සියලුම වැවිලි සමාගම්වල ක්‍රියාකාරීත්වය ප්‍රශස්ත නැහැ – කෘෂිකාර්මික හා වතුකරයේ ගැටලු විසඳීමට පියවර ගන්න – ජනපති උපදෙස් දෙයි

139

කෘෂිකාර්මික නවීකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවත්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ගැටලුවලට මෙන්ම වතුකරයේ ජනතාව මුහුණ දී ඇති ගැටලු සඳහා ද කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වැවිලි ප්‍රතිසංස්කරණ කමිටුවේ සාමාජිකයන් සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.

ඉඩම් ගැටලුව ඇතුළු කෘෂිකර්මික ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සහ අභියෝග පිළිබඳ මෙහිදී පුළුල්ව විමසා බැලුණු අතර, දැනට විසඳුම් ලබාදෙමින් තිබෙන මහවැලි ඉඩම් ගැටලුව පිළිබඳව ද අවධානය යොමු විය.

එමෙන්ම වැවිලි සමාගම්වල ක්‍රියාකාරිත්වය පිළිබඳව ද මෙහිදී විමසා බැලිනි. ප්‍රාදේශීය වැවිලිකරුවන් මුහුණදෙන ප්‍රධානම අභියෝගය වන්නේ ඉදිරි වසර 10 හෝ 15 තුළ ඔවුන්ගේ කල් බදු කාල සීමාව අවසන් වීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කෘෂිකාර්මික නවීකරණය සමඟ රජය ඉදිරියට යන්නේ නම් වැවිලි සමාගම් සඳහා අලුතින් කල් බදු පහසුකම ලබාදීමට සිදුවන බව පැවසීය.

කෙසේ වෙතත්, සියලු සමාගම්වල ක්‍රියාකාරිත්වය ප්‍රශස්ත මට්ටමින් සිදු වී නොමැති බැවින් නව කල් බදු ලබාදීම සඳහා පදනමක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැවිලි ප්‍රතිසංස්කරණ කමිටුවේ සාමාජිකයන්ට උපදෙස් දුන්නේය.

වතු සමාගම්වල ක්‍රියාකාරීත්වය තක්සේරු කිරීම සහ නව කල්බදු ලබාදීමේ පදනම තීරණය කිරීම සඳහා 2018 වසරේ සිදු කරන ලද සමීක්ෂණය යාවත්කාලීන කරන ලෙසද ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.

ඉඩම් ලබාදුන් පසු රජයේ අනුමැතියකින් තොරව තම කොටස් විකිණීමට වතු සමාගම්වලට ඉඩ නොතැබිය යුතු බව මෙහිදී සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘෂිකර්මාන්තය, කෘෂි ව්‍යාපාර බවට නවීකරණය කිරීමේ ප්‍රයත්නයේ එක් අංගයක් ලෙස ඉඩම්වල මැණික් ගැරීම හඳුන්වා දීමට රජය සැලසුම් කර ඇති බව ද කියා සිටියේය. මේ සම්බන්ධයෙන් වැවිලි ප්‍රතිසංස්කරණ කමිටුවේ අදහස් විමසීම ද සිදු කරන ලදී.

වතුකරයේ නිවාස ගැටලුව හා තේ, රබර් සහ පොල් කර්මාන්ත ආශ්‍රිතව මතුව ඇති ගැටලු, සම්බන්ධව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

කම්කරුවන් සඳහා ඉඩම් උප කොන්ත්‍රාත් ලබාදෙන නියමු ව්‍යාපෘතියක් පිළිබඳව ද අවධානය යොමු වූ අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සම්බන්ධ ගැටලු කෙරෙහි ද අවධානය යොමු විය.

එමෙන්ම ඉරානයට ශ්‍රී ලංකා තේ අපනයනය වැඩිදියුණු කිරීම පිළිබඳව ද විශේෂ සාකච්ඡාවට බදුන් කෙරිණි.

වැවිලි ප්‍රතිසංස්කරණ කමිටුවේ සභාපති සහ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්. පාස්කරලිංගම් මහතා ඇතුළු කමිටුවේ සෙසු සාමාජිකයන් වන විශ් ගෝවින්දසාමි, ආචාර්ය රොමේෂ් ඩයස් බණ්ඩාරනායක, චරිත රත්වත්තේ, නිරාජ් ද මෙල්, ක්‍රිෂාන්ත පෙරේරා, ලයනල් හේරත්, සංජය හේරත්, වෛද්‍ය රොහාන් ප්‍රනාන්දු, ලියෝන් ෆොන්සේකා, ලීලනාත් වික්‍රමආරච්චි, තරංගනී වික්‍රමසිංහ, ශ්‍රීමාල් විජේසේකර යන මහත්ම මහත්මීහු මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment