සියයට 50 කාටද බලාගන්න පුංචි ඡන්දයට බය නම් ජනාධිපතිවරණය පවත්වන්න- සජිත් ජනපතිට කියයි

83

ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බිය නම් වහාම ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය සහාය විපක්ෂය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) පැවසීය.

එවිට සියයට පනහක් තිබෙන්නේ කුමන දේශපාලන පක්ෂයටදැයි සොයාගත හැකි බවද හෙතෙම කීය. මේ වන විට රටේ කිසිම පක්ෂයකට සියයට පනහක ජන ප්‍රසාදයක් නැතැයි ජනාධිපතිවරයා පසුගිය දිනෙක කළ ප්‍රකාශයකට පිළිතුරු ලෙස සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසූ අතර වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

මේ වන විට මුදල් නැහැ කියා ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දාලා. නමුත් රජයට මුදල් තිබෙන බව පැහැදිලිව ඔප්පු වී තිබෙනවා. රුපියල් මිලියන 10 ක් මැතිවරණය සඳහා වෙන් කරන්න පුළුවන්. එසේ තිබියදී තමයි මැතිවරණ කල් දාලා තිබෙන්නේ. එහෙම කරලා පළාත් පාලන ආයතන සම්බන්ධීකරණය කරන්න දේශපාලන අතකොලු පත් කරන්න ආණ්ඩුව බලය දීලා. ජනාධිපතිතුමා මේ රටේ අධිකරණ පද්ධතිය ආමන්ත්‍රණය කර කියනවා මේ පාර්ලිමේන්තුවේ කිසිම පක්ෂයකට සියයට 50 ක් නෑ කියලා. සියයට 50 ක් තිබෙනවාද කියලා සොයා බලන්න හොඳම ක්‍රමය තමයි මැතිවරණයක් පැවැත්වීම. මම අගමැතිතුමාට කියනවා පළාත් පාලන මැතිවරණය පවත්වන්න බය නම් ගේන්න ජනාධිපතිවරණය. ඒ සඳහා අවශ්‍ය සහාය අපි ලබා දෙන්නම්. නීති වෙනස් කරන්න තුනෙන් දෙක නොවෙයි හයෙන් පහක් දෙන්න අපි කැන්වස් කරන්නම්. ජනාධිපතිවරණය ඉක්මන් කරලා පවත්වන්න. සියයට 50ක් තිබෙනවාද නැද්ද කියලා අපි එතකොට බලා ගනිමු.

ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ට භෝජන සංග්‍රහයක් ලබා දීමට යනවා. ඒක මේ මොහොතේ බොහොම නරක පූර්වාදර්ශයක්. මේක විනිසුරුවරුන් අපහසුතාවට ලක් කිරීමක්. මොකද අධිකරණ තීන්දු රැසක් ලබා දීමට නියමිතව තිබෙන නිසා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment