සිපෙට්කෝ සිරවෙද්දී IOC මුදාගනී: ඒත් ඉල්ලුමට සැපයීම අභියෝගයක්

405

දින විසි දෙකක් තිස්සේ එකදු ඉන්ධන නෞකාවක්වත් මෙරටට ගෙන්වා ගැනීමට සංස්ථාව අසමත්වීම නිසා රටේ කටයුතු සම්පූර්ණයෙන්ම නතරවී යෑමේ අවදානම මතුව තිබියදී ලංකා ඉන්දියානු තෙල් සමාගම (එල්.අයි.ඕ.සී) පෙට්‍රල් හා ඩීසල් ගෙනැවිත් සංස්ථාව සතු ඉන්ධනහල් හරහා ඒවා බෙදාහැරීමට තීරණය කර තිබේ.

ලංකා ඉන්දී තෙල් සමාගම මෙම පියවර නොගත්තේ නම් මෙම සතියේ සිට රට සම්පූර්ණයෙන්ම නතරවීමේ අවදානමකට ලක්ව තිබිණි. ඒ අනුව ලබන 13, 15 අතර අයි.ඕ.සී. එක් නැවකුත්, 29-31 අතර දෙවන නැවත්, අගෝස්තු 13, 15 අතර තුන්වැනි නැවත් පැමිණීමට නියමිතය.

ලංකා ඉන්දීය තෙල් සමාගම (අයි.ඕ.සී) සතුව ඉන්ධනහල් 210ක් තිබෙන අතර ඉකුත් කාලයේදී ත්‍රිකුණාමලයට ගෙනා පෙට්‍රල් හා ඩීසල් ලීටර් ලක්‍ෂ 10ක් අයි.ඕ.සී. ඉන්ධනහල් මගින් දිනකට අලෙවි කරනු ලැබීය.

කෙසේ වෙතත් ඉකුත් කැබිනට් මණ්ඩලයේදී ගත් තීරණයකට අනුව තෙල් ගෙන්වා මෙරට බෙදාහැරීමට සමාගම්වලට ලබාදුන් අවසරය මත ඉන්දීය තෙල් සමාගම දැනට සංස්ථාවට අයත් සීපීසී (සිපෙට්කෝ) ඉන්ධන හල් 225ක් මගින් ඉන්ධන බෙදාහැරීමට නියමිතය. මෙටි්‍රක් ටොන් 30,000 බැගින් වන ඩීසල්, පෙට්‍රල් අඩංගු නෞකා තුනට අමතරව ඉදිරියේදීත් ඒ ආකාරයට ඉන්දීය තෙල් සමාගම මෙරටට ඉන්ධන ගෙනැවිත් බෙදාහැරීමේ යම් එකඟතාවකට පැමිණ ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

කෙසේ වෙතත් මේ වනවිට විවිධ ක්‍රම හරහා ඩීසල්, පෙට්‍රල් හා බොරතෙල් නෞකා ඇණවුම් කර තිබෙන බව කීවත් ඒ සඳහා කළ යුතු ගෙවීම්වලට තෙල් සංස්ථාව (සිපෙට්කෝ) සතුව මුදල් නොමැති බැවින් සිපෙට්කෝ ආයතනයට අදාළව ඊළඟ ඉන්ධන නෞකාවක් එන දිනයක් ගැන සිතාගත නොහැකිවී ඇතැයි තෙල් සංස්ථා වෙළෙඳ අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. මේ වනවිට තෙල් සංස්ථාවේ හා තෙල් පිරිපහදු පර්යන්තයේ සේවකයන්ගේ මාසික වැටුප් ගෙවා දෑමීමටවත් සංස්ථාව සතුව රුපියල් සත නොමැති නිසා ඉන්ධන ඇණවුම් සඳහා රුපියල් දෙකෝටි දාහත් ලක්‍ෂයක (217,000) මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලූ බවද හෙතෙම කීය. නමුත් මහා භාණ්ඩාගාරයද එම මුදල් ප්‍රමාණය ලබාදීමට නොහැකි බවට දැනුම් දී ඇතැයි ද ඒ මහතා කීය. මේ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද ඉකුත් 7 වැනිදා තහවුරු කළේය.

මෙරටට මෙතෙක් කලක් ඉන්ධන නෞකා ගෙනා සමාගම් හතක් සඳහා ගෙවිය යුතුව තිබෙන ඩොලර් 800ක මුදල ගෙවාගත නොහැකි නිසා එම සමාගම් ජාත්‍යන්තර වාණිජ්‍ය අධිකරණයට ගොස් නෛතික ක්‍රියාමාර්ග ආරම්භ කර ඇතැයිද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්. ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ආරක්‍ෂක අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු ආයතනවලට ලිපියක් යොමුකරමින් කියා ඇත්තේ අත්‍යවශ්‍ය සේවයේ නිරත සෞඛ්‍ය අංශයට ඉන්ධන ලබාදීම සිකුරාදා (08දා) යළි දන්වන තුරු නතර කර තිබෙන බවයි.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබෙන ඩීසල් සංචිත ප්‍රමාණයද අවසන් අඩියටම සිඳී තිබෙන බවත් දුම්රිය ගමන් වාර සීමාකර වුවත් දුම්රිය කටයුතු කළ හැක්කේ ඉදිරි දින දෙකක කාලයේ පමණකැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා පැවසීය.

මේ අතර ලංගම සේවකයන්ද රාජකාරිවලට ඒමට ඉන්ධන ඉල්ලා වර්ජනයක් දියත් කර තිබිණි. ලංගම බස් රථ ධාවනය සඳහා ඩීසල් සංචිත තිබෙන්නේ දැයි ශ්‍රී ලංගම ප්‍රධාන විධායක නිලධාරි මහේෂ් කුලතිලක මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ අත්‍යාවශ්‍ය සේවා සහ ලංගම සඳහා දිනකට ඩීසල් බවුසර් 80ක් සංස්ථාවෙන් ඉල්ලා තිබෙන බවයි. ඒ අනුව ලංගම සතුව තිබෙන ඩීසල් සංචිතය කොපමණදැයි කිව නොහැකි බවත් දැනට ඒ ඒ ඩිපෝව සතු ඩීසල් මගින් බස් ධාවනය කරවන බවද ඒ මහතා කීය.

ඉදිරි දෙසතිය තුළවත් පෙට්‍රල්, ඩීසල් නොලැබුණහොත් රටේ කටයුතු සම්පූර්ණයෙන්ම නතර වනු ඇතැයි අත්‍යවශ්‍ය ආයතනවල ප්‍රධානීන් පැවසූහ. සාමාන්‍ය දිනක ඩීසල් ඉල්ලුම මෙටි්‍රක් ටොන් 5000ක් වූ අතර පෙට්‍රල් ඉල්ලුම මෙටි්‍රක් ටොන් 4500කි. වත්මන් තත්ත්වය හමුවේ දිනක ඩීසල් ඉල්ලුම මෙටි්‍රක් ටොන් 20,000ක්, පෙට්‍රල් ඉල්ලුම මෙටි්‍රක් ටොන් 8000ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව මෙටි්‍රක් ටොන් 37,500 බැගින් පෙට්‍රල් හා ඩීසල් අඩංගු නෞකා දෙකක් එකවර ගෙනාවත් රටේ සාමාන්‍ය කටයුතුවලට එය සෑහෙන්නේ දින කිහිපයකට පමණකැයි තෙල් සංස්ථා නිලධාරීහු කියා සිටියහ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment