සිනමාවේ හරියට දෙයක් කළොත් ටෙලිනාට්‍යය කරන්න කාලයක් එන්නෙ නෑ – ජනිත් වික්‍රමගේ

198

“අපි නිර්මාණයක් කරලා ඒ නිර්මාණය සාර්ථකයි කියලා අපිම කියලා හොඳ මාර්කට් එකක් දෙනවට වඩා ප්‍රේක්ෂකයින්ම වටිනාකමක් ලබා දීලා එය ඔප්පු කරන එක තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ. ඉතිං මේ වන විට එය ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා මගේ රංගන දායකත්වය ගේම් සිනමාපටයට ලබා දීමට හැකිවීම පිළිබඳව බොහොම සතුටෙන් ඉන්නෙ.” මෙසේ කියන්නේ ජනිත් වික්‍රමගේ.

ඔබ මෙම චිත්‍රපටයේ රංගනයේ යෙදෙන්නේ ලාංකීය සිනමාවේ දැවැන්තයෙක් වන රන්ජන් රාමනායකත් සමඟයි. ඒක ලොකු අභියෝගයක් වුණාද?

අනේ, මුලින්ම කියන්න ඕනේ ඔහු ඉතාම නිහතමානී නළුවෙක්. ඇත්තටම ඉහළ සහයෝගයක් ලබා දුන්නා මට. මම මේ චිත්‍රපටය භාරගන්නකොට අධ්‍යක්ෂක සුරංග අයියගෙන් අහපු එකම දේ තමයි රංගන ශිල්පිනිය කවුරු උනත් කමක් නැහැ අයියේ කවුද මේක එහා පැත්තේ ඉන්න රංගන ශිල්පියා කියලා. ඒත් එක්ක තමයි මම නිර්මාණය කරනවද නැද්ද කියලා තීරණය කරන්න හිටියේ. ඇත්තටම ඊට හේතුව තමයි අපි කලා ක්ෂේත්‍රය තුළ කතා බහ කරමින් ඉන්න සහෝදරයෝ රූගතකිරීම් ආරම්භ වුණායින් පස්සේ බොහොම වැරදි විදියට තමයි හැසිරෙන්නේ. ඒ කියන්නේ අපි පිටත කොච්චර ලොකු තනතුරු දැරුවත් පිටපතක් ලැබුණම ඒ පිටපතට අනුව එහි නියමිත සීමාව ඉක්මවා යන්න අපට බැහැ. නමුත් ඇතැම් වෙලාවට ඇතැම් නළුවෝ නිර්මාණය පිළිබඳව හිතන්නේ නැතුව තමන් ගැන පමණයි හිතන්නේ සහ ඔවුන්ගෙන් ලැබෙන සහයෝගයත් අඩුයි. නමුත් රන්ජන් රාමනායක කියන්නේ බලය උපරිමයෙන්ම පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක්. ඔහු ඒ දිනවල හිටපු ඇමැතිවරයෙක් මෙන්ම සිනමාව පැත්තෙන් ගත්තහමත් ලංකාවේ ඉන්න විශිෂ්ටතම තරුවක්. රන්ජන් අයියා කිසිම වෙලාවක ඒ බලපුළුවන්කාරකම් රංගනයේදී අයුතු විදියට භාවිතා කළේ නැහැ. මට ඔහුත් එක්ක හැරෙන්නවත් බැහැ. මට පොඩි චකිතයකුත්, ආසාවකුත් තිබුණා එකට නිර්මාණයක් කරන්න. මම හිතන්නේ ඔහුගේ තරු ගුණය කියන්නෙත් ඔහු ඉතාමත් සූක්ෂමව අනෙක් කෙනාගේ සහයෝගය ලබාගෙන කරන වැඩේ සාර්ථකව ගොඩදාගන්න දන්නවා. ඉතිං ඒකම තමයි මෙම සිනමා පටය නරඹපු ප්‍රේක්ෂකයින් මෙය සාර්ථක නිර්මාණයක් කියන්න තරමට හේතු වුණේ සහ එහි ප්‍රතිඵලය තමයි රන්ජන්ගෙන් මට ලැබුණ සහයෝගය.

සිනමාවේ හරියට දෙයක් කළොත් ටෙලිනාට්‍යය කරන්න කාලයක් එන්නෙ නෑ - ජනිත් වික්‍රමගේ

දැන් ඔබ සිනමාව පැත්තට වැඩි අවධානයක් යොමු කරල තියනවා කියන්නෙ ඇත්තද?

මම මේ දිනවල තවත් චිත්‍රපට දෙකක් සමඟින් කතා කරමින් සිටිනවා. වර්තමානයේ රටේ පවතින ප්‍රශ්නත් එක්ක නිර්මාණවලට යන අය වැය

ගණනය කර ගන්න ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කොහොම වුණත් මට මේ වසරේ චිත්‍රපට දෙකක් තියෙනවා සහ ඒවායේ රූගත කිරීම් කර ගන්න අපහසුතාවයක් තිබුණත් කෙසේ හෝ එකක් හරි අනිවාර්යයෙන්ම කරනවා. ඒ වගේම “ද ගේම්” චිත්‍රපටයේ සාර්ථකත්වයත් එක්ක මේ දිනවල එහි දෙවැනි කොටසක් ගැන කතා කරමින් ඉන්නවා. ටෙලි නාට්‍ය නම් වසර දෙකකින් විතර භාරගත්තේ නැහැ. මොකද මම විශ්වාස කරන දෙයක් තමයි හරියට සිනමා නිර්මාණයක් කළොත් ටෙලි නාට්‍යයක් කරන්න කාලයක් නැති තරම්. බොහෝමයක් දේවල් ඉගෙන ගන්නත් තියෙනවා. අපි ටෙලි නාට්‍යවල ඉන්නව නම් ඇයි ප්‍රේක්ෂකයෝ ප්‍රවේශ පත්‍රයක් මිලදීගෙන චිත්‍රපට ශාලාවකට ඇවිල්ලා සල්ලි වියදම් කරලා බලන්නේ කියන තර්කයේ ඉන්න කෙනෙක් මම. ඕනම නළුවෙක්ගේ අවසාන හීනය සිනමා තාරකාවක් වීමයි. මම ඇත්තටම වැඩියෙන් මහන්සිවෙන්නේ සිනමාව පැත්තට.

ජනිත් ඔබ රට අතහැර යනවා කියන කථාව ඇත්තක්ද?

දැනට එහෙම රට අතහැර යන්න තරම් නම් හේතුවක් නැහැ. හැබැයි එහෙම බැරි කමකුත් නැහැ. මගේ පවුලේ බොහෝ දෙනෙක් ඉන්නේ පිටරට. හැබැයි ඉතිං පිටරට ගිහින් මොන සැප සම්පත් ලැබුණත් අපිට අපේ උපන් රට අමතක කරන්න බැහැ. අපි ජීවත් වුණේ සහ අපිට හුරු පුරුදු මේ රටනේ. අපේ රට එහෙම කරුමක්කාර රටක් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මොනදේ වුණත් අපිට මේ හැම දඬුවමක්ම ලැබෙන්නේ මිනිසුන්ට හැදෙන්න කියලා තමයි මම හිතන්නේ. මම ඉතාමත්ම විශ්වාසයෙන් ඉන්නවා අපේ රට අපි නොහිතන මොහොතක ගොඩ එයි කියලා.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment