සිනමා තිරය ආක්‍රමණය කරයි- ක්ෂීර සාගරය කැළඹූ මහැදුරුගෙන් සිනමාව කැළැඹෙන කතාවක්

888

චිත්‍රපට පෙන්වන්නේ නැතිව හොල්වල ආප්ප කොත්තු විකුණනවා

සමහර හෝල්වල තියෙන්නේ බාර් එක විතරයි

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම සිනමා කෘතිය වන ක්ෂීර සාගරය කැළඹිණ. සිනමා නිර්මාණය ඊයේ (18 වැනිදා) සිට රිද්ම මණ්ඩලයේ සිනමා හල්වල තිරගත කිරීම ආරම්භ කළා. මහාචාර්යවරයාගේ මෙම සිනමා කෘතිය මේ වනවිට තිරගත කරනු ලබන්නේ නව තාක්ෂණය යටතේය. ඉතින් මහාචාර්යතුමා සමග මේ කතාබහ ඒ කාරණාව පිළිබඳවය.

සිනමා තිරය ආක්‍රමණය කරයි- ක්ෂීර සාගරය කැළඹූ මහැදුරුගෙන් සිනමාව කැළැඹෙන කතාවක්

පසුගිය අවුරුදු හතරක කාලය ඇතුළත සිනමා කර්මාන්තයේ බොහෝ වෙනස්කම් ඇති වුණා. ප්‍රධානම වෙනස්කම තමයි සිනමා සංකීර්ණ පහළ වීම, කොළඹ පීවීආර් සිනමාහල් සංකීර්ණය කළම්බු සිටි සෙන්ටර් සිනමාහල් සංකීර්ණය නුවර කැන්ඩි සිටි සෙන්ටර් සිනමාහල් සංකීර්ණය අනුර ජසෙන්තු ලියනගේ ලයිට් සිනමා ශාලා පෙළ මේවා ඉහළම තාක්ෂණය සහිතව ගොඩනැගුණු සිනමාශාලා. මේ හැමතැනකම සිංහල චිත්‍රපටවලට එක සිනමා ශාලාවක් හෝ දෙකක් වෙන් වුණා. ඒවායින් හොඳ ආදායම් වාර්තා පෙන්නුම් කළා. දැන් සිංහල රසිකයාට බොරු කරන්න බැහැ. ඔවුන් කැමැති ප්‍රමිතිගත ප්‍රක්ප්‍රේෂණයක් නරඹන්න. අනික මේ ප්‍රේක්ෂකයන්ගේ ගෙදර ටෙලිවිෂන් එක තියෙනවා. ටෙලිවිෂන් එකේ පැහැදිලි රූප තිබෙනවා. ඒවා තියෙද්දීත් සිනමා ශාලාවලට ගිහිල්ලා නිකන් අඳුරේ ඉඳලා ප්‍රමිතියක් නැති චිත්‍රපට නරඹන්න සූදානමක් නැහැ. ඒක හින්ද නුගේගොඩ, මහරගම සිනමා රසිකයෝ වන් ගෝල්ෆේස් යනවා චිත්‍රපටයක් නරඹන්න.

මේ සිනමා සංකීර්ණ එකක්වත් විජයබා කොල්ලය තිරගත කරන කාලේ තිබුණේ නැහැ. ඒකත් නැතිව තමයි අපි ආදායම් වාර්තා පිහිටෙව්වේ. එතකොට තවත් සිනමාවේ ජයග්‍රහණ රැසක් මේ කාලයේ අත්පත් වෙනවා. ඔය අතරේ අලුතින් සිනමා මණ්ඩලයක් හැදෙනවා CEL සහ LFD කියන දෙක එකතු වෙලා Scope කියලා. මොකද ඒවා දැන් EAP සහ රිද්ම මණ්ඩලය සමග තරගකාරිව ගමන් කරනවා. එම මණ්ඩල කැමැතියි සිංහල චිත්‍රපට තෝරලා තමන්ගේ මණ්ඩලයේ පෙන්වන්න. ඒකත් ජයග්‍රහණයක් හැටියටයි මම දකින්නේ.

තරුණ පිරිසක් කරපු ‘ගජමෑන්’ චිත්‍රපටය සිනමා හල් විසිදෙකක තිරගත කරලා දැවැන්ත ආදායම් වාර්තාවක් තැබුවා. නළු නිළියන් නෑ. අධ්‍යක්ෂවරයා හා නිෂ්පාදකවරයාව කවුරුවත් දන්නෙත් නෑ. නමුත් ඔවුන් ආදායම් වාර්තාවක් තැබුවා. ඒක සිංහල සිනමාව ලබපු ලොකු ජයග්‍රහණයක්. මේ වනවිට මාලක යාපා ඔස්ටේ්‍රලියාවේ සහ නවසීලන්තයේ විධිමත්ව සිංහල චිත්‍රපට පෙන්වීමට පටන් අරගෙන තිබෙනවා. ඒක අපේ රටේ චිත්‍රපට නිෂ්පාදවරුන්ට අමතර ආදායමක්. ලංකාවේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කළාට පස්සේ නිෂ්පාදකවරයාට ලැබෙන්නේ ආදායමෙන් සියයට හතළිස්පහයි. නමුත් මෙහිදී නිෂ්පාදකවරයාට ඍජුව ආදායමක් ලැබෙනවා.

සිනමා තිරය ආක්‍රමණය කරයි- ක්ෂීර සාගරය කැළඹූ මහැදුරුගෙන් සිනමාව කැළැඹෙන කතාවක්

ඇත්තටම චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ ප්‍රසන්න විතානගේ මහත්මයා සභාපතීත්වය දරපු කාලයේ සහ අශෝක හඳගම සභාපතීත්වය දරපු කාලයේ අන්තර් ජාතික චිත්‍රපට උළෙලවල් දෙකක් කළා. හැබැයි එතැනින් පසුව මේ අධ්‍යක්ෂවරුන්ගේ සංසදය සම්පූර්ණයෙන්ම නිද්‍රෝපගත වුණා. ඊට පසුව ජයන්ත චන්ද්‍රසිරිගේ සභාපතීත්වයෙන් නැවත අනුප්‍රාණයක් ලැබුවා. අධ්‍යක්ෂවරුන්ගේ සංසදය පසුගිය කාලයේ දැවැන්ත සිංහල සිනමා උළෙලක් සංවිධානය කළා. එහිදී ලංකාව පුරා තිරගත වුණේ මෙතෙක් තිරගත නොවූ චිත්‍රපටයි. ඒක අතිසාර්ථකයි.

ඊළඟට බන්දුල ඇමැතිතුමා සිනමාව භාරගන්න කොට රැස්වීමක් පැවැත්වූවා. මාත් ඒකට සහභාගි වුණා. ලංකාවේ පළමු වතාවට තමයි චිත්‍රපට නිෂ්පාදකවරයකුට චිත්‍රපට සංස්ථාව භාරදුන්නේ. ඔහු එදා පළමු රැස්වීමේ දීම කිව්වා චිත්‍රපට සංස්ථාව නියාමන මණ්ඩලයක් කළ යුතුයි කියලා. මම ඒ වෙලාවේ කිව්වා ඔබතුමාගේ පාලන කාලයේදී ඒක විතරක් කළත් ඇති කියලා. මොකද මේ සිනමා කර්මාන්තයේ තිබෙන ප්‍රශ්න රාශියකට විසඳුම් තිබෙනවා. මේ සුදු අලියෙක් වුණු චිත්‍රපට සංස්ථාව නියාමනයට ලක් කළොත්. මීට කලිනුත් කිහිප වතාවක්ම ඔය අදහස යෝජනා ලෙස ආවා. පසුව කඩිනමින් ගාමිණී වේරගමගේ සභාපතීත්වයෙන් යුතුව වාර්තාවක් හදලා ඇමැතිතුමාට ඉදිරිපත් කරලා ඔවුන් අනුමත කරලා චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමාත් අනුමත කරලා දැන් ඒක නීති අංශයට ගිහින් තිබෙනවා. ඒ කියන්නෙ මේ නියාමන මණ්ඩල කටයුත්ත හුඟක් ළඟට ඇවිත් තිබෙනවා, ඒක ලොකු ජයග්‍රහණයක්.

වෙනදාට අපි කතා කරන්නේ අඳෝනාවල්මනේ. දැන් මේ මොහොතේ මේ විදිහට කතා කරන්න ලැබීමත් සන්තෝසයට තුඩු දෙන කාරණාවක්.

ප්‍රසන්න විතානගේ පුද්ගලිකව ලබපු ජයග්‍රහණයක් සතුට දනවන කාරණයක්. ඔහු හින්දි චිත්‍රපටයක නිෂ්පාදකවරයා වනවිට මලයාලම් චිත්‍රපටයක අධ්‍යක්ෂවරයාත් වෙනවා. මේ කුඩා කොදෙව්වෙන් කකුලක් එළියට තිබ්බ එකම චිත්‍රපට අධ්‍යක්ෂවරයා විවිධ අය විවිධ දේවල් කිව්වට කවුරුවත් මේ ජයග්‍රහණය ලැබුවේ නැහැ. ඒ හින්ද ඒක දැවැන්ත ජයග්‍රහණයක්.

මේ වාගේ කනගාටුදායක පැති ද නැතුවාම නොවෙයි. ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ වෙඩි නොවදින ළමයි වගේ විශිෂ්ට චිත්‍රපටයක් සති දෙක තුනක් ඇතුළත සිනමාහල්වලින් ගැලවී යෑම ඛේදවාචකයක්. මොකද ඔහු තවදුරටත් හෝගානා පොකුණක් කරන්නේ නැති වෙනස් චිත්‍රපටයක් හැදුවා. අදටත් මේ ළමා කියලා හදන චිත්‍රපට රාශියක තිබෙන්නේ හෝ ගානා පොකුණේ සෙවනැල්ල. තවම ඒ දැවැන්ත හෙවනැල්ලෙන් මිදෙන්න ළමා චිත්‍රපට සිනමාකරුවන්ට බැරි වුණා. නමුත් ඔහු ඒක අතහැරලා වෙනත්ම සංකල්පයකට ගියා. මුළු මහත් සමාජයම බස් එකක් ඇතුළට ගෙන ආවා. ඔහු මුළු සමාජයක් අරගෙන ආවා එක රාත්‍රියක් ඇතුළට ඊට පසුව ඉතාම ගැඹුරු, අනුවේදනීය අපිව කම්පාවට පත්කරන වෘත්තාන්තයක් ඉදිරිපත් කළා. සමහර විට ඒ ඉදිරිපත් කිරීමේ ශෛලියට ප්‍රේක්ෂකයෝ අකැමැති වෙන්න පුළුවන්. ඒක අධි තාත්වික රංගනයක්, නාට්‍යමය ස්වරූපයක්. කොහොම වුණත් මේ අසාර්ථක වීම සිනමාවේ ඛේදවාචකයක්. ඒ ඛේදවාචකයට සම්බන්ධ තව දෙයක් තිබෙනවා.

මේ ඊ සිනමා කියන ව්‍යාධිය රෝගය. මේ රෝගය ආරම්භ වුණේ 2014 වසරේ. ඒකට සාධාරණ හේතුවකුත් තිබුණා. ඒක තමයි දකුණ ඉන්දියානු සිනමා කර්මාන්තය මිලිමීටර් 35 චිත්‍රපට හදන එක නවත්වලා ඩිජිටල්කරණයට ඒම. ලංකාවට දමිළ චිත්‍රපට නැති වුණා. දමිළ මන්ත්‍රීවරු මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කළා නිහාල්සිංහ මහත්තයා ඉන්න කාලේ ඉඳලා සිනමාව ඩිජිටල්කරණය වෙන්න ඕනෑ කියන මතයේ හිටියේ. ඒකේදී අවම ප්‍රමිතිය තමයි 2k, 2k ප්‍රමිතිය තමයි ඩිජිටල්කරණය කරන්න ඕනෑ. ඊට අඩු එකකට යන්න එපා කියලා. හැබැයි හදිසි අවස්ථාවේදී මේ වැඩේ කඩිනමින් කරන්න ඕනෑ හින්දා දකුණු ඉන්දියාවේ හෝල්වලින් ගලවපු ඊ සිනමා මැෂින් ලංකාවට ආවා යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව පැත්තේ මේක ව්‍යාප්ත වුණා. එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා විශාල සාදයක් පවත්වලා ඩිජිටල්කරණය ප්‍රකාශයට පත් කළා. ඒ වෙලාවේ ඇමැතිවරයා වශයෙන් හිටියේ කෙහෙළිය රඹුක්වැල්ල අපි හිතුවේ පහුවදාම සිංහල සිනමාව ඩිජිටල්කරණය සිදුවේවි කියලා. නමුත් ඒක තනිකරම බොරුවක්.

සිනමා තිරය ආක්‍රමණය කරයි- ක්ෂීර සාගරය කැළඹූ මහැදුරුගෙන් සිනමාව කැළැඹෙන කතාවක්

ඔය අතරේ අපේ ව්‍යාපාරිකයෝ හොරෙන් හොරෙන් ඊ සිනමා ගෙන ආවා සිංහල චිත්‍රපට පෙන්වන්න. සමහරු DVD පවා පෙන්වන තත්ත්වයට තාක්ෂණය බැස්සුවා. දැන් හැමතැන්වලම තියෙන්නේ 2k සිනමාව. මෙය හරියට කරනවා නම් ඊ සිනමා නරක නැහැ. ඒකට හොඳම නිදර්ශනය තිබෙනවා කැකිරාවේ EDC කියන සිනමා ශාලාව. හලාවත රමෝගා කියන සිනමා ශාලාව. මේ වායේ ඊ සිනමා ශාලාව ඉතාම හොඳයි. අපි අපේ කණ්ඩායම් රිද්ම මණ්ඩලයේ ඊ සිනමා හල් චෙක් කරන්න රවුමේ යැව්වා. අපේ අය වාර්තාවක් දුන්නා සිනමාහල් හතක පේන්නේම නැහැ කියලා. දහවල් දර්ශන රාශියක චිත්‍රපට පේන්නේ නැහැ. කළු පාටයි සමහර සිනමාහල්වල තිරය පිරිසිදු කරලා නැහැ අවුරුදු දහයකින්. සමහර හෝල්වල පවත්වාගෙන යන්නේ බාර් එක විතරයි. කොත්තු ආප්ප විකුණනවා. අරක්කු බොන්න දෙනවා සිනමා ශාලා වේළෙනවා. ඇත්තටම සිනමාහල්වලට බාර් ලයිසන් දුන්නේ සිනමා කර්මාන්තය නඟා සිටුවන්න. අද ඒක සිනමාහල් හිමියෝ අවභාවිත කරනවා. සිනමා හල්වල අඩුම වශයෙන් ටිකට් 15, 20 ක් බොරුවට හරි කඩනවා නම් කමක් නැහැ. අඩුම වශයෙන් එක දර්ශන වාරයකට ටිකට් පහළොවක් හරි කඩනවා නම් මේක ඉවසන්න පුළුවන්. සමහර සිනමාශාලා සතියකටවත් අතුගාලා නැහැ. ඉතින් මෙහෙම සිනමා හල්වලට මිනිස්සු යයිද?

ග්‍රාමීය සිනමා ශාලා දුවන්න බැහැ. සිංහල චිත්‍රපටයක් නැතිව. එතකොට චිත්‍රපට ඕනෑ නැති නම් හෝල් වහන්න වෙනවා. ඊ සිනමා හල්වල ගොඩක් වෙලාවට තිබෙන්නේ බල්බ් එකේ ප්‍රශ්නය. ඒවායේ ආයු කාලය පැය දෙදහසයි පැය දාහක් විතර දිව්වට පස්සේ මේක අඩු වෙන්න පටන් ගන්නවා. කණාමැදිරියක එළියක් තියෙන්නේ. ඉතින් ඒක සෑදිය යුතුමයි.

● දිනේෂ් විතාන

සිනමා තිරය ආක්‍රමණය කරයි- ක්ෂීර සාගරය කැළඹූ මහැදුරුගෙන් සිනමාව කැළැඹෙන කතාවක්

advertistmentadvertistment
advertistmentadvertistment