සියය දෙසීයෙන් බේරේ

447

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර 100 වැනි එක් දින ජාත්‍යන්තර තරගය ලෙස ඕක්ලන්ඩ් හි ඊඩ්න් පාක් ක්‍රීඩාංගණයේ දී පෙරේදා (25 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 198 ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් වූයේය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 274ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා පිතිකරුවෝ සියලු දෙනා ලකුණු 76 කට දැවී ගියහ.

ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය හමුවේ එක් දින තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස මෙම ලකුණු සංඛ්‍යාව සටහන් වූ අතර ශ්‍රී ලංකාව මීට පෙර ක්‍රීඩා කළ අවසන් එක්දින තරගයේ දී ඉන්දියාවට එරෙහිව ලකුණු 73 කට දැවී ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැති 100 වෙනි එක්දින ජාත්‍යන්තර තරගය එය වූ අතර තරග සියයකදී තම 50 වෙනි ජයග්‍රහණය ලබන්නට නවසීලන්තය එදින සමත් විය. ශ්‍රී ලංකාව ඉන් තරග 41 ක් ජයගෙන තිබේ. විසඳුමක් නොමැති තරග අටක් ද ලකුණු සම වූ එක් තරගයක් ද ඒ අතර වේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ සුපර් ලීග් තරග වටය යටතේ ශ්‍රී ලංකාව ලද මෙම පරාජයත් සමඟ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබන 8 වැනි කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකාවට ලබා ගැනීමට තිබූ ප්‍රසාද ලකුණු 10 අහිමිවිය. නවසීලන්ත පිල මෙම ජයග්‍රහණය ලබා ගන්නා ලද්දේ ඔවුන් සතු හොඳම ක්‍රීඩකයන් ඉන්දියාවේ පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලිය නියෝජනය කිරීමට ගොස් සිටින වටපිටාවකදීය.

ශ්‍රී ලංකා කණ්ඩායම දවා ගැනීම සඳහා නවසීලන්ත පන්දු යවන්නන්ට පන්දු වාර 20 ක් වත් වැය නොවුණු අතර සිය සිව්වැනි එක්දින තරගයට සහභාගි වුණු හෙන්රි ශිප්ලි ලකුණු 31 කට කඩුලු 5 ක් සටහන්කර ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවන් තිදෙනකුට පමණක් ලකුණු 10 සීමාව ඉක්මවා යා හැකි වූ අතර ඒ අතරින් දෙදෙනකුම පන්දු යවන්නන් වීම විශේෂත්වයකි. චාමික කරුණාරත්න (11) සහ ළහිරු කුමාර (10) එම පන්දු යවන්නන් බවට පත් වද්දී වසර 2 කට පසු කණ්ඩායමට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 18 ක් ලබා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේය. නවසීලන්ත වේග පන්දු යවන්නන් කෙතරම් හොඳින් පන්දු යැව්වේද කිවහොත් එම කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් කැඳවීමට මත්තෙන්ම ශ්‍රී ලංකා ඉනිම පන්දු වාර 19.5 කදී නිමා කිරීමට ඔවුහු සමත්වූහ.

නුවනිඳු ප්‍රනාන්දුගේ දුවද්දී දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ඇරැඹිණ. කඩුලු අතර දිව යෑමේදී වූ අනවබෝධය හේතුවෙන් නුවනිඳු දුවද්දී දැවී ගිය අතර පසුව පැමිණි කිසිවකුට සාර්ථක කඩුලු සම්බන්ධතා ගොඩනඟා ගැනීමට නොහැකි විය.

කාසියේ වාසිය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුවත්, නවසීලන්ත පිතිකරණ බල ඇණිය මෙල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසමත් විය. වනිඳු හසරංගව දැඩි ප්‍රහාරයකට ලක් කළ නවසීලන්ත පිතිකරුවෝ ඔහුගේ පන්දු වාර 10 දී ලකුණු 67 ක් ලබා ගත්තේ කිසිදු කඩුල්ලක් ලබා නොදෙමිනි. සිව්වැනි වේග පන්දු යවන්නා ලෙසින් කණ්ඩායමට පිවිස සිටි චාමික කරුණාරත්න ලකුණු 43 කට කඩුලු 4 ක් බිඳ දමා සිය එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කර ගැනීමට සමත් වද්දී ළහිරු කුමාර සහ කසුන් රජිත කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

මෙම පරාජයත් සමග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තබා තිබූ බලාපොරොත්තු ද මේ වන විට හැකිළී ගොස් තිබේ. ශ්‍රී ලංකාව ඊළඟ තරග 2 ම ජය ගත්තද දකුණු අප්‍රිකාව සහ අයර්ලන්තය ඉදිරි තරගවලදී ලබන ජය පරාජයන්වලට අනුව ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු රඳා පවතී.

නවසීලන්තය පන්දු වාර 49.3 කදී සියලු දෙනා දැවී ලකුණු 274 යි – (ෆින් ඇලන් 51, චාඩ් බෝව්ස් 14, විල් යංග් 26, ඩැරල් මිචෙල් 47, ග්ලෙන් පිලිප්ස් 39, රෂින් රවීන්ද්‍ර 49, ඉෂ් සෝදි 10, චාමික කරුණාරත්න 43/3, ළහිරු කුමාර 46/2, කසුන් රජිත 38/2)

ශ්‍රී ලංකාව පන්දු වාර 19.5 කදී ලකුණු 76 යි – (ඇන්ජලෝ මැතිව්ස් 18, චාමික කරුණාරත්න 11, ළහිරු කුමාර 10, හෙන්රි ශිප්ලේ 31/5, ඩැරල් මිචෙල් 12/2, බ්ලෙයාර් තික්නර් 20/2

advertistmentadvertistment
advertistmentadvertistment