සියඹලාණ්ඩුව රෝහල  වසා දමයි

193

සියඹලාණ්ඩුව මූලික රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු අනෙකුත් සේවකයන්ට සේවයට පැමිණීමට ඔවුන්ගේ වාහනවලට ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම නිසා සේවක සේවිකාවන් සේවයට වාර්තා නොකිරීමෙන් රෝහල ඊයේ (26 දා) සිට තවකාලික වසා දැමීමට සිදුවී ඇත.

සියඹලාණ්ඩුව රෝහල  වසා දමයි

වාට්ටු හයකින් යුත් මෙම රෝහලේ රෝගීන් අසූපස් දෙනෙකු පමණ නේවාසිකව ප්‍රතිකාර ලබති. ඊට අමතරව දිනකට රෝගීන් තුන්සීයක් පමණ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගනු ලබයි.

වෛද්‍යවරුන් දහතුන් දෙනකු, හෙද හෙදියන් හතළිස්තුන් දෙනෙකු ඇතුළු විවිධ වෘත්තීන්ට අයත් සේවක සේවිකාවන් 151 දෙනකු පමණ රෝහලේ සේවය කරති.

ඔවුන්ගෙන් සියයට අනූවක් පමණ සේවයට පැමිණෙන්නේ ත්‍රීවීල්, මෝටර් රථ සහ යතුරුපැදිවලිනි. ඔවුන්ට ඉන්ධන ලබාගැනීමට නොහැකිවීම නිසා සේවයට වාර්තාකර නොමැත.

මේ පිළිබඳව සියඹලාණ්ඩුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී නඳුන් ගුණතිලක මහතා පැවසුවේ,

“ඉන්ධන නොමැතිවීම නිසා වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු විශාල සේවක සේවිකාවන් පිරිසක් සේවයට වාර්තා කරන්නේ නෑ. සෞඛ්‍ය සේවයේ නිලධාරීන්ට අවශ්‍ය ඉන්ධන සපයන ලෙස සියඹලාණ්ඩුව නගරයේ පිහිටි ඉන්ධන හල්වලින් ඉල්ලීමක් කළත් එය ඉටුනොවීම නිසා මෙසේ රෝහල වසා දැමීමට සිදුවුණා. ආයතනයේ ප්‍රධානියා ලෙස තමාටද ඉන්ධන සපයා  ගැනීමට නොහැකි වූ නිසා සේවයට වාර්තා කරන්න බැරිවුණා” යැයි සඳහන් කළේය.

එහෙත් වෛද්‍යවරුන් කිහිපදෙනෙකු සහ සේවකයන් සුළු පිරිසක් හදිසි රෝගීන්ට ප්‍රතිකාර කිරීම සිදු කරන බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක


ගාල්ලේ වෛද්‍යවරුන් හෙට සිට අත්‍යවශ්‍ය සේවාවල පමණයි

සෞඛ්‍ය සේවාවට ඉන්ධන නිකුත් කිරීම ගාල්ල දිස්ත්‍රික්කයේ අවිධිමත් ලෙස ක්‍රියාත්මක වීම හේතුවෙන් සෞඛ්‍ය සේවාවේ බොහෝ දෙනකුට ඉන්ධන ලබා ගැනීමට නොහැකිවීම නිසා ගාලු දිස්ත්‍රික්කයේ සියලුම රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල හදිසි සේවා හැර අනෙක් සියලුම සාමාන්‍ය සේවාවන් හෙට (28 දා) සිට පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ගාල්ල ශාඛාව පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ගාල්ල ශාඛාව ඉකුත් සෙනසුරාදා (25 දා) රැස්වීමෙන් පසු ගන්නා ලද තීරණයක් අනුව දකුණු පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක් යවමින් කියා සිටින්නේ, තම සංගමය කරන ලද ඉල්ලීමක් අනුව දිවයින පුරා තෝරාගත් පිරවුම්හල් සීමිත සංඛ්‍යාවකින් සිකුරාදා දිනවල වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඉන්ධන නිකුත් කිරීමට දැනුවත් කර තිබූ බවය. එහෙත් ගාල්ල දිස්ත්‍රික්කයේ එසේ නම්කරන ලද ඉන්ධන පිරවුම්හල්වල තමන්ට ඉන්ධන ලබා ගන්න පැය 24ක කාලයක් පෝලිමේ සිටීමට සිදුවූ බවත් එම ලිපියේ සඳහන් වේ.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහ සෞඛ්‍ය පරිපාලනයේ දුර්වල අසංවිධිත වැඩපිළිවෙළ නිසා ගාල්ලේ නම් කරන ලද ඉන්ධන පිරවුම්හල් හතරෙන් ඉකුත් සිකුරාදා සෞඛ්‍ය සේවාවේ සියයට විස්සකටවත් ඉන්ධන ලබා ගැනීමට නොහැකිවූ බවය.

රටේ අහිංසක රෝගීන්ගේ ජීවිත රැක ගැනීම සඳහා වන පරිශ්‍රමය දියකර හැරීමට හිතා මතා කටයුතු කිරීම තම සංගමය දැඩිව හෙළාදකින බවත්, මෙවන් තත්ත්වයක් යටතේ වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලවලට තම සේවාවන් පවත්වා ගෙන යෑමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවත් එහි සඳහන් වේ.

ඒ නිසා හෙට (28 දා) සිට කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම රෝහලවල සහ සෞඛ්‍ය ආයතනවල හදිසි සේවා පමණක් පවත්වාගෙන යෑමට කටයුතු කරන අතර අනෙකුත් සාමාන්‍ය සේවා පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවද ආණ්ඩුකාරවරයාට යවන ලද ලිපියේ සඳහන් වේ.

අහංගම – සුගතපාල දියගහගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment