සිනමාවෙන් රූපවාහිනිය අතික්‍රමණය කළ සොඳුරු මිනිසා

501

1927 අප්‍රේල් 17 – 2011 ඔක්තෝබර් 15

ටයිටස් තොටවත්ත මහතා අපෙන් සමුගෙන ඔක්තෝබර් 15 දිනට වසර 11කි. මෙය, තොටවත්ත මහතාට උපහාර පිණිස
සදීපා ප්‍රකාශකයින් විසින් සංස්කරණය කර මුද්‍රණය කරන ලද “අපේ ටයි මහත්තයා” පොතෙන් උපටා ගන්නා ලද ලිපියකි.

“ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත” වීදාගම හිමියන් බුදුගුණ අලංකාරය කෘතියෙහි සඳහන් කොට තිබුණේ එසේය. මෙම කියමන වෙනස් කළ අපූර්ව මිනිසුන් කලාතුරකින් අපට දැකගත හැක. අපූර්ව මිනිසුන් ඉබේ බිහිවන්නේ නැත. ඒ සඳහා බලපාන සාධක රැසක් ඇත. තමන් නියැළී සිටින විෂය පථය පිළිබඳ විශේෂඥ දැනුමක් ඔහු තුළ තිබීම ඉන් එක් සාධකයකි. එම දැනුම නිරායාසයෙන් ලැබෙන්නක් නොවේ. එය තමන් විසින් වෙහෙස වී සොයාගත යුතුය. මේ ආකාරයට දැනුම සොයාගත් පමණින් ඔහු අපූර්ව මිනිසකු වන්නේ නැත. තමන් සොයා ගත්, තමන් ග්‍රහණය කොටගත් දැනුම සමාජය වෙත දායාද කිරීමේ හැකියාවක්ද ඔහු වෙත තිබිය යුතුය. නියැළී සිටින ක්‍ෂේත්‍රය කුමක් වූවත් අපූර්ව නිර්මාණකරුවකු බිහිවන්නේ එවිටය.

ලාංකීය සමාජය තුළ එවැනි අපූර්ව මිනිසුන් හමුවන්නේ ඉතාමත් අතළොස්සකි. ඒ අතරින් ටයිටස් තොටවත්තයන් ඉදිරියෙන්ම සිටිති. ඔහු එක් විෂයයකට පමණක් සීමා වූ අයෙක් නොවේ. හේ අපේ සිනමා කර්මාන්තයේ පුරෝගාමියෙකි. එහි දීද ඔහු එක් අංශයකට පමණක් සීමා වූයේ නැත. සංස්කරණ ශිල්පියකු ලෙස සිනමාවට එක්වූ තොටවත්තයෝ අනතුරුව චිත්‍රපට අධ්‍යක්‍ෂණයද, තිර රචනයද, රසායනාගාර කටයුතු ද ආදී වූ නොයෙකුත් අංශයන්ගෙන් ප්‍රවීණයකු බවට පත්විය.

සිනමාවෙන් රූපවාහිනී මාධ්‍යයට පිවිසි තොටවත්තයන් නොබෝ කලකින්ම එහි තම ආධිපත්‍ය පතුරවන්නට වූහ. රූපවාහිනියට හඬකැවීම් ශිල්පය හඳුන්වාදීම තුළින් රූප මාධ්‍ය තුළ මහත් පෙරළියක් ඇති කිරීමට ඔහුට හැකි විය. කාටූන චිත්‍රපට කලාව පිළිබඳ ගැඹුරින් ප්‍රගුණ කර තිබූ ටයිටස් තොටවත්ත මහතා විදේශීය කාටූන දේශීයත්වයට ගැළපෙන පරිදි හඬගන්වනු ලැබීය. ඒවා නැරඹූ කා හට වුවද ඒවායේ විදෙස් ගතියක් නොදැනුනේ ටයිටස් තොටවත්තයන්ගේ තිබූ ප්‍රතිභාව නිසාය.

1929 අප්‍රේල් මස 17 වන දින බොරැල්ලේ දී උපත ලැබූ ටයිටස් තොටවත්තයන්ගේ මුල් නම දොන් එමානුවෙල් ටයිටස් ද සිල්වා විය. පස් දෙනෙකුගෙන් යුතු පවුලේ බාලයා වූ ටයිටස්ට වැඩිමහල් සහෝදරයන් දෙදෙනකු විය. විදුලි ඉංජිනේරුවකු ලෙස කටයුතු කළ ඊලියන්ද සිල්වා සහ සැම්සන් ද සිල්වා ඔවුන්ය. තොටවත්ත මහතා මූලික අධ්‍යාපනය හැදෑරුවේ කොළඹ ආනන්ද විද්‍යාලයෙනි. පාසල් යන අවධියේ සිටම නව දේ පිළිබඳ දැක්වූ උනන්දුව නිසාම මරදානේ ටෙක්නිකල් කොලීජියෙන් කැමරාකරණය පිළිබඳ ඉගෙන ගත් බව සඳහන් වේ.

ආනන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන ලබාගත් තොටවත්තයන් පසුව හේවුඩ් විද්‍යායතනයේ ජේ. ඩී. ඒ. පෙරේරා හා ස්ටැන්ලි අබේසිංහගෙන් චිත්‍ර කලාව හා මූර්ති කලාව ඉගෙන ගත්තේය. ශේෂා පලිහක්කාර සහ මුකේත්‍ර දත් යන ශිල්පීන් සමග නැටුම් කලාව ද හදාළ ඔහු ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත යන ශිල්පීන් සමග සංගීත කලාව ද හදාළේය.

තොටවත්තයන් සිනමාවට පිවිසීම

සිනමාවට පිවිසීමේ මූලික අඩිතාලම ලෙස මරදානේ ටෙක්නිකල් කොලීජියේ දී උගත් ඡායාරූපකරණය ටයිටස් තොටවත්තයන් හට විශාල පිටිවහලක් විය. 1952 දී රජයේ චිත්‍රපට සංස්ථාව පිහිට වූ පසු වාර්තා චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳව කටයුතු කිරීමට සම්බන්ධ විය. එහිදී ඔහු වාර්තා චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳ රැල්ෆ් කීන් යටතේ හදාරනු ලැබුවේය. කැමරාකරණය, ශබ්ද පරිපාලනය සහ රසායනාගාර කටයුතු පිළිබඳ රජයේ චිත්‍රපට අංශයේ සිටි ඉතාලි විශේෂඥයකු වන ෆෙඩ්රිකෝ සේරා සහ ජියෝජියෝ කලබ්‍රි‍යා යටතේ පුහුණුව ලබා තමා වැඩියෙන්ම ඇලුම් කළ සංස්කරණ ශිල්පය වෙත නැඹුරු විය.

මෙලෙස රජයේ චිත්‍රපට ආයතනයේ කටයුතු කරමින් සිටිය දී 1956 සැප්තැම්බර් 01 වැනි දින ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සහ විලී බ්ලේක් මහතා සමග එක්වී රජයේ චිත්‍රපටි ආයතනයෙන් ඉල්ලා අස්විය. ඇතමුන් එකල මොවුන්ව හඳුන්වන ලද්දේ “පිස්සන් තිදෙනකු, ලෙසින් යැයි පිලිප් කුරේ තම “හුදෙකලා කලාකරු” කෘතියෙහි සඳහන් කරයි. සිංහල සිනමාවේ අමරණීය පිටුවක් පෙරළු “රේඛාව” චිත්‍රපටිය මොවුන්ගේ දායකත්වයෙන් නිර්මාණය වූවකි. එහි සංස්කරණ ශිල්පියා ලෙසද කටයුතු කළේ තොටවත්තයන්ය.

1956 න් පසු චිත්‍රපට ගණනාවකටම තොටවත්ත මහතා තම දායකත්වය ලබා දුන්නේය. 1957 දී එංගලන්තයේ “ආතර් රෑන්ක්” නිෂ්පාදන සමාගමේ පයින්වුඩ් චිත්‍රාගාරයේ චිත්‍රපට නිෂ්පාදන තාක්‍ෂණය පිළිබඳ පුහුණු කටයුතුවලට ද හෙතෙම සම්බන්ධ විය. අනතුරුව බ්‍රි‍තාන්‍ය චිත්‍රපට ආයතනයේදී හා ප්‍රංශයේ සිනමැනකේ ආයතනයේ දී ජගත් සිනමාවේ ඉතිහාසය හා වර්ධනය පිළිබඳ පාඨමාලාවක් හදාරනු ලැබුවේය. 1956 සිට 1980 දක්වා කාල පරිච්ඡේදය තුළ විශාල චිත්‍රපට සංඛ්‍යාවකට දායක වූ තොටවත්තයන්ගේ සිනමා ගමන් මාර්ගය 1956 රේඛාවෙන් ආරම්භ වී 1979 හඳයාගෙන් අවසන් විය. සුවිශේෂී චිත්‍රපට රැසක සංස්කරණ කටයුතු සිදුකළ තොටවත්තයන් සංස්කරණ ශිල්පයේ නව ප්‍රවණතාවන් ගොඩනංවමින් රූප රිද්මය කතාවට ගැළපෙන ආකාරයට එකතු කරමින් ශිල්පීය සම්ප්‍රදායට ගැති නොවෙමින් සිය සංස්කරණ කටයුතුවල නිරත වූයේය. මෙසේ සිනමාවේ ඉදිරියට යෑමේ දී එංගලන්තයේ ටෙක්නිකල් රසායනාගාරයේ වර්ණ රසායන කටයුතු පිළිබඳ වත් ආතර් සී ක්ලාක් මහතාගේ ආරාධනය පරිදි මෙට්රෝ ගෝල්ඩ්වින් මේයර් චිත්‍රාගාරයේදී ස්ටැන්ලි කුබ්රික්ගේ 2000- A Space Odessy චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සඳහා නිරීක්‍ෂකයකු වශයෙන් සහභාගී වී ඇත.

සැබැවින්ම කතා රචක, තිර රචක, සංස්කාරක සහ අධ්‍යක්‍ෂකවරයකු වූ එකම අසාමාන්‍ය සිනමාකරුවා ද තොටවත්තයන්ය. චිත්‍රපටයක වැදගත්ම, භාරධූර හා නිර්මාණශීලී අංශ කිහිපයක්ම තනිවම කිරීමට ඔහු සමත්විය.

සිනමාවේ කාර්මික ශිල්පියකු ලෙස කාර්මිකත්වය අභිබවා, සංස්කාරක ශිල්පියෙකු ලෙස දක්‍ෂතා දැක්වූ තොටවත්තයන් 1965 දී ‘චණ්ඩියා’ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරමින් චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයකු බවට පත්විය. එවකට පැවැති සාම්ප්‍රදායික සිනමා කලාවට අභියෝග කරමින් සමාජ යථාර්ථයන් එළිදැක්වීමට වෙහෙසුන තොටවත්තයන් කතාව, තිර රචනය, සංස්කරණය සහ අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපට බොහෝය. ඒ අතර ‘කවුද හරි’ (1969), ‘තෙවත’ (1970)’ ‘හාරලක්‍ෂය’ (1971), ‘සාගරිකා’ (1974), ‘සිහසුන’ (1974), ‘මංගලා’ (1976), ‘මරුවා සමග වාසේ’ (1977), ‘හඳයා’ (1979) මුල්තැන ගත් චිත්‍රපට වෙයි.

සිංහල සිනමාවේ හොඳම ළමා චිත්‍රපටය ලෙස සැලකෙන ‘හඳයා’ චිත්‍රපටයට සිනමා උළෙල කිහිපයකදීම සම්මාන හිමි විය. ටයිටස් තොටවත්ත මහතාට ‘හඳයා’ චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිෂ්පාදනය, හොඳම අධ්‍යක්‍ෂණය, හොඳම සංස්කරණය සහ හොඳම තිර රචනය සඳහා 1980 සරසවි සම්මානයෙන්ද නිර්මාණශීලී අධ්‍යක්‍ෂණය හා නිර්මාණශීලී සංස්කරණය සඳහා O.C.I.C. උත්තමාචාරයද හොඳම චිත්‍රපටය ලෙස ඉතාලියේ Grand prix සම්මානයද හිමිවිය.

මීට අමතරව රජයේ චිත්‍රපට ආයතනයේ සිටියදී කෙටි හා වාර්තා චිත්‍රපට කිහිපයක් ටයිටස් තොටවත්ත මහතා විසින් සංස්කරණය හා අධ්‍යක්‍ෂණය කොට ඇත.

තොටවත්තයන්ගේ රූපවාහිනී පිවිසුම

1982 දී ජාතික රූපවාහිනිය ආරම්භ කළ අවදියේදීම රූපවාහිනියට සම්බන්ධ වූ තොටවත්තයන් මුල් වකවානුවේදී මැදිරි තුළම ‘පින්මඳ පුතුන්’ සහ ‘රාජකුමාරයා සහ හංසයා’ යන ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය කළේය’ ඉන් අනතුරුව ‘රන් කහවනු’ නමින් ප්‍රාසාංගික ටෙලි නාට්‍යයක්ද අධ්‍යක්‍ෂණය කළේය. 1984 දී ටයිටස් තොටවත්ත මහතා චිත්‍රපට හා හඬකැවීම් අංශය ආරම්භ කළේය. එම අවධිය වනවිට කාටූන් චිත්‍රපට කෙරෙහි කුඩා ළමුන් වැඩි ඇල්මක් දැක්වූ නිසා ඒවා සිංහල භාෂාවෙන් විකාශනය කිරීමේ හැකි නොහැකි බව පිළිබඳ සොයා බලමින් සිටි තොටවත්තයන් මුල්වරට මි.මී.16 චිත්‍රපටයක් සිංහල දෙබස් ගන්වා වීඩියෝ (යූමැටික්) ක්‍රමයට පෙරළා රූපවාහිනී තාක්‍ෂණික අංශයේද සහාය ඇතිව 1985-02-15 දින ‘අහල පහල’, ‘ලොකු බාස් පොඩි බාස්’ නමින් රූපවාහිනී තිරයේ ප්‍රථම හඬකැවූ වැඩසටහන ලෙස විකාශනය කළේය.

මුලින්ම හඬකැවූ වැඩසටහන් ‘අහල පහල’, ‘ලොකු බාස් පොඩි බාස්’ප්‍රේක්‍ෂකයන් අතර ජනප්‍රිය වූ මෙම නවතාවය රජයේ චිත්‍රපට ආයතනය හා රූපවාහිනිය එකතු කරමින් දිගින් දිගටම ගෙන යන්නට ඔහු සමත්විය’ ‘දොස්තර හොඳ හිත’ මෙරට හඬකවා විකාශය කළ මුල්ම වැඩසටහන් පෙළ වේ. තොටවත්තයන් ඉංග්‍රීසිය ඒ ආකාරයට ම සිංහලයට පෙරළීම සිදු නොකළේය. ඉංග්‍රීසිය සිංහලයට පෙරළා අමු අමුවේම දැමීම හඬකැවීමක් නොවන බව පහදා දුන් ඔහු මුල් පිටපතෙහි කතාවද රූප ද අපරටට ගැළපෙන සේ යළි සකසමින් මෙරටට ආවේනික ඔවදන් යොදමින් එම වැඩසටහන්වල හඬ පමණක් නොව අර්ථය ද ශක්තිමත් කළේය. ‘දොස්තර හොඳ හිත’ යනු ඉංග්‍රීසියෙන් Dr. Doolittle යන්නට භාවිත කළ වදනය’ ඔහුගේ එදිරිවාදිකරු ‘දිය රකුස්’ විය’ වාදක කණ්ඩායම ‘ළා තණකොළ පෙත්තාස්’ විය’ එහි අඩංගු ගීතවල අරුත්වලින් ද ප්‍රේක්‍ෂකයාට අපේම බව ඇති කරන්නට තොටවත්තයන් සමත්විය.

‘අඩි ගාණක් වළක් කපල අඩි ගාණක් අනුන් හෙළල
අඩියක් වත් ඉහළ යන්න උඹට බෑ පුතේ’
‘දේසේ හැටියට වාසේ කළොත් නේද සන්තෝසේ’
‘බැහැයි කියලා බැහැයි කියලා බෑ’

එවැනි අරුත්වලට නිදසුන් කිහිපයකි.

ඉංග්‍රීසි බසින් ගෙන්වූ බග්ස් බනී (Bugs Bunny) මෙහිදී “හා හා හරි හාවා, බවට පත්විය” ඒ සඳහා තොටවත්තයන් පාදක කරගත්තේ කුමාරතුංගයන්ගේ පද්‍ය පන්තියක ඇති නාමයකි. මේ ආකාරයට හඬකැවීම්වල දී ඉංග්‍රීසි – සිංහල පෙරළියකට වඩා වැඩි යමක් ඇති බව තොටවත්තයන් රටටම පැහැදිලි කළේය. මෙලෙස හඬකැවීම් කටයුතුවල නිරත වන අතරම සිය සිනමා හා ටෙලිනාට්‍ය පිළිබඳ දැනුම එක්තැන් කරමින් ටෙලිනාට්‍ය ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමටද තොටවත්තයන් හට හැකි විය. ඒ 1986 පෙබරවාරි 04 දින විකාශනය වූ ‘වැටත් නියරත්’ ටෙලි නාට්‍යයෙනි. එය මෙරට ප්‍රථම සජීවී ටෙලි නාට්‍යයයි. සජීවී ලෙස පැය භාගයක ටෙලි නාට්‍යයක් අධ්‍යක්‍ෂණය කරමින් ඔහු මෙරට රූපවාහිනී ඉතිහාසය තුළ සුවිශේෂී සලකුණක් තැබුවේය.

ගලිවර් සහ ලිලිපුට්ටෝ

ටයිටස් තොටවත්ත මහතා 1987 දී සිංහල උපසිරැසි යෙදීමෙන් ප්‍රේක්‍ෂයන්ට භාෂා දෙකකින් වැඩසටහනක් රස විදීමට සැලසුවේය. රොබින්හුඩ්, කුංෆු, මායා බන්ධන වැනි වැඩසටහන් ඒ සඳහා නිදසුන් වශයෙන් දැක්විය හැක.

ඉන් අනතුරුව හඬකැවීම් විෂයයේ පරාසය පුළුල් කරමින් හඬකැවීම හා උපසිරැසි යෙදීම යන ශිල්ප ක්‍රම දෙකම එකතු කොට 1989 දී එකම වැඩසටහනක් භාෂා තුනකින් ඉදිරිපත් කිරීමට තොටවත්තයන්ට හැකි විය. එය ‘පුංචි ඇත් පැටවා’ (Little Elephant) නම් ජපන් කතාවය. මෙම වැඩසටහන සිංහලින් දෙබස් නංවා ඉංග්‍රීසි සහ දෙමළ උපසිරැසිවලින් යුතුව විකාශය කරනු ලැබීය.

රූපවාහිනියට තොටවත්තයන් අතින් සිදුවූ විශාලතම සේවය නම් එතුමා නිමැයූ නව හඬකැවීමේ මැදිරියයි. රජයේ චිත්‍රපට ආයතනයේ මි. මී.16 චිත්‍රපට මගින් එතෙක් කටයුතු කළ හඬකැවීමේ අංශයට නවීනතම වීඩියෝ හඬකැවීමේ මැදිරියක් ලැබීම එම විෂයය පුළුල් කරලීමට හේතුවුණි. මෙහි කිව් ලොක් සිස්ටම් (Q Lock System) යටතේ මුලින්ම දෙබස් කැවූ වැඩසටහන ‘මල්ගුඩි දවසේ වීරයා’ (Hero) වැඩසටහනයි’ කාටූන් සහ විදෙස් චිත්‍රපට සිංහලට පරිවර්තනය කිරීමට අමතරව මපට් වැඩසටහන් ද තොටවත්තයන් විසින් රූපවාහිනිය තුළින් ඉදිරිපත් කළේය.

ඔහුගේ ‘රසාර’ වැඩසටහන කුඩා ළමුන් අතර ඉතාමත් ජනප්‍රියත්වයට පත් විය. මේ ආකාරයට රූපවාහිනිය ආරම්භ කළ කාලයේ පටන්ම අලුත් වැඩසටහන් ඉදිරිපත් කරමින් ටයිටස් තොටවත්තයන් රූපවාහිනී මාධ්‍ය කලාව නව මගකට යොමු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment