සිතුවමින් ඉතිහාසය කියවමු Unseen colors

309

දෙසැම්බර් 03 – 17 ජාතික කෞතුකාගාර පරිශ්‍රයේදී

විසල් සිතුවම් දැක්මක් පිණිස අවශ්‍ය වන සියලු කටයුතු කඩිනමින් නිමාවට පත්වෙමින් ඇත. Unseen Colors යනුවෙන් නම්කර ඇති එම ප්‍රදර්ශනය සඳහා, චිත්‍ර සහ මූර්ති යන අංශ දෙක යටතේ නිර්මාණ ඉදිරිපත් කිරීමට නියමිතය. චිත්‍ර සහ මූර්ති නිර්මාණයේ මෙරට සිටින ප්‍රවීණයන් තිදෙනකුගේ නිර්මාණ ඇතුළත් Unseen Colors ප්‍රදර්ශනය පවත්වනු ලබන්නේ ද වෙනත්ම ස්ථානයකය. එබැවින් ඒ පිළිබඳ වැඩිදුර විස්තර අසා දැනගැනීම පිණිසත් එම ප්‍රදර්ශනය පැවැත්වීම පිණිස මේ වනවිට පවතින සූදානම පිළිබඳ දැකබලා ගැනීමත් ගමනෙහි අරමුණ විය. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් වන ප්‍රසන්න වීරක්කොඩි, ලෙස්ටර් පෙරේරා සහ ප්‍රවීණ මූර්ති ශිල්පියකු වන ලලිත් සේනානායක මුණගැසීමේ අවස්ථාව උදාවිය.

අපගේ කතාබහ සිදුවන්නේ කිරුළපන පෝරුතොට පිහිටි ප්‍රසන්න වීරක්කොඩි නම් ප්‍රතිභාසම්පන්න චිත්‍ර ශිල්පියාගේ නිවසේදීය. එම නිවසට ඇතුළු වූ සැණින් කලාගාරයකට ඇතුළු වූවා වැනි හැගීමක් දැනෙන්නට විය. නිවසෙහි එක්පසෙක මනාව වර්ණගල්වා නිමකර ඇති සිතුවම් පෙළක් දැකගත හැක. ඒ සියල්ල ප්‍රදර්ශනය පිණිස නිර්මාණය කරන ලද සිතවම්ය. තවත් තැනක අඩක් නිමකළ සිතුවම් කීපයක් දැකගත හැක. ඒ අසල විවිධ වර්ණයන්ගෙන් යුත් තීන්ත බඳුන් කීපයක් සහ විවිධ ප්‍රමාණයෙන් යුත් පින්සල කීපයක් විය. නුදුරේ දිනක ප්‍රසන්න වීරක්කොඩි විසින් එම සිතුවම්ට ද විසිතුරු නිමාවක් ලබාදෙනු ඇත. සිතුවම් පෙළ එකින් එක නරඹන කළ හැඟී යන්නේ ජීවමය බවක් පිරි ඉපැරැණි රාජධානියකට ඇතුළු වූවා වැනි හැඟීමක්ය. අප කතානායකයන් තිදෙනාගෙන් එක් අයකු වන ප්‍රසන්න වීරක්කොඩි යනු ඒ තරමටම ඓතිහාසික චිත්‍ර නිර්මාණයේ සමත්කම් දක්වන්නෙක්ය.

සිතුවමින් ඉතිහාසය කියවමු Unseen colors

නිහඬව නිර්මාණකරණයේ නිරත ඔහුට කාලය බොහෝ වැදගත් බැවින් කෙටි හඳුනාගැනීමකින් අනතුරුව අපගේ කතාබහ ආරම්භ විය. ඒ සඳහා ප්‍රසන්න වීරක්කොඩි විසින් ආරම්භය ලබා ගත්තේ තම ජීවිතයේ විසල් මතකයක් වූ කලාසූරී ආරියවංශ වීරක්කොඩි නම් අග්‍රගන්‍ය කලාකරුවා පිළිබඳ සිහිපත් කරමිනි.

“මගේ තාත්තා කලාසූරී ආරියවංශ වීරක්කොඩි. ඔහු චිත්‍ර කලාවට මෙන්ම මූර්ති ශිල්පයටත් ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලූ කලාකරුවෙක්. ඒ වගේම සම්මානනීය චිත්‍රපට කලා අධ්‍යක්‍ෂවරයෙක්. නිධානය, ගම්පෙරළිය, සිකුරු තරුව ඇතුළු තවත් චිත්‍රපට ගණනාවක කලා අධ්‍යක්‍ෂණය කළේ මගේ තාත්තා කමලා වීරක්කොඩි කියන්නේ මගේ අම්ම. ඇය ගුරුවරියක් වගේම චිත්‍ර කලාව පිළිබඳවත් බොහෝ දැනුම් තේරුම් සහිත තැනැත්තියක්. අම්ම, තාත්තා ගෙන් ලද උරුමයක් ලෙස අපේ පවුලේ සියලු දෙනාගෙම ජානවල චිත්‍ර කලාව තිබෙනවා. නමුත් පසුකාලීනව වෘත්තීය චිත්‍ර ශිල්පියෙක් ලෙස ක්‍ෂේත්‍රයට එකතු වෙන්නෙ මා පමණයි. මමත් ආරම්භයේදී වන ජීවීන් චිත්‍රයට නඟමින් තමයි ක්‍ෂේත්‍රය තුළ රැඳිල හිටියේ. කාලයක් තිස්සේ එහෙම කටයුතු කරගෙන යන විට තමයි අපේ රටේ ඉතිහාසය චිත්‍රයට නැඟිය යුතුයි කියන තීරණය මත ඓතිහාසික චරිත හා ඒ ආශ්‍රිත සිදුවීම් ආදී ඉපැරැණි දේ චිත්‍රයට නැඟීම ආරම්භ කරන්නේ.”

ඔහු ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙක් පමණක් නොව විස්මිත චිත්‍ර ශිල්පියෙක් ලෙස නම්කළ ද එහි වරදක් නැත. ඉතිහාසය චිත්‍රයට නැඟීමේදී ඊට අංශුවක තරම් හෝ අසාධාරණයක් සිදු නොකිරීමට ඔහු විසින් වගබලාගෙන ඇත. ඔහුගේ නිර්මාණවල විශේෂත්වය බවට පත් වන්නේ සෑම සිතුවමක්ම ඉතිහාසයේ සාධක මත රූපයට නැඟීමට දක්වා ඇති සමත්කමය. සියුම් ඉසියුම් රේඛාවන් තුළ පවා ජීවමය බවක් දැක ගත හැක. ජාතිය සතුව පැවැති අනන්‍යතාවයන් ඒ ආකාරයෙන්ම කැන්වසය මත සිතුවම් කිරීම පිණිස ඉහළම සමත්කම් දක්වන සිත්තරුන් අතර ප්‍රසන්න වීරක්කොඩි ප්‍රමුඛයෙක් බවට පත්වන්නේ එබැවින්ය.

මේ දිනවල ඔහු වෙහෙස දරමින් පවතින්නේ එම සුවිශේෂී හැකියාවන් මුල්වරට ජනතාව අතරට රැගෙන යෑම පිණිසය. Unseen Colors සිතුවම් හා මූර්ති ප්‍රදර්ශනයට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය පිණිසය. එම උත්සාහය පිළිබඳ විමසා සිටීමේදී ඔහු විසින් සඳහන් කර සිටියේ එය තමන් ඇතුළු තවත් ප්‍රවීණයන් දෙදෙනකු විසින් එකසේ දරන ලද වෙහෙසකර වෑයමක ප්‍රතිඵලයක් බවත් එහි පරිසමාප්තිය ඉදිරි දිනක මෙරට ජනතාවට දැකබලා ගැනීමට ලැබෙන බවත්ය.

සිතුවමින් ඉතිහාසය කියවමු Unseen colors

“අපේ ප්‍රදර්ශනය ලබන මාසෙ දෙවැනිදා කොළඹ ජාතික කෞතුකාගාර පරිශ්‍රයේදී ආරම්භ වෙනවා. එය මහජන ප්‍රදර්ශනය පිණිස විවෘත වෙන්නේ ඊට පසුදින සිටයි. ඒ අනුව ලබන මාසෙ තුන්වැනිදා සිට දාහත්වැනිදා දක්වා උදෑසන 9.00 සිට රාත්‍රි 7.00 දක්වා මහජනතාව වෙනුවෙන් විවෘතව පවතිනවා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තුවන දෙයක් තමයි දෙමාපියන් තමන්ගෙ දරුවන්වත් අරන් මේ ප්‍රදර්ශනය නරඹන්න එනව දකින එක. මොකද මගේ චිත්‍ර වගේම අනෙක් ශිල්පීන් දෙදෙනාත් නිතරම උත්සාහ කරනවා අපේ රටේ දරුවන්ගේ හිත් කලාවෙන් පුරවන්න. ඒ සඳහා තමයි මේ වගේ ප්‍රදර්ශනයක් වුනත් සංවිධානය කළේ. ස්වභාවිකවාදී චිත්‍ර කලාව තමයි ලෝකයේ ඉපැරණිම චිත්‍ර කලාව ලෙස හඳුන්වන්නේ. නමුත් එය අද ටිකෙන් ටික ජන මනසින් ඈත්වෙනවා. ඒ හින්දා තමයි චිත්‍ර ශිල්පියෙක් ලෙස මම අපේ රටේ ජීවත්වූ වීරවරයන්ව ඒ වගේම අප සතුව පැවැති ඉපැරැණි යුද සම්ප්‍රදායයන් ආදියට පින්සලෙන් නැවත ජීවය දෙන උත්සාහයක නිරත වෙලා ඉන්නේ.”

ප්‍රසන්න වීරක්කොඩි සිය කතාබහ නිමාවට පත් කළේ ඒ අයුරින්ය. දීර්ඝ ගවේෂණ කටයුත්තකින් අනතුරුව සොයා ගන්නා ඉතිහාස සාධක මත චිත්‍ර කලාවේ නිරත ඔහුගේ කතාබහෙන් පසුව අපි හා කතාබහට එක්වූයේ මෙම ප්‍රදර්ශනය පිණිස තම නිර්මාණශීලී දායකත්වය සපයන මූර්ති හා චිත්‍ර ශිල්පි ලලිත් සේනානායකය. දෙස්, විදෙස් හි චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශන ගණනාවක් පවත්වා ඇති ඔහු ලබන මස 03 වැනිදා ඔහුගේ ද නිර්මාණ ඇතුළත්ව ආරම්භ කිරීමට නියමිත චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනය පිළිබඳවත් එය ජාතික
කෞතුකාගාර පරිශ්‍රයේ එක් කොටසක පැවැත්වීමට ගත් තීරණය පිළිබඳවත් විස්තර කර සිටියේ මේ ආකාරයෙන්ය.

සිතුවමින් ඉතිහාසය කියවමු Unseen colors

“ඇත්තටම අපිට ඕන වෙලා තිබුණේ එකතුවෙලා වැඩක් කරන්න. ඒ හරහා චිත්‍ර ශිල්පීන් අතර එකමුතුවක් ඇති කිරීම අපේ එක් අපේක්‍ෂාවක් බවට පත්වෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ කටයුත්ත සංවිධානය වෙන්නේ. අපේ රටේ චිත්‍ර ශිල්පීන් ගත්විට ඒ අයට හැමදාමත් තිබුණ ගැටලුවක් තමයි ප්‍රමාණවත් තරම් පහසුකම් සහිත ප්‍රදර්ශනාගාරයක් නොතිබීම. මේ සඳහා පෞද්ගලික කලාගාර එහෙමත් නැත්නම් ප්‍රදර්ශනාගාර තිබුණත් ඒ සඳහා ලොකු වියදමක් දරන්න වෙනවා. නමුත් චිත්‍ර ශිල්පීන්ගෙන් වැඩි දෙනෙකුට එවැනි පිරිවැයක් දරන්න තරම් ආර්ථික ශක්තියක් නැහැ. අපේ රටේ එවැනි තත්ත්වයක් පැවතුනත් එංගලන්තය කැනඩාව ආදී රටවල සංචාරය කරද්දී අපට දකින්නට ලැබෙන දෙයක් තමයි ඒ රටවල කෞතුකාගාර ආශ්‍රිතව යම් යම් ප්‍රදර්ශන පැවැත්වීම පිණිස ඉඩ පහසුකම් වෙන්කර තැබීම. ඒ අනුව යමින් තමයි අපි කෞතුකාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරන්නෙ අපේ කලාකරුවන්ටත් තමන්ගෙ නිර්මාණ ජනතාව අතරට රැගෙන යන්න ඒ පහසුකම සකසල දෙන්න කියලා. මොකද තමන්ගේ නිර්මාණ හැකියාවන් එළිදක්වන්න තැනක් නැතුව තවත් චිත්‍ර ශිල්පීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් අපි විශ්වාස කරනවා ජාතික කෞතුකාගාර පරිශ්‍රයේ අපේ චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනයක් පැවැත්වීම පිණිස ගත් ආරම්භය හරහා ඒ කටයුත්ත ඉදිරියටත් යාවත්කාලීන වේවි කියලා.”

ප්‍රතිභාසම්පන්න චිත්‍ර හා මූර්ති ශිල්පියෙක් වන ලලිත් සේනානායක දෙස් විදෙස් හි චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශන කීපයක් පවත්වා ඇති බැවින් ඔහු මෙම ක්‍ෂේත්‍රයට අවතීර්ණ වූ ආකාරය සහ විශේෂයෙන් මූර්ති නිර්මාණ පිණිස යොමුවූ ආකාරය පිළිබඳව කරන ලද විමසීමකදී ඒ පිළිබඳ විස්තර කළ ලලිත් පවසා සිටියේ, තමන් පළමුව පින්සල අතට ගත් බවත් ඉන් අනතුරුව කලක් ගතවීමත් සමග මූර්ති නිර්මාණය පිණිස යොමුවූ බවත්ය. එම ඇල්ම, කැමැත්ත කෙතරම් ද යත් ඉන් වසර කීපයකට පසු ඔහුගේ මූර්ති ප්‍රදර්ශනයක් ඉන්දියාවේ පැවැත්වීමට තරම් හැකියාවෙන් පොහොසත් මූර්ති ශිල්පියෙක් වන ලලිත් මෙරට ද තමන්ගේ මූර්ති නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශන කීපයක් පවත්වා ඇත. ඉන් අනතුරුව ශිෂ්‍යත්වයක් ලැබ එංගලන්තය බලා පිටත්වන ඔහු එහිදී තම හැකියාවන් තව තවත් වර්ධනය කර ගැනීමට සමත් වන්නේය. ඉන් අනතුරුව සිංගප්පුරුවේ හා චීනයේ තවත් මූර්ති ප්‍රදර්ශන දෙකක් පවත්වන ලලිත් ඒ සඳහා ඉදිරිපත් කරන ලද සියලු නිර්මාණ සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරනු ලබන්නේ ඉවතලන වාහන අමතර කොටස් සහ ප්ලාස්ටික් අබලි ද්‍රව්‍යයන්ය. ඔහුගේ සුවිශේෂී නිර්මාණ හැකියාව හේතුවෙන් නැවත වරක් චීනයේ පවත්වන ලද මූර්ති නිර්මාණ වැඩමුළුවක් සඳහා සහභාගි වීමට අවස්ථාව හිමිව තිබිණි. එය ඔහුගේ නිර්මාණ ජීවිතයේ එක් සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්වන්නේ එහිදී ඔහු විසින් කරන ලද නිර්මාණ දෙකක් එරට ස්ථාපනය කිරීමේ දුර්ලභ වරම හිමිකර ගැනීමට ඔහු සමත්වීම හේතුවෙන්ය. රටවල් 26 ක මූර්ති නිර්මාණකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැති එම වැඩමුළුවේ උසම නිර්මාණ හය තෝරා ගැනීමේදී ඔහුගේ නිර්මාණ දෙකක් ඊට ඇතුළත්ව ඇත. අදත් චීනයේ ප්‍රසිද්ධ නගරයක් තුළ ඔහු විසින් කරන ලද එම මූර්ති නිර්මාණ දෙක දැකබලා ගත හක. එපමණක් නොව ඔස්ටේ්‍රලියාවේ සිඩ්නි හි ඔපෙරා හවුස් ඉදිරිපිට ඉදිකොට ඇති හන්ටර් හවුස් පරිශ්‍රයේදී මෙරට නම සහ ජාතික ධජය යටතේ ඔහු විසින් කරන ලද අනගි මූර්ති නිර්මාණයක් ස්ථාපනය කර ඇති බව ඔහු විසින් සඳහන් කර සිටින්නේ නිහතමානී සතුටකින් යුක්තවය. එපමණක් නොව කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය අබියස ස්ථාපනය කර තිබෙන හස්තියකුගේ රුව රැගත් දැවැන්ත මූර්ති නිර්මාණය නිම වන්නේ ද ඔහු අතින්ය.

මිශ්‍ර මාධ්‍ය භාවිතා කරමින් සුවිශේෂී මූර්ති නිර්මාණය කිරීමේ ඉහළ සමත්කමක් දක්වන ලලිත් සේනානායකගේ අදහස් දැක්වීමෙන් අනතුරුව මෙම කතාබහ පිණිස සම්බන්ධ වූයේ මෙරට තවත් ප්‍රතිභාපූර්ණ චිත්‍ර ශිල්පියකු වන ලෙස්ටර් පෙරේරා ය. වන ජීවීන් සිතුවමට නැඟීමත්, ඔවුන්ගේ ජීවන රටාවන් පිළිබඳ දීර්ඝ කාලීනව පර්යේෂණ ආදියේ නිරතවීමත් තම ජීවිතයේ කොටසක් බවට පත් කරගෙන තිබෙන ලෙස්ටර් මෙම ප්‍රදර්ශනය පිණිස සිය දායකත්වය ලබා දෙන්නේ වන ජීවීන්ගේ සිතුවමින් ප්‍රදර්ශන භූමිය සරසමින්ය.

Unseen Colors ප්‍රදර්ශනය අප විසින් පවත්වන්නේ අරමුණු කීපයක් මුල්කරගෙන. එකක් තමයි චිත්‍ර කලාව පිළිබඳ අලුත් කියැවීමක් පිණිස නරඹන්නන් යොමු කිරීම. මොකද චිත්‍ර නිර්මාණය කලාවක් ලෙස ගත් විට එහි පැතිකඩවල් ගණනාවක් පවතිනවා. සෝලියස් මෙන්ඩිස්, ඩොනල්ඩ් රාමනායක, රෙජී කන්දප්ප වැනි ප්‍රවීණයන් නියෝජනය කරන්නේ එක සම්ප්‍රදායයක්. නමුත් අද පරම්පරාව ඔවුන් කවුද කියලවත් හඳුනන්නෙ නෑ. ජෝර්ජ් කිට් ඇතුළු තව පිරිසක් ඉන්නවා, ඔවුන්ව බොහෝදෙනෙක් හඳුනනවා. ඒ අයගෙ නිර්මාණ අදත් මිලියන ගණන්වලට අලෙවි වෙනවා. ඒකෙ වරදක් නැහැ. නමුත් එක් චිත්‍ර සම්ප්‍රදායයක් විසින් තවත් චිත්‍ර සම්ප්‍රදායයක් වසාගෙන මතුවෙන්න උත්සාහ කරන එක පොදුවේ චිත්‍ර කලාවට සිදුවන හානියක් ලෙස මං දකිනවා.

එම නිසා මා ඇතුළු තවත් පිරිසක් නිරන්තර උත්සාහයක යෙදෙමින් ඉන්නවා අපටම අනන්‍ය වූ චිත්‍ර සම්ප්‍රදායයක් තවදුරටත් ඉදිරියට අරන් ගිහින් මතු පරපුරේ ප්‍රයෝජනය පිණිස ආරක්‍ෂා කරලා දෙන්න. මේ ප්‍රදර්ශනය හරහාත් ඒ උත්සාහයේ නිරත වෙනවා. තවත් පැත්තකින් ‘කලාපොළ’ කියන එක අද තිබෙන්නේ මහ පාරේ. ඒ වගේම තමයි කලාකරුවෝ ගත්තොත් ඒ අයට විවිධ පිළිගැනීම් තිබෙනවා. නමුත් වෙනත් ක්‍ෂේත්‍රයක් නියෝජනය කරන කලාකරුවකුට රට ඇතුළෙ තිබෙන පිළිගැනීම අද වනවිට චිත්‍ර ශිල්පියාට නැහැ. ඒකෙන් මම අදහස් කරන්නේ ඒ වරද කවුරුහරි භාර ගත යුතුයි කියලා නොවෙයි. ඒකට ප්‍රධානම හේතුව තමයි චිත්‍ර කලාව පිණිස අපේ රටේ අචාර ධර්ම පද්ධතියක් නොතිබීම. ඒ වගේම තමයි චිත්‍රය පිණිස ප්‍රමාණවත් විචාර කලාවක් නොතිබ්බත් ලොකු ගැටලුවක්. මේ වගේ ගැටලු රාශියක් මැද වුවත් දීර්ඝ කාලයක් තිස්සේ මේ ක්‍ෂේත්‍රයේ නිරතව ඉන්න තිදෙනෙක් ලෙස අපි තීරණයක් ගන්නවා වෙනස්ම තැනක වෙනස්ම ආකාරයේ චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනයක් පවත්වල සමස්ත චිත්‍ර කලාවම ඉස්සරහට අරන් යන්න අවශ්‍ය යම් මැදිහත්වීමක් කරන්න. එතැනදී මා විසින් නිර්මාණය කරන ලද වනජීවී චිත්‍ර රාශියක් දැකබලා ගන්න නරඹන්නන්ට අවස්ථාව ලැබෙනවා.

Unseen Colors ප්‍රදර්ශනය සියැසින් දැක ගැනීමෙන් මෙපිට එහි සිරි විසිතුරු මෙවැනි ලිපියකින් විස්තර කළ නොහැක. එම අසිරිමත් සිතුවම් පෙළ සහ විශිෂ්ට මූර්ති නිර්මාණ රැස දැකබලා ගැනීමේ දුර්ලභ වරම ලබන 03 වැනිදා සිට මෙරට ජනතාවට හිමිවීමට නියමිතය.

කොළඹ ජාතික කෞතුකාගාර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත එම සිතුවම් හා මූර්ති දැක්ම නැරඹීම යනු ජාතියක් සතුව පැවැති අනුලංඝනීය ඉතිහාසය නැවත කියැවීමක් බවට පත්වන්නා සේම ස්වභාවික සෞන්දර්යයේ ජීවමය චමත්කාරය වන, වන සතුන්ගේ රුව රැගත් සිතුවම් සමූහයක් ද දැකගත හැක. ඉවතලන අබලි ද්‍රව්‍ය යොදා ගනිමින් උසස් කලා කෘතීන් නිර්මාණය කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් මනා වැටහීමක් මෙම ප්‍රදර්ශනය තුළින් ලබා ගත හැක.

සිතුවමින් ඉතිහාසය කියවමු Unseen colors

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment