සියලු දෙනා එක්වී අලුත් ගමනක් යමු – නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ

259

බෙදී සිටි කාලය අවසන්

බෙදී සිටී කාලය දැන් අවසන් වී ඇති බැවින් සියලුදෙනා එක්ව අලුත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට එක්වන්නැයි නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20 දා) පැවසීය.

නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

තමන් ජනාධිපති ධුරය සඳහා පත්කිරීමට ඡන්දය දුන් සහ එම අවස්ථාවට එක් වූ සියලු දෙනාටම ස්තූතිය පුදකර සිටින බව ජනාධිපතිවරයා කියා සිටියේය.

පරණ දේශපාලනය අවසන් කර නව ක්‍රමවේදයක් යටතේ වැඩ කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බවත් ඒ සඳහා සියලුදෙනා සමඟම අද සිට සාකච්ඡා ආරම්භ කරන බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

“කථානායකතුමනි, ඔබයි මමයි 1973 එකට අපේ දේශපාලන ගමන ආරම්භ කළේ. අද මට විශේෂ සතුටක් තිබෙනවා ඔබතුමා මුල් පුටුවේ ඉඳගෙන මම ජනාධිපති වුණ එක ප්‍රකාශ කිරීම ගැන. මම අවුරුදු 45ක් මේ පාර්ලිමේන්තුවේ ගතකරලා තිබෙනවා. මගේ ජීවිතය තිබුණේ මේ පාර්ලිමේන්තුවේ. මේ පාර්ලිමේන්තුවෙන් මට ඒ ගෞරවය ලබාදීම ගැන මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා. අවුරුදු 31ට ඉස්සෙල්ලා 1993 අපි මෙහෙම රැස්වුණා. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනයෙන් පස්සේ නව ජනාධිපතිවරයෙක් පත් කරන්න. එදා ඩී. බී. විජේතුංග මැතිතුමා තරගයක් නැතුව පත්කළා. ඒකට සහභාගි වුණේ පහළොස් දෙනෙක් විතර මේ සභාවේ අද ඉන්නවා.

මේ දෙවැනි අවස්ථාවේ දී අපිට ඡන්දයක් තිබුණා, ප්‍රථම වතාවට. ඒ ඡන්දයට අප අතර සාකච්ඡා කරලා අප පෙන්නුවා මේ සභාවට කිසිම ප්‍රශ්නයක් නැතුව ඡන්දයක් තියලා ජනාධිපතිවරයෙක් තෝරා පත් කරගන්න. ඒ නිසා මට යුතුකමක් තිබෙනවා. මම වෙනුවෙන් ක්‍රියා කරපු ඒ සියලු දෙනාටම, මන්ත්‍රීවරුන්ට ස්තූතිය පුද කරන්න. මේ ඡන්දයට සහභාගි වුණ සියලු දෙනාටමත් ස්තූති කරන්න. මේ රට තිබෙන්නේ කොයි තරම් අමාරු තැනකද කියලා කියන්න අවශ්‍ය නෑ. ආර්ථික වශයෙන් රටේ තරුණ තරුණියන් ක්‍රමයේ වෙනසක් ඉල්ලනවා. අපිට විදේශ වශයෙන් අද ලෝකයේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒවට පැටලෙන්නේ නැතුව ඉදිරියට යන්න තිබෙන්නේ. අපිට අලුත් වැඩසටහනක් ඇති කරන්න තිබෙනවා. ජනතාව අපෙන් ඉල්ලන්නේ පරණ දේශපාලනය නෙවෙයි. මේ පාර්ලිමේන්තුවේ එකට එකතු වෙලා ඒ වැඩ කටයුතු කරන එක. ඉතින් මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මම එක්ක තරග කරපු ඩලස් අලහප්පෙරුම මහතාටත්, අනුර කුමාර දිසානායක මහතාටත් ස්තූති කරනවා.

ඩලස් අලහප්පෙරුම මහතාගෙන්

ඉල්ලනවා අපි ඔක්කොම එකතු වෙලා අලුත් ක්‍රමවේදයක් ගැන කටයුතු කරමු කියලා. මගේ මිත්‍ර අනුර කුමාර දිසානායක මහතාගෙනුත් ඉල්ලීමක් කරනවා. එතුමත් දන්නවා අද රටේ තිබෙන ගැඹුරු තත්ත්වය. මමම කැමැතියි විපක්ෂ නායක මගේ මිත්‍ර සජිත් ප්‍රේමදාස මහත්මයටත් ඒ සියලු දෙනාගෙන්ම ඉල්ලීම් කරන්න. අද අපි ඔක්කොම එකට එකතු වෙලා අලුත් ක්‍රමවේදයක් බලමු. ඒ ගැන අපි සාකච්ඡා කරන්න ඕන. ඒ වගේම ද්‍රවිඩ සන්ධානයේ සම්පන්දන් මහතා ඇතුළු සියලු දෙනාගෙන් ඒ ඉල්ලීම මම කරනවා. අපේ පොන්නම්බලන් මන්ත්‍රීවරයත්, විග්නේෂ්වරම් මන්ත්‍රීවරයගෙත් ඒ ඉල්ලීම කරනවා අපි ඔක්කොම එකතු වෙමු කියලා. ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙනුත් ඒ පක්ෂය වෙනුවෙන් ඉල්ලීම කරන්න. ඒ වගේම මෙතැන සිටින අපේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙනුත්

ඒ ඉල්ලීම කරනවා. දැන් අපි බෙදුනු අවස්ථාව ඉවරයි. පැය 48ක් තිබුණා බෙදෙන්න. අපි පැය 48 බෙදුණා. දැන් මම ඉල්ලනවා සියලු දෙනාගෙන්ම අපි එකට එකතු වෙන්න, සාකච්ඡා කරන්න. හෙට ඉඳන් මම කැමැතියි ඔබ සියලුදෙනා සමඟම සාකච්ඡා කරන්න.

මේ සභාවෙන් මට ඉඩ දෙන්න, මේ සභාව තුළ නෙවෙයි මේ සභාව පිට මේ පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේදී මම දිව්රුම් දෙන්න ජනාධිපතිවරයා විදියට.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment