සියයට 22 කින් බස් ගාස්තු නගී: අවම ගාස්තුව රු. 40 යි

383

බස් ගාස්තු සංශෝධනයට අදාළ ජාතික ප්‍රතිපත්තිය අනුව ඊයේ (30දා) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 22 කින් බස් ගාස්තු වැඩි කෙරෙන අතර අවම බස් ගාස්තුව රුපියල් 40කි.

බස් ගාස්තු ඉහළ දැමීම ඉන්ධන මිල වැඩිවීම ඇතුළු නිර්ණායකයන් 12ක් සලකා බලා ක්‍රියාත්මක කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ලංකා ගමනාගමන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩෝ මහතා පැවසීය.

වාර්ෂික බස් ගාස්තු වැඩි කිරීම ජුලි 01දා සිදු කළ යුතු අතර මෙම වැඩි කිරීමත් සමග මෙම වසර (2022) තුළ ගාස්තු වැඩි කළ හතර වැනි අවස්ථාව මෙය වේ. ඒ අනුව සාමාන්‍ය සේවා ගාස්තු අවස්ථා 350 කට අදාළව මෙන්ම අන්තර් පළාත් සහ අධිවේගී මාර්ගවල ද ගාස්තු ඉහළ නගී.

මෙහිදී අන්තර් පළාත් වැඩිවීමට අනුව කොළඹ – මහනුවර නව ගාස්තුව රුපියල් 558ක් වන අතර, කොළඹ – මාතර ගාස්තුව රු.712කි. කොළඹ – කුරුණෑගල 450ක්ද, කොළඹ-යාපනය 1722ක්ද වේ. කොළඹ – බදුල්ල රු.1114 ක් වන අතර කොළඹ- ත්‍රිකුණාමලය රු. 1139ක් වේ. බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩෝ මහතා මෙසේ පැවසීය.

“බස් ගාස්තු සංශෝධනයට අදාළ ජාතික ප්‍රතිපත්තිය අනුව සෑම වසරකම ජුලි මස 01දා බස් ගාස්තු සංශෝධනය සිදු වෙනවා. ඒ අනුව අදාළ ගණනය කිරීම සිදු වෙනවා. මෙම වසරේදී අවස්ථා හතරකදී බස් ගාස්තු වැඩිවුණා. ඒ අවස්ථා හතරේදීම වැඩි කිරීමට හේතුව වුණේ ඉන්ධන ගාස්තුව ඉහළ යෑමයි. නමුත් මේ සිදු කෙරෙන වාර්ෂික වැඩි කිරීමට අදාළව ඉන්ධන මිල ඇතුළු නිර්ණායකයන් 12ක් යටතේ අදාළ ගණනය කිරීම් සිදු කළා. අප සමග බස් සංගම් කිහිපයක් මේ පිළිබඳ සාකච්ඡා කළා. එහිදී බස් සංගම් සියයට 30 ක වැඩිවීමක් ඉල්ලා සිටියා. ඇතැම් සංගම් සියයට 20ක් ඉල්ලා සිටියා. අපි කළ ගණනය කිරීමට අදාළව සියයට 32.04 කින් වැඩි විය යුතුයි.

නමුත් පසුගිය අප්‍රේල් මාසයේ බස් ගාස්තු වැඩි කළා. එහිදී ගණනය කිරීම් අනුව වැඩි විය යුතුව තිබුණේ සියයට 24.76යි. නමුත් ඇමැතිවරයාගේ අනුමැතිය යටතේ එවකට පැවති තත්ත්වය අනුව සියයට 35කින් වැඩි කිරීමක් කළා. ඒ අනුව අප්‍රේල් මාසයේ සිදු කළ එම වැඩිපුර වැඩිවීම අඩු කළවිට මෙවර සියයට 21.85 කින් වැඩිවීමක් කළ යුතු වෙනවා. ඒ අනුව එය ආසන්න ගණනයට අනුව සියයට 22කින් වැඩිවීමක් සිදු කෙරෙනවා. මෙම වැඩි කිරීම්වලට අදාළ ලේඛනයක් සිදු කෙරෙනවා.

මෙම වැඩි කිරීම පෞද්ගලික සහ ලංගම බස් රථවලට මෙන්ම අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන බස් රථ සඳහාද අදාළ වේ.

අකිත පෙරේරා, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment