළමුවන පෙළෙහි ‘සිධ මහරජ වහබොයහ පුත තිස මහ රජහ පුත මහරජ ගමිණී අබය” යනුවෙන් දක්වා ඇත්තේ වසභ, ඔහුගේ පුතු (වෘකනාසික) තිස්ස, ඔහුගේ පුතු ගමිණී අබය (ගජබාහු) යන රජවරුන් තිදෙනා බව හඳුනාගෙන ඇත. දුබලයහට ගම හා අකුජු මහගම යන දෙතැන් මහවිනිශ්චය ශාලාවෙන් ලැබෙන දඩ මුදල් කහවණු දෙක බැගින් ලබාගෙන සිතුල්පව්ව විහාරයේ භික්‍ෂූන්ගේ දිනපතා බෙහෙත් වියදම සඳහා ලබාදුන් බව මෙම ලිපියෙහි දැක්වේ. “චිතල පවත විහරහි භිකු සගහටය බෙසජ වට කොට දිනි”

කණිට්ඨතිස්ස, II ගෝඨාභය යන රජවරු මෙහි නව ගොඩනැඟිලි ඉදිකළහ. I දප්පුල, I විජයබාහු, II පරාක්‍රමබාහු යන රජවරු සිතුල්පව්වේ ප්‍රධාන ස්ථූපය පිළිසකර කරවූහ. මෙම තොරතුරුවලින් පෙනී යන්නේ මෙරට පාලකයන් විසින් හා සමාජයේ ප්‍රභූ පුද්ගලයන් විසින් ස්වකීය ධනව්‍යයෙන් මෙම පුදබිම දිගු කලක් තිස්සේ හොඳින් නඩත්තු කරගෙන ආ බවය. එහෙත් විශාල ප්‍රදේශයක විසිරි පවතින මෙම පුදබිමට අයත් සියලු ගොඩනැඟිලි පසුකාලීන පාලකයන් අතින් නඩත්තු නොවීම නිසා ක්‍රමයෙන් වනගත විය.

මහ සිතුල්පව්ව හා කුඩා සිතුල්පව්ව යන ස්ථාන දෙකෙහිම නටබුන් රාශියක් දක්නට ඇත. කාවන්තිස්ස රජු විසින් කරවන ලද ප්‍රධාන ස්තූපය පිහිටා ඇත්තේ මහසිතුල්පව්වේ ය. එම ස්තූපයට වසභ රජු විසින් (ක්‍රි. ව. 65 – 109) කරවන ලද පරිවාර ස්තූප 10න් කිහිපයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරනු ලැබ ඇත. මෙම ගල් පර්වතය මුදුනෙහි කට්ට කපා එකිනෙක පුරුද්දා සකස් කළ ගල් බැමි දක්නට ලැබේ. මේ ක්‍රමය නිසා ඒවා පහතට ලිස්සා යෑම වළකී. මෙම පර්වතයේ නැඟෙනහිර බෑවුමේ ගල් සන්නස පිහිටා ඇත.

මහ සිතුල්පව්වට නැඟෙනහිරින් පිහිටි උස් කඳුවැටිය කුඩා සිතුල්පව්වයි. කටාරම සහිත ගල්ලෙන්, ගල් පොකුණු, ගරාවැටුණු ස්තූප, ගල්කුඩය වැනි ඓතිහාසික වැදගත්කමින් යුතු පුරාවස්තු රැසක් මෙහි දක්නට ලැබේ. ලෙන් විහාරයට නැඟෙනහිර දෙසින් පැරණි බෝධිඝරයක නටඹුන් ඇත. මීටර් 5.5 X 5.5 ප්‍රමාණයේ හතරැස් බෝ කොටුවෙහි මැද බෝධිවෘක්‍ෂය පිහිටා තිබෙන්නට ඇත. මෙම බෝ කොටුව වටා මීටර් 21 X 18.5 ප්‍රමාණයේ හතරැස් ප්‍රාකාරයක් ඇත. දේවානම්පියතිස්ස රජු දවස දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේ මෙහි රෝපණය කර තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකිය.

කිතුවසින් පළමුවන සියවස වනවිට සිතුල්පව්වේ භික්‍ෂූහු විශාල සංඛ්‍යාවක් වාසය කළහ. වළගම්බා රාජ්‍ය සමයේ මෙහි භික්‍ෂුන් දොළොස්දහසක් වැඩ සිටියහ. විභංග අටුවාවේ දැක්වෙන පරිදි එකල මෙහි වැඩ සිටි ඒ විශාල භික්‍ෂු පිරිසට වසර තුනකට පමණ සෑහෙන තරමට වී ගබඩා කොට තිබුණි. එහෙත් ඒ වී සියල්ල එක රැයකින් ම මීයන් විසින් කා දමනු ලැබීම නිසා ආහාර හිඟ විය. මේ කාලයේ තිස්සමහාරාමයේත්, එපමණ භික්‍ෂු පිරිසක් වාසය කළ අතර වසර තුනකට සෑහෙන වී එහි ද එක්රැස් කොට තිබුණි. ඒවා ද එක් රැයකින් ම මීයන් විසින් කා දමන ලදහ. ආහාර හිඟයෙන් පීඩාවට පත් විහාර දෙකෙහි ම භික්‍ෂූන් දෙතැනම මීයන් කළ හදිය නොදැන අනෙක් විහාරයට යෑමේ අපේක්‍ෂාවෙන් මඟ බැස යද්දී, අතරමඟදී ඔවුනොවුන් මුණ ගැසූණහ.

දොළාස් දහසක් දෙනාට වසර තුනකට පමණ සෑහෙන තරමට තිබුණු වී එක රැයකින් මීයන් විසින් කා දමන ලදැයි අනුමාන කෙරේ. විහාර දෙකේම එක ම ආකාරයට එය සිදු වී යැයි සැලකේ.

සිතුල්පව්ව යෝගාවචර භික්‍ෂූන්ට සප්පාය විහාරයක් ලෙස විසුද්ධිමග්ගයේ එක් තැනෙක දැක්වෙන අතර තවත් තැනෙක දක්වා ඇත්තේ මෙහි වැඩවිසූ රහතන් වහන්සේට වැඳුම් පිදුම් කිරීමට බොහෝ මිනිසුන් කණ්ඩායම් වශයෙන් (වන්දනා නඩ) පැමිණි නිසා දහවල් කාලයෙහි භාවනා කිරීමට අයෝග්‍ය ස්ථානයක් ලෙස ය. එබැවින් දහවල් කාලයෙහි ජනයා
නොගැවසෙන වෙනත් තැනක වසා රාත්‍රියෙහි ආපසු ලෙන කරා පැමිණිය යුතු බවට එහිදී උපදෙස් දී ඇත.

කෙසේ වෙතත් වසර එක්දහස් පන්සීයක් තරම් කාලයක් දීප්තිමත්ව බැබළුණු සිතුල්පව්ව 18 සියවස පමණ වන ඳාවිට ක්‍රමයෙන් වනගත වීම නිසා ජනතාවගේ මතකයන් ඈත්ව ගියේය. බොහෝ බෞද්ධ ආරාම මෙලෙස වනගත විය. වර්ෂ 1909 දී පුරාවිද්‍යාඥ හෙන්රි පාකර් මහතා විසින් ද 1922 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ද සිතුල්පව්වේ නටබුන් පිළිබඳව වාර්තා කරනු ලැබ ඇත. අපේ පැරණි පාලි හා සිංහල සම්භාව්‍ය ග්‍රන්ථවල සඳහන් වන සිතුල්පව්ව කොතැනක පිහිටියේ යැයි කුතුහලයක් ඇති කර ගත් ගාල්ලේ යටගල විහාරයේ අධිපතිත්වය ඉසුලූ කවිකුලතිලක පූජ්‍ය කලහේ ශ්‍රී ගුණරතන මාහිමියෝ පොතපතෙහි සඳහන් තොරතුරු මැනවින් අධ්‍යයනය කොට හිතවත් දායක මහතකු ද කැටුව අලි කොටු වලසුන් ගහන යාල වන බිමට පිවිස කටු පඳුරු පීරමින් දැඩි දුෂ්කරතා විඳ මේ පින් බිම යළි අනාවරණය කර ගත්හ.

පසුව උන්වහන්සේ 1918 වර්ෂයේ දී යටගල ප්‍රදේශයෙන් දායක පිරිසක් රැගෙන එහි ගොස් කැලය කපා එළිපෙහෙළි කොට භික්‍ෂුවකට වාසය කිරීමට සුදුසු තත්ත්වයට එය පත්කළහ. උන්වහන්සේ එවකට එංගලන්ත මහ රැජනගේ නියෝජිතයා ලෙස ලක්දිව පාලනය කළ ක්ලිෆඩ් ආණ්ඩුකාරයාගෙන් කළ ඉල්ලීමකට අනුවය සිතුල්පව්ව විහාරය යළි නඟාසිටුවීමට අවසරය ලබාගත හැකි විය. කලහේ ශ්‍රී ගුණරතන මාහිමියෝ තම පැවිදි සහෝදරයකු මෙන්ම ශිෂ්‍යයකු ද වූ ඉලුක්පිටියේ ශ්‍රී ජිනරතන හිමියන්ට සිතුල්පව්වෙහි භාරකාරත්වය පැවරූහ.

ජිනරතන හිමියෝ මං මාවත් ඉදිකරවා ගමනාගමන පහසුකම් සලස්වා මේ පුදබිම නඟාසිටුවීමට පියවර ගත්හ. ජිනරතන හිමියන්ගේ අපවත්වීමෙන් පසු විහාරාධිපති ධුරයට පත් වත්තේහේනේ රතනසාර නාහිමියන්ගේ මෙහෙයවීම මත, රාජකීය පණ්ඩිත වත්තේහේනේ ශ්‍රී පියරතන ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ වෙත සිතුල්පව්වේ භාරකාරත්වය පවරන ලදි. උන්වහන්සේගේ කාලයේදී එහි විශාල දියුණුවක් ඇති විය. සියලු දෙනාගේම සහයෝගය ලබා ගෙන වන්දනාකරුවන්ට අවශ්‍ය පහසුකම් ද සලසා දෙමින් ගරාවැටී තිබුණු බොහෝ ස්ථාන පිළිසකර කිරීමට ද උන්වහන්සේට හැකි විය. ඉන්පසු විහාරාධිකාරී ශාස්ත්‍රපති උණවටුණේ රතනජෝති හිමියන් සිතුල්පව්ව රාජමහා විහාරයේ ශාසනික කටයුතු සිදුකිරීම් මැනවින් සිදුකරණු ලැබූහ. කුඩා සිතුල්පව්ව චෛත්‍යය ඉදිකිරීමේ දී පුරෝගාමී වූහ. ගාල්ලේ යටගල පුරාණ විහාරය සිතුල්පව්ව රාජමහා විහාරය ඇතුළු අෂ්ට මහා විහාරයන් මේ වනවිට මාගේ භාරකාරත්වය යටතේ පවතින අතර විහාර භූමියේ සංවර්ධනය සඳහා දායක සභාවේ සභාපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පින්වතුන්ගේ පූර්ණ අනුග්‍රහය ලබාගෙන සුවිසල් මෙහෙයක්, සිදු කිරීමට හැකියාව ලැබිණ.

මෙය ඓතිහාසික වටිනාකම් රැසකින් යුත් පුදබිමක් බැවින් ප්‍රතිසංස්කරණ හා නව ගොඩනැඟිලි ඉදිකිරීම් ආදී කටයුතුවලදී ගැටලු මතුවිය. එහිදී පුරාවිද්‍යාත්මක ගවේෂණ සිදුකරමින් අලුතින් ගොඩනැඟිලි ඉදිකිරීම් ආදී කටයුතු වලදී ගැටලු මතුවිය. එහිදී පුරාවිද්‍යාත්මක ගවේෂණ සිදුකරමින් අලුතින් ගොඩනැඟිලි ඉදිකිරීමට සුදුසු ස්ථාන පෙන්වා දීමෙන් පුරාද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් දිසානායක මහතා දැක්වූ අනුග්‍රහය කෙසේවත් අමතක කළ නොහැකි. එතුමා 1966, 2004 වර්ෂවල සිතුල්පව්ව විහාර සංකීර්ණයේ පුරාවිද්‍යාත්මක ගවේෂණ සිදුකළේය. “අසිරිමත් සිතුල්පව්ව” යන මැයෙන් එතුමා විසින් ලියන ලද පර්යේෂණාත්මක කෘතිය සිතුල්පව්වේ ඓතිහාසිකත්වය හා පුරාවිද්‍යාත්මක වටිනාකම ලොවට විවර කළ දොරටුවක් ලෙස හැඳින්වීමට හැකිය.

මෙවර පොසොන් පූජෝත්සවය වෙනුවෙන් ජුනි මස 03, 04, 05 දිනයන්හී පැවැත්වේ. පොසොන් පෝ දින දවස පුරා සීල සමාදානය, ආලෝක පූජාව සඳහා දායකත්වය මෙවර ද උපාලි සමූහ ව්‍යාපාරය, දිවයින පුවත්පතේ අනුග්‍රහයෙන් පැවැත්වේ. පොහොය දින ආගමික කටයුතු PEO TV සඳ ටීවී (121) නාලිකාවෙන් සජීවීව විකාශය කෙරේ. පොසොන් පොහෝ දින ආලෝක පූජාව උපාලි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ නිමල් වෙල්ගම සහ අධ්‍යක්‍ෂ ධම්මික ආටිගල මහතා විසින් ආරම්භ කෙරේ.

ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරය, ඓතිහාසික යටගල රාජමහා විහාරය, ඓතිහාසික මඟුල් මහා විහාරය, ඓතිහාසික වැල්ලේ දේවාල විහාරය, ඇතුළු අෂ්ට මහා විහාරාධිපති දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, හෙට්ටාවල පරිවේණාධ්‍යක්‍ෂ, සද්ධර්ම භාරතීෂ්වාරාචාර්ය, මහෝපාධ්‍ය, අග්ගමහා පණ්ඩිත,

සිතුල්පව්ව පුදබිමේ ඓතිහාසිකත්වය සහ පුරාවිද්‍යාත්මක වටිනාකම

ශාස්ත්‍රපති
පණ්ඩිත, මැටරඹ හේමරතන නායක ස්වාමීන් වහන්සේ

ඡායාරූපය අන්තර්ජාලයෙනි

advertistmentadvertistment
advertistmentadvertistment