සියලුම ජනාධිපතිවරුන්ගේ කාලවලදී බෝම්බ පිපිරුණා මම නිවැරදියි කියලා තීන්දුවේ සඳහන් වෙනවා – මෛත්‍රිපාල සිරිසේන (ශ්‍රීලපොපෙ)

196

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන – පාර්ලිමේන්තුවේදී (17දා)

අද තවමත් ගොවි ජනතාවගේ පොහොර ප්‍රශ්නය විසදී නෑ. කාබනික පොහොර නිසා ගොයම් කහපැහැ ගැන්විලා. මේ ප්‍රශ්නය අස්වැන්නටත් බලපානවා.

මා සම්බන්ධ කරගනිමින් ප්‍රකාශයට පත්කළ පාස්කු නඩු තීන්දුවේ සමහර කරුණු මුල්කරගෙන සමහරු වැරදි ප්‍රචාර කරනවා. සියලුම ජනපතිවරු සිටිය කාලවල බෝම්බ පිපිරුණා. යුද්ධය පැවතියා. ඒ අයට ජාතික ආරක්‍ෂාව පිළිබඳ චෝදනා කරන්න බැහැ. ඒ හැම කෙනෙක්ම කියනවා මාව හිරේ දාන්න ඕන කියලා. 2015 සිට වරින් වර ආරක්‍ෂක මණ්ඩලය කැඳවා තියෙනවා. මට පොලිසිය භාර දුන්නේ අවුරුද්දක කාලයකටයි. මම හොඳ තත්ත්වයකට පොලිසිය ගෙනාවා. මාසයකට වරක් පොලිසිය හා ආරක්‍ෂක මණ්ඩලය කැඳවූවා.

ආරක්‍ෂක මණ්ඩලය කැඳවිය යුතු බවට ගැසට් එක ගැහුවේ චන්ද්‍රිකා ජනපති කාලේ. යුද්ධයෙන් පස්සේ ඒ ගැසට් එක අවලංගු කළත් මම ආරක්‍ෂක මණ්ඩලය කැඳවූවා. යුද්ධය අවසන් වූ පසු එදා හිටපු ජනපති ආරක්‍ෂක මණ්ඩලය මාසයකට වරක්වත් කැඳවූයේ නෑ. මම එහෙම කළේ නැහැ. මසකට වරක් කැඳවා සාකච්ඡා කළා.

2019 අප්‍රේල් 19 වැනිදත් හදිසියේ ප්‍රධානීන් කැඳවූවා. එහිදී කිසිවකු මේ ගැන වාර්තා කළේ නෑ. අධිකරණ තීන්දුවට මම හිස නමනවා. මේ තීන්දුවේ සඳහන් ආකාරයට මට කෝටි 10ක මුදලක් ගෙවීමට සිදුවී ඇත්තේ ජනාධිපති පත් කරන අයෙක් වරදක් කළොත් ජනපති ඊට වගකිව යුතුයි කියලා. මෙය දඩ ගැසීමක් නොවෙයි. වන්දියක් ගෙවන්න මට ආදායමක් නැහැ. මට හිතවත් අයගෙන් මුදල් එකතු කරලා මුදල් හදාගන්න කටයුතු කරනවා. මම වත්කම් ප්‍රකාශ ජනපති කාලයෙත් දුන්නා.

පොලිස්පති ධුරයට පූජිත ජයසුන්දර පත් කළේ ව්‍යවස්ථා සභාවයි. ඒ පත් කිරීමට අත්සන් කළේ මමයි. මුලින්ම මම යැව්වේ එස්. එම්. වික්‍රමසිංහගේ නමයි. පසුව තව අයගේ නම් ඉල්ලුවා. සිසිර මෙන්ඩිස් හා අනිත් අය මගේ අත්සනින් ආපු අය නොවෙයි. හේමසිරි ප්‍රනාන්දු පමණයි ඍජුවම පත් කළේ. එහෙම නොවුණා නම් මාව නිදොස් කොට නිදහස් වෙනවා. වාර්තාව අනුව පාස්කු ප්‍රහාරය ගැන ජනපතිට තොරතුරු ලැබී නැති බව මේ වාර්තාවේ සඳහන් වෙනවා. මම නිවැරදි කෙනෙක් කියලා මේ නඩු තීන්දුවෙන් පේනවා. මගේ අයිතිවාසිකම්වලට කිසිම හානියක් වන්නේ නෑ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment