සියල්කොට් සිද්ධියට සැබෑම හේතුව ආගම්ද?

180

පාකිස්තානයේ සියල්කොට්හිදී ජෝර්ජ් ෆ්ලොයිඞ්ටත් වඩා අමානුෂීය ලෙස ලාංකික ඉංජිනේරුවෙකු ඝාතනය වන විට එයට මූලිකම හේතුව සමස්ත විශ්වීය ආගම් වන්දනය බව අමුණන්නට මේ මොහොත තුළ බොහොමයක් දෙනා සැදී පැහැදී ඇත. එහෙත් වඩා සූක්ෂම ලෙස වටහා ගත යුත්තේ ලොව කිසිදු නිර්මල ආගමක් තවකෙකුගේ ජීවිතයකට තර්ජනයක් නොවන බවයි. ආගමික විශ්වාස සහ ප‍්‍රචණ්ඩත්වය (Violance) කිසිකලෙක සමපාත ප‍්‍රපංචයන් නොවේ. මේ වන විටත් ලොව ආගම් 2000 කට වඩා පවතින අතර ඒවායෙන් පැහැදිලි බහුතරයක් නිරූපණය කරනුයේ මනුෂ්‍යාගේ ලෞකික සහ ලෝකෝත්තර දිශානතියේ හරයාත්මක වෙනසක් වෙනුවෙනි. එහෙත් මෑතකාලීන යුගයේ යම් ආගමික කියාගත්තා වූ ඉගැන්වීම් අනෙකාගේ ජීවිත කෙරෙහි ප‍්‍රශ්න ගත කරවන ඉසව් නිර්මාණය කරනු ලැබීය.

 ඒ මතින් අද වන විට සියල්ලටම ප‍්‍රථම අන්තවාදය (Extremism) යනු කුමක්ද? යන්න නිර්වචනය කර ගත යුතුවම ඇත. යම් කිසි මොහොතක යම් දර්ශනයක නාමයෙන් ඉන් පරිබාහිර මිනිසුන් කෙලෙසන්නට සිතේද? ඒ ඇදහීමෙන් ව්‍යුක්ත සියල්ල වෙනස් කොට බෙදීමක් ජනිතවේද? ඉන් ඔබ්බට අනෙක් ආගම් අදහන සියල්ලෝ ජීවත් වීමට පවා අයිතියක් නැත යනුවෙන් සිතේද? එකී ඕනෑම තැනක බිහිවන්නේ අන්තවාදයකි. එය හුදෙක්ම පටු මූලධර්මවාදී දෘෂ්ටිවාදයකි. එහෙත් ලොව ඕනෑම අන්තවාදී සංසිද්ධියක මුල් අවස්ථාව ආගම් ලෙස අර්ථ දැක්වීම පුහු නිගමනයකි. මන්ද එවැනි ඉගැන්වීම් හුදෙක්ම ආගමක් ලෙස කිසිවිටෙකත් හඳුන්වා දිය නොහැක. නමුත් සැබෑ ආගමක් මනුෂ්‍ය ජීවිතයට දර්ශනයක්, ජීවන විලාසයක් සහ ආලෝකයක් ලබා දෙයි. මිනිසා ක‍්‍රි.පු. 8000 දී පමණ ශිෂ්ටාචාරගත වීමෙන් පසුව ලද අපූර්වතම දායාදයක් ලෙසද ආගම සැලකෙන්නේ එබැවිනි.

 උදාහරණයකට බුදුදහම පිළිබඳව සිතන්න. මෙම සටහන තබන මා ද අද සංකේතමය වශයෙන් සිංහල බෞද්ධයෙකු වන කුලකයට අයත් වෙමි. එහෙත් මා උපතින් ගෙන ආ බෞද්ධකමක් නොමැත. දිනෙක ගෙන යන්නා වූ බෞද්ධකමක් ද නොමැත. මා කළ දේ තුළින්ම මාගේ ආත්මීය විඤ්ඤාණය පමණක් තවත් තැනකට ගමන් කරයි. අනෙක් අතට බුදුන් වහන්සේ විසින් ධර්මය දේශනා කරනු ලැබුවේද බෞද්ධයන් යැයි කියාගත් සුවිශේෂිත කොටසකට නොවේ. එය හුදෙක් පසුකාලීනව වූ සංස්කෘතික විපර්යාසයකි. එය මුළුමනින්ම අල්පේච්ඡුතාව, කර්මය, අනිත්‍ය, අවිද්‍යාව මත පදනම් වූ ලෞකික සහ ලෝකෝත්තර ජීවන දර්ශනයකි. කෙසේ නමුත් මේ හා සිද්ධි වන විට සතුරාටත් මෛත‍්‍රී කළ යුතු බව අවධාරණය  (Emphasize)  කරනු ලබන මෙවන් නිවුණු දහමක පහස ලබන රටක ඉපදීම පිළිබඳව සතුටු නොවී සිටිය නොහැක. මෙවන් ආගම් ලොව දස දහස් ගණනක් ඇති අතර එය මනුෂ්‍ය වර්ගයාගේ සුඛ විහරණය වෙනුවෙන්ම වේ.

 එහෙත් එය ප‍්‍රචණ්ඩත්ව අවියක් කොටගත් පිරිස් යම් අපරාධකාරී දර්ශනයක් අතට ගත් නිසාම නිකරුනේ වටිනා ජීවිතයක් අද මෙලොව හැර ගොසිනි. මෙය පාඩමක් විය යුතුය. එනම් ආගම් ලබ්ධීන් හිතුහැටියේ ඇදහීමේ අයිතිය බොහෝ රටවල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවන් මගින් ව්‍යවස්ථාපිත (Constitutionalized) කර තිබුණද එය අතික‍්‍රමණය කරමින් මේවායේ එක් වගන්තියක් පාසා මහපොළොව මත හැසිරෙන ආකාරය නිරීක්ෂණය කළ යුතුය. ආගම කියූ පමණින් සියල්ල නිවැරදි නොවේ. වැරදි අනන්තවත් තිබෙන්නට පුළුවන. එවැනි එක් සුළු වැරදි ආගමික ඉගැන්වීමක් තුළින් සමාජයක් පුපුරා යා හැක. වර්ෂ 1990 න් මෙපිටට වර්ධනය වන නව ත‍්‍රස්තවාදයේ ස්වරූපය ද එයයි. එනම් එය අරමුණු කරන්නාවූ විශේෂිත භූගෝලීය දේශපාලනයක් නොමැති අතර තම ජාතිය වෙනුවෙන් විමුක්තිය ලැබේ යැයි සිතා කොහේ සිට පුපුරාගෙන ලේ වැගිරීමක් අපේක්ෂා කරයි. වර්ෂ 1991 දී ජපානයේ ටෝකියෝ ප‍්‍රහාරය එහි පළමු ජීවමාන සාක්ෂියයි. පාස්කු ප‍්‍රහාරය ද එවැන්නකි. සහරාන් ද එවැනි කලලයකින් මතුවී ආ අන්තවාදි දර්ශනයක අනුගාමිකයෙකි.

 එම නිසා මියගිය ප‍්‍රියන්ත කුමාර මහතාගේ ජීවිතය නැවත උපැද්දිය නොහැකි වුවද ඉදිරි අනාගතය වෙනුවෙන් යමක් කළ හැක. ලොව සියලූ ආගම් මීටත් වඩා විනිවිදභාවයෙන් (Transparancy) යුක්ත විය යුතුය. රටක යහපැවැත්ම වෙනුවෙන් වඩා සාධනීය ලෙස බොහොමයක් නියාමනය විය යුතුය. මින් ඉදිරියටවත් සෑම රටකම පාහේ රාජ්‍ය මට්ටමෙන් වඩා අවධානයක් දී අන්තවාදය පැහැදිලි ලෙස නිර්වචනය කොට එම කුලකයට අයත් ඉගැන්වීම් සහ හැසිරීම් ක‍්‍රියාකලාප වහ වහා තුරන් කළ යුතුය. සාම්ප‍්‍රදායික නිර්මල බෞද්ධයා යම් දෘෂ්ටිවාදියෙකු වුවද අන්තවාදියෙකු නොවේ. සාම්ප‍්‍රදායික ඉස්ලාමානුවා ද දෘෂ්ටිවාදියෙකු වුවද කිසිවිටෙකත් අන්තවාදියෙකු නොවේ.

 මේ සියල්ලක් මෙවලම් කරගන්නා පමණක් ලොව නොසිටිය යුතු මකා දැමිය යුතු අපරාධ දෘෂ්ටිවාදයක් සහිත අමනුෂ්‍යයකු බව නොරහසකි. දිනෙක ඉටු විය යුතු උත්තරීතර සාධාරණය ද එය තුරන් කොට දැමීම පමණකි.

 සහන් ඇලෙක්සැන්ඩර්
 ජනමාධ්‍ය අධ්‍යනාංශය
 ශ‍්‍රීපාලි මණ්ඩපය
 කොළඹ විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment