සියයට 50 ඇත්තේ කාටදැයි බලාගන්න වහාම ඡන්දයක් තියන්න

94

සජබ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

ජනාධිපතිවරයා කියන පරිදි කිසිඳු දේශපාලන පක්ෂයකට තනියම සියයට පණහක් ලබාගැනීමට නොහැකි නම් වහාම ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පවත්වන ලෙසට අභියෝග කරන බවත් එවිට 50% ඇත්තේ කාටදැයි පෙනෙනු ඇතැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලය ඊයේ (05දා) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

ජනාධිපතිවරයා දින කිහිපයකට ඉහතදී නුවරඑළියේ පැවති නීතිඥ සමුළුවේදී කළ ප්‍රකාශයේදී මේරටේ නිදහස් මැතිවරණයකට යම් ආකාරයකට බාධාවක් සිදු වුණා කියලා හිතනවා. මොකද ජනාධිපතිවරයා ඒ ඇමතුවේ නීතිඥ සංගමයේ සභාවක. එහි අගවිනිසුරුතුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරතුමන්ලාත් තවත් විශේෂ නීතිය පිළිබඳව කණ්ඩායම්, විද්වතුන් ගණනාවක් සිටින මොහොතක. ඒ මොහොතේ ජනාධිපතිවරයා කළේ ශ්‍රේෂ්ඨාධිකරණය තුළ විභාග වන නඩුවක් පිළිබඳව අදහස් දැක්වීමක් බව අපට හිතෙනවා.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව විපක්ෂයේ පක්ෂ ගණනාවක් මේ වෙන කොට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරලා තිබෙන අවස්ථාවක ඡන්දය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම විභාග වන නඩුවට යම් ආකාරයක බාධාවක් බව අපි හිතනවා. ජනාධිපතිවරයාගේ අදහසට අනුව මැතිවරණ සිතියම හකුලන්නයි කතා කරන්නේ. ඒ වගේම පාර්ලිමේන්තුව තුළ මේ වෙනකොටත් සිටින සියලු‍ම දේශපාලන පක්ෂ වලට 50% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. ඒ විතරක් නෙමෙයි මේ රටේ ප්‍රශ්න ටික විසඳන්න මේ තියෙන කණ්ඩායම් පාර්ලිමේන්තුව තුළත් එකට එකතු වෙලා වැඩ කිරීම හරහා මැතිවරණ නොපැවැත්වීමෙන් ක්‍රියා කරන්න පුළුවන් කියන අදහසක් ඔහුගේ කතාවෙන් අර්ථ නිරූපණය වුණා. ඒ තුළින් අපට පේනවා මේ කතාව හරහා ජනාධිපතිවරයා එක පැත්තකින් සභාවේ අවධානය යොමු කළේ මැතිවරණයක් මේ මොහොතේ රටට අවශ්‍ය නැහැ කියන පණිවිඩය කියන්න.

ඒක ජනාධිපතිවරයාට තීරණය කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. එය මේ රටේ ව්‍යවස්ථාවෙන්ම මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ නීතියේ සඳහන් වෙලා තිබෙනවා. එහෙම නම් එවැනි මැතිවරණයක් කල් දාන්න ඕන නම් ජනමත විචාරණයක් පවත්වා ජනතාවගේ කැමැත්තෙන් කල් දැමීමක් මිස නීතිය වෙනස් කරලා ව්‍යවස්ථාව වෙනස් කරලා අණ පනත් වෙනස් කරල මැතිවරණ කල් දැමීමකින් තොරව පුද්ගලයකුට හෝ කණ්ඩායමකට මැතිවරණය කල් දාන්න කිසිසේත් අයිතියක් නැහැ. එය මහජනතාවට ලබාදී තිබෙන පරමාධිපත්‍යයේ අයිතියක් බවයි අපි විශ්වාස කරන්නේ.එවන් අවස්ථාවක ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් කිරීම හරහා අපට දැනෙනවා යම් ආකාරයක පණිවිඩයක් දෙන්න උත්සාහ කළා එම සභාවේ ඉන්න නීතිඥ මහත්වරුන් ඇතුළු විනිශ්චකාරතුමා කණ්ඩායමට මැතිවරණ නොපවත්වා සිටිනවා කියලා. ඒ පූර්ව මතය ඔවුන්ගේ සිත් තුළට ලබාදීමට තමයි ඒ ප්‍රකාශය කළේ කියලයි අපට

හැඟෙන්නේ. මම හිතනවා එය කිසිසේත් නොකළ යුතු කටයුත්තක්. මොකද මේ සමුළුවේදී නීතිය පිළිබඳව, නීතියේ අඩුපාඩුකම්, නීතිය ශක්තිමත් කිරීම, නීතියේ ආධිපත්‍යය ශක්තිමත්කිරීම පිළිබඳව එවැනි අදහසක් ප්‍රකාශ කරා නම් එය සාමාන්‍ය දෙයක්. හැබැයි මැතිවරණයක් සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙමින් පවතින අවස්ථාවක එවැනි මැතිවරණය පිළිබඳව සඳහන් කිරීමම අපි හිතනවා ඒ තැනට නොගැලපෙන ක්‍රියාවක් කියලා. කොහොම වුණත් ජනාධිනාධිපතිවරයා උත්සාහ කරලා තිබුණේ ඒ පණිවිඩය ලබා දෙන්න.

අපි ජනාධිපතිතුමාට කියනවා යම් ආකාරයකින් කල්පනා කරනවා නම් මේ රටේ සියයට පණහක් කිසිම දේශපාලන පක්ෂයකට තනියම ලබාගන්න බැහැ කියලා අපි අභියෝග කරන්නට ලෑස්තියි. අපේ අභියෝගය ජනාධිපතිවරණයක් පවත්වන්න සූදානම් නම් ඊට නීතිය හරස් වෙනවා නම් ඒ නීතිය වෙනස් කිරීමට අපි සහයෝගය දෙන්නම්. වහාම ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පවත්වන්න. ජනාධිපතිවරයා එකට වැඩ කරන්න කල්පනා කරනවා නම් එතුමාට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා අලු‍ත් ජනමතයක් හරහා අලු‍ත් වැඩපිළිවෙළට අවතීර්ණ වන්න. එහෙම නැත්නම් මේ ආණ්ඩුවයි පාලනයයි දෙකම යල් පැනගිය ආණ්ඩුවක් සහ පාලනයක් වෙනවා.අරගලය හරහා මේ රටේ බහුතරයක් ජනතාව කියපු ප්‍රධානම ප්‍රකාශය තමයි මේ ආණ්ඩුවට ගෙදර යන්න කියලා. විශ්වාසයක් නැති රට බංකොලොත් කරපු මේ කණ්ඩායම එක්ක එකතුවෙලා ආණ්ඩු කරන්න ජනාධිපතිවරයා හෝ කවුරුන් හෝ අපිට ආරාධනා කරනවා නම් ඒක අපිට බාර ගන්න බැහැ. එය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒක ජනමතය නෙමෙයි. ඒනිසා ජනාධිපතිතුමාට මතක් කරන්න කැමතියි ජනමතය පිළිබඳව එතුමා නිගමනවලට එන්න වුවමනාවක් නෑ. වහාම එය විමසා බලන්න පාර්ලිමේන්තු මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් හෝ මේ කල් දමා තිබෙන පළාත් පාලන මැතිවරණය හෝ පළාත් සභා මැතිවරණය පවත්වන්න. අපි කියන්නේ ජනමතය බලාගන්න ඕන නම් මැතිවරණ කල් දාන්නේ ඇයි? ඒක ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්න ඕන. මොකද පළාත් පාලන මැතිවරණය කල් දැම්මේ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි ආණ්ඩුවට දිනන්න බැහැ කියලා සියයට සීයක තිබුණු විශ්වාසය කියන එක කියනවා.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment