සිනමා නිර්මාණයකට පසුතලය ඉතාමත් වැදගත්

235

යුගයේ ජනප්‍රියම සිනමා අධ්‍යක්ෂවරුන්ගේ නාමාවලිය පිරික්සන කල ප්‍රියන්ත කොළඹගේට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්ය. ආදරණීය කතාවක්, සකූගේ කතාව ඇතුළු ජනප්‍රිය සිනමා හා ටෙලිනාට්‍ය නිර්මාණ රැසක් මෙරට ප්‍රේක්ෂකයන් වෙත හඳුන්වා දුන් ඔහු බෙහෙවින් ජනප්‍රිය වන්නේ සිනමාවට ලැදි මෙරට තරුණ තරුණියන් අතරය. ඔහු විසින් අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණය ‘මන්දාරා. නමින් ඉදිරියේදී තිරගත වීමට නියමිතය.

මෙවර My Favourite Location විශේෂාංගය වෙන්වන්නේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මෙන්ම රුපවාහිනී වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවකු වන ප්‍රියන්ත කොළඹගේ සිය නිර්මාණ චාරිකාව අතරතුර දුටු මෙරට ලස්සන පිළිබඳ කතාබහක් පිණිසය.

සිනමා නිර්මාණයකට පසුතලය ඉතාමත් වැදගත්
ප්‍රියන්ත කොළඹගේ

ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙස ඔබ විසින් නිර්මාණය කළ චිත්‍රපට පිණිස හොඳම පසුබිම් දර්ශන තල දැකගන්න ලැබෙන්නෙ කුමන ප්‍රදේශයේදී ද?

ඔබේ ප්‍රශ්නයට එක එල්ලේ ලබාදෙන පිළිතුරක් ලෙස එක පළාතක්, ගමක් එහෙමත් නැත්නම් ස්ථානයක් නම් කළොත් ඒක අපේ රටේ අනිකුත් ප්‍රදේශවලට කරන අසාධාරණයක් වෙනවා. මොකද ඒ තරමට සුන්දරත්වය පිරුණු ස්ථාන අපේ රටේ සෑම ප්‍රදේශයකදීම දැක ගන්න ලැබෙනවා. එම සුන්දරත්වය මා විසින් දැක තිබෙනවා. එම නිසා පළමුව ලංකාවම දර්ශන තලයක් ලෙස නම් කරන්න මා කැමතියි. ඒ අතරින් සිනමා නිර්මාණකරුවෙක් ලෙස විශේෂ ස්ථානයක් නම් කරන්න කිව්වොත් ඒ සඳහා පිළිතුරක් ලෙස බළංගොඩ බෙලිහුල්ඔයට ඉහළින් ඇති කඳු සහිත උස් තැනිතලාව නම් කරන්න පුළුවන්.

එම ස්ථානයේ දකින්නට ලැබෙන විශේෂත්වය කුමක්ද?

මා විසින් අධ්‍යක්ෂණය කළ “ආදරණීය කතාවක්” සිනමා පටයේ රූගත කිරීම් රැසක් මේ ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් සිද්ධ කළා. එතැනදී මම දැක්ක විශේෂම දෙය තමයි එම ස්ථානයේ පැවැති ස්වභාවික සෞන්දර්ය ය. උස් කඳු මුදුනක් වුවත් එහි සාරවත් කුඹුරු යායක් දැක ගන්න පුළුවන්. එම කුඹුරු යායට පසුබිම් වන්න වෙන් වෙන්ව උස ගිය පුවක් වැටියක් දර්ශනය වෙනවා. එය ඉතාමත් මනරම් දර්ශනයක්. ඒ වගේම එම ස්ථානයට යන ඕනෑම කෙනෙකුට දකින්නට ලැබෙන තවත් මනරම් දර්ශනයක් තමයි දෙතනගල කඳු පන්තිය ඇතුළු තවත් අවශේෂ කඳු පන්ති කීපය. ‘ආදරණීය කතාවක්’ සිනමා පටය නැරඹූ රසික ප්‍රජාව ගේ ඇස සෞන්දර්යාත්මකව සුවපත් කරන්න ඒ දර්ශන තලයට හැකියාව ලැබුණ කියලා මම විශ්වාස කරනවා.

සිනමා නිර්මාණයකට පසුතලය ඉතාමත් වැදගත්

එවැනි තැනක රූගත කිරීමක් කියන්නෙ තරමක් අසිරු කටයුත්තක් නේද?

යම් සිනමා නිර්මාණයක් සාර්ථකව නිම කරන ඕනෑම සිනමාකරුවකුට ඒ අසීරු තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙනවා. මොකද සිනමා නිර්මාණයකදී පසුතලය කියන්නේ ඉතාමත් වැදගත් සාධකයක්. ඇත්තට ම ඒ ස්ථානය මුල්කර ගනිමින් කරන ලද රූගත කිරීම් අතරතුර මා ඇතුළු අපේ නිෂ්පාදන කණ්ඩායමට ඒ අසීරුතා ආදියට මුහුණ දීමට සිද්ධ වුණා. විශේෂයෙන් සුළඟ විසින් අපට යම් යම් හිරිහැර සිදු කළා. මොකද ඒ ස්ථානය කියන්නෙ අධික සුළං සැරක් සහිත ප්‍රදේශයක්. එම නිසා ආලෝකකරණය ආදී කටයුතුවලදී විවිධ අපහසුකම් ආදිය ඇතිවීම කිසිවකුට නතර කරන්න බැරි වුණා. නමුත් අපි ඒ හැම දෙයක්ම ජයගෙන සාර්ථක රූගත කිරීමකින් අනතුරුව තමයි අප එම ස්ථානයෙන් පිටත් වෙන්නෙ.

ඔබගේ වෙනත් සිනමා නිර්මාණ රූගත කිරීම පිණිසත් ඒ ස්ථානය පසුබිම් කර ගත්තද?

“සකූ ගේ කතාව” සිනමා නිර්මාණයේ ඇතැම් දර්ශන මම ඉහත සඳහන් කළ ස්ථානයට තරමක් පහළින් පිහිටි වෙනත් ස්ථානයකදී රූගත කළා. එම ස්ථානයත් කඳු සහිත හරිම ලස්සන ස්ථානයක්. නන්පේරියල් වත්ත නමින් තමයි එම ප්‍රදේශය හඳුන්වන්නෙ. ඒ ස්ථානයේ දකින්නට ලැබෙන විශේෂත්වය වෙන්නෙ මිනිස් අතින් නිර්මාණය වූ නාන තටාකයකට සමාන එනමුත් ස්වභාවිකව ඇති වූ දිය පිරුණ ස්ථානයක් දකින්නට ලැබීමයි. මම ආරම්භයේදීම සඳහන් කළ පරිදි මගේ නිර්මාණ සඳහා පසුතලය සැපයූ තවත් සුන්දර ස්ථාන කීපයක් මේ වෙලාවෙ සිහිපත් වෙනවා. ඉදිරියේදී ප්‍රදර්ශනය වීමට නියමිත මන්දාරා සිනමා පටයේ අවසන් දර්ශනය රූගත කළ බදුල්ල දිස්ත්‍රික්කයේ ඉදල්ගස්හින්න කියන්නෙත් එහෙම තැනක්.

සිනමා නිර්මාණයකට පසුතලය ඉතාමත් වැදගත්

චිත්‍රපට අධ්‍යක්ෂවරයකුට අමතරව රූපවාහිනි වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙක් ලෙස ඔබ මෙරට සුන්දරත්වය දකින්නෙ කොහොමද?

රූපවාහිනි වෙළෙඳ දැන්වීම් දහසකට අධික ප්‍රමාණයක් නිර්මාණය කළ නිර්මාණකරුවකු ලෙස අපේ රටේ ලස්සන අප්‍රමානව දැකගන්න මට අවස්ථාව හිමි වෙනවා. ඒ නිසයි මම මුලදීම සඳහන් කළේ ලංකාව කියන්නෙ මුළුමනින්ම දර්ශන තලයක් කියලා. ඇත්තට ම අපේ රටේ ජනතාවට තවමත් උතුරු ප්‍රදේශයේ සුන්දරත්වය දකින්න ලැබෙන්නෙ තරමක් අඩුවෙන් කියලා මම විශ්වාස කරනවා. රූපවාහිනී වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙක් ලෙස මට අවස්ථා කීපයකදීම උතුරේ ලස්සන දැකගන්න ලැබෙනවා. ඒ වගේම එවැනි ස්ථාන ගුවනේ සිට දැක ගැනීමේ භාග්‍යයක් මට හිමිවෙනවා.

ගුවනේ සිට මෙරට සුන්දරත්වය දැකගත් සහ සිත්සේ උකහා ගත් නිර්මාණකරුවෙක් සේ ඒ පිළිබඳවත් යමක් සඳහන් කරනවා නම්…

ඇත්තට ම එය වචනයට නැඟිය නොහැකි සුන්දරත්වයක් කියලා මුලින්ම සඳහන් කර සිටින්න ඕන. ඒ සුන්දරත්වය හේතුවෙන් මා වශීකෘත වූ එක් අවස්ථාවක් ලෙස ගුවන් හමුදාවෙ 50 වැනි සංවත්සරය පිණිස චිත්‍රපටයක් නිර්මාණය කරන්න මට අවස්ථාව හිමි වෙනවා. හෙලිකොප්ටර් යානයක සිට ඉර උදාව රූගත කරන දර්ශනයකුත් ඊට ඇතුළත් වෙනවා. මේ කටයුත්ත පිණිස දිනක් අපි ගුවන්ගත වෙනවා. වෙලාව උදෑසන 6.40ට පමණ ඇති ශ්‍රීපාද කන්දට ඉහළින් අපි ගමන් ගත් හෙලිකොප්ටර් යානයේ සිට ඒ දර්ශනය රූගත කරන්නෙ. ඇත්තට ම රූගත කිරීම පැත්තකින් තබල ඒ දර්ශනය සිත් සේ රසවිඳින්න පුළුවන් නම් ඒක මොන තරම් භාග්‍යයක් ද කියලා හිතුණා. ඒ දර්ශනය ඒ එතරම් මනස්කාන්තයි. ගුවන් යානයක සිට සීගිරිය හා ඒ අවට නරඹන විටත් අපේ රටේ තවත් සුන්දර දර්ශන කීපයක් දැක ගන්න පුළුවන්.

රුවන් ජයවර්ධන

සිනමා නිර්මාණයකට පසුතලය ඉතාමත් වැදගත්
advertistmentadvertistment
advertistmentadvertistment