සියලු විකල්ප ගෙන අවසන්:  ජනතා අරගල විසඳීමට සියලු පක්‍ෂ එක්වී අවසන් තීරණයක් ගනිමු – රනිල් වික්‍රමසිංහ

149

වත්මන් ජනතා අරගල විසඳීමට සියලු විකල්ප ගෙන අවසන් බැවින් පාර්ලිමේන්තුවේ සියලුම පක්‍ෂ එක්වී අවසන් තීරණයක් ගෙන ජනාධිපතිවරයා වෙත දන්වා විසඳුමක් ලබාගත යුතු බව එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20 දා) පැවසීය.

රඹුක්කන සිද්ධිය සහ වත්මන් දේශපාලන අර්බුදය පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියේය.

රඹුක්කනදී මියගිය චමින්ද ලක්‍ෂාන් අපේ සන්දීත් සමරසිංහ හිටපු මන්ත්‍රීතුමාගේ ආධාරකරුවෙක්. මම අද එතුමාගේ බිරිඳටත් කතා කළා. මම එතුමාව හොඳට දන්නවා. එතුමා එදා අපේ පා ගමනට අපිත් එක්ක ආපු යොවුන් පෙරමුණේ සාමාජිකයෙක්. මේ විරෝධතාව අපි සංවිධානය කරපු එකක් නොවෙයි. එදා අපිට මතකයි දැදිගම අචින්තට වෙඩි තියලා මැරුවා. මෙදා ලක්‍ෂාන් මැරුවා. දැන් සන්දීත් සමරසිංහ ලංකාවෙත් නෑ. දැන් මෙතැන ප්‍රශ්නය තිබෙන්නේ අවහිර කළාට බවුසරය ගිනි තියන්න ගියාද කියන එක. ඔහු එහෙම ගිනි තියන්න යන කෙනෙක් නොවෙයි.

අපි අහන්නේ බවුසරය එවන්න ප්‍රමාද වුණේ ඇයි කියායි? අද ලංකාවට අවශ්‍ය තරම් තෙල් නැහැ. මේ අර්බුදය නවත්වන්න නම් අපට තෙල් නැව් 04 ක් එන්න ඕනෑ. තෙල් නැතුව කොහොමද ජනතාව ජීවත්වෙන්නේ. ඉන්ධන ප්‍රවාහන කටයුතු කඩාකප්පල් කරන්න කවුරුවත් ක්‍රියා කරන්නේ නෑ. අපි මේකට විසඳුමක් දෙන්න ඕනෑ. එක විසඳුමයි තිබෙන්නේ. විකල්ප ඉවරයි. අපි පක්‍ෂ නායකයෝ රැස්වෙලා තීරණයක් අරගෙන කථානායක තුමාට දෙමු. මේ අරගල තව වැඩි වෙන්න පුළුවන්. අපි පක්‍ෂ භේදයෙන් තොරව වැඩ කරමු. අපි එක තීරණයක් ගනිමු. මේක තවත් ඉදිරියට යන්න බෑ. මේ සිද්ධිය ගැන ස්වාධීන පරීක්‍ෂණයක් අවශ්‍යයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment