සියවසක සටහන්…. පරාජයේ මෙහෙයුම

270
  • 48 වැනි කොටස

චීන පොදු නිෂ්පාදන පක්‍ෂය (අපිට පුරුදු විදිහට නම්, චීන කොමියුනිස්ට් පක්‍ෂය) පිහිටුවලා 2021 ජූලි මාසයට අවුරුදු සීයක් සම්පූර්ණ වුණා. ගතවුණු අවුරුදු සීයක කාලය තුළ මේ දේශපාලන සංවිධානය විසින් කරපු කියපු දේවල්වලින් අපිටත් යමක් ඉගෙන ගන්න පුළුවන්. යෝධ චරිත, විශේෂිත සිදුවීම්, විවිධාකාර අත්හදා බැලීම්, වැරැදීම් සහ වැරැදි හදාගැනීම් කියන විදිහට ඒ හා සම්බන්ධ පාඩම් දේශපාලන ඉතිහාසයට එකතු වෙලා තියෙනවා. ඒ ඉතිහාසයේ සටහන් වී තිබෙන මූලික කරුණු කීපයක් මේ ලිපි පෙළින් ඉදිරිපත් කරනවා. මේ ලිපියෙන් කියන්නේ ජර්මන් උපදේශකයා යටතේ රතු හමුදාව පරාජයට පත්වුණු ආකාරය ගැනයි.

කු ඕ-මින්-තං හමුදාවට විශාල ගිනි බලයක් තිබුණා. චියං-ශි සෝවියට් ප‍්‍රදේශය විනාශ කිරීමේ අරමුණ ඇතුව 1933 සැප්තැම්බර් 25 වැනිදා ආරම්භ කරපු පස්වැනි වටලෑමට යොදවපු හමුදාවේ ප‍්‍රමාණය ලක්‍ෂ දහයක්. ඒ හමුදාවෙන් ලක්‍ෂ පහක්ම යොදවලා තිබුණේ සෝවියට් ප‍්‍රදේශයේ මායිම් අවහරි කරන්න. ඉතිරි ලක්‍ෂ පහ සටනට යොදවලා තිබුණා. අලුතින්ම මිල දී ගත්ත යුද ටැංකි සෑහෙන ප‍්‍රමාණයකුත් මේ සටනට යෙදෙව්වා. ඊට අමතරව ගුවන් යානා දෙසීයකුත් සටනට සම්බන්ධ වුණා. කු ඕ-මින්-තං හමුදාව සටන් කළේ බංකර් නිවාස හදාගෙන. යකඩ සහ සිමෙන්ති යොදලා හදපු ඒ බංකර් නිවාස ඉතාමත් ශක්තිමත්.

රතු හමුදාවට (චියං-ශි සෝවියට් ප‍්‍රදේශයේ පළමුවැනි පෙරමුණු හමුදාවට) තිබුණේ එක්ලක්‍ෂ තිස්දාහක පිරිස් බලයක්. තුවක්කු සහ කුඩා ප‍්‍රමාණයේ කාලතුවක්කු ඇරෙන්න වෙනත් ගිනි බලයක් ඒ අයට තිබුණේ නෑ. ඒත් කොමියුනිස්ට් ජාත්‍යන්තරය විසින් පත්කරලා එවපු ඔටූ බ‍්‍රවුන් (ලී ත) කියන යුද උපදේශකයා සැලසුම් කළේ මුහුණට මුහුණ කරන සටනක්. මා ඕ ත්ස-තුං විසින් වර්ධනය කරපු ගරිල්ලා සටන් ක‍්‍රමය ඔහු පිළිගත්තේ නෑ. ඉතින් හතුරා එක්ක මුහුණට මුහුණ කරන සටනක් වෙනුවෙන් බංකර් හදන්න රතු හමුදාවට සිද්දවුණා. ඒවා හදන්න අවශ්‍ය යකඩ සහ සිමෙන්ති ඒ අයට තිබුණේ නෑ. ඒ අය බංකර් හැදුවේ පස් සහ දැව කඳන්වලින්.

1933 සැප්තැම්බර් මාසයේ 25 වැනිදා චියං කායි-ෂෙක් විසින් පස්වැනි වටලෑම ආරම්භ කළා. රතු හමුදාව ඉතාමත් නිර්භීත විදිහට සටන් කළා. ඒත් මෙහෙම සටනකට නිර්භීතකම විතරක් ප‍්‍රමාණවත් වෙන්නේ නෑ. මා ඕ ත්ස-තුං අනුගමනය කරපුු විදිහට සටන් කළා නම් බංකර් බවට පත්වෙන්නේ ප‍්‍රදේශයේ තියෙන ස්වභාවික පරිසරය. ගස්, ගල්, කඳු පල්ලම් අතරේ කරන සටනකින් අවශ්‍ය ආවරණය ලබාගන්න පුළුවන්. ඒත් එළිමහනේ කරන සටනකින් ඒ අය රකින්න පුංචි බංකර් පේළියකට බෑ. ඉතින් සැප්තැම්බර් 28 වැනිදා වෙද්දි කු ඕ-මින්-තං හමුදාව තමන්ගේ මුල්ම ජයග‍්‍රහණය අත්පත් කරගත්තා. රතු හමුදාවට ලී-ඡුවන් ප‍්‍රදේශය අහිමිවුණා. ඒ තමයි මහා පැරදුම් මාළාවක ආරම්භය.

සියවසක සටහන්.... පරාජයේ මෙහෙයුම
මධ්‍යම සෝවියට් ප‍්‍රදේශය

මෙහෙම පරාජයක් අත්වුනත් තමන්ගේ ක‍්‍රමයේ වැරැද්දක් තියෙනවා කියලා ඔටූ බ‍්‍රවුන් (ලී ත) පිළිගත්තේ නෑ. පරාජයේ වැරැද්ද ඔහු පැටෙව්වේ සටන මෙහෙයවපු සෙනෙවියන්ට. ඒ ”වැරැදිකාරයන්ට’’ මරණ දඬුවම දෙන්න ඕන කියලත් ඔහු කිව්වා. ඒත් කාලයක් විප්ලවය වෙනුවෙන් කැපවුණු ඒ අය වෙනුවෙන් සෑහෙන පිරිසක් පෙනී හිටියා. ඒ අයට වෙනත් දඬුවම් පමුණුවලා අදාළ ආරවුල විසඳගන්න පුළුවන් වුණා.

ඔටූ බ‍්‍රවුන් (ලී ත) මේ පරාජය වහගන්න තවත් වැඩක් සැලසුම් කළා. ඒ තමයි ලී-ඡුවන් ප‍්‍රදේශයට තරමක් උතුරින් පිහිටි ශියා ඕ-ෂි ප‍්‍රදේශයේ හතුරු බලය පරද්දන සටන. ඒ වෙද්දි ෆූ-චියැන් පළාතේ හිටිය රතු හමුදාවේ නැගෙනහිර සේනාවට තමයි මේ වැඬේ භාරදුන්නේ. ඔක්තෝබර් 7 වැනිදා පටන්ගත්ත මේ සටනත් සාර්ථක වුණේ නෑ. හතුරාගේ ගිනි බලය වැඩි හින්දා රතු හමුදාවට දවල් කාලයේ සටන්කිරීම අපහසු වුණා. ඉතින් ඒ අය සටන් වැදුණේ රෑ අඳුරේ ආවරණය ලබාගෙන. ඒත් එක දිගටම එල්ලවෙච්ච ගුවන් ප‍්‍රහාරවලින් රතු හමුදාවට විශාල අලාභයක් සිද්දවුණා. සතියක් තිස්සේ එක දිගටම සටන් කළත් හතුරු බලය විනාශ කරන්න ඒ අයට බැරිවුණා. ඉතින් ඔක්තෝබර් 13 වැනි දා අළුයම් කාලයේ දී ඒ අය සටනින් ඉවත්වුණා.

රතු හමුදාව අත්විඳින මේ පරාජයත් එක්කම චියං කායි-ෂෙක් තමන්ගේ ප‍්‍රහාර තවත් වැඩිකළා. අවස්ථාවට ගැලපෙන විදිහට තමන්ගේ උපක‍්‍රම වෙනස්කරන්නත් ඔහු කටයුතු කළා. ඒත් ඔටූ බ‍්‍රවුන් (ලී ත) තමන්ගේ උපක‍්‍රම වෙනස්කළේ නෑ. කලින් විදිහටම හතුරාගේ බංකර් නිවාසවලට පහරදිය යුතු බව ඔහු අවධාරණය කළා. කොමියුනිස්ට් ජාත්‍යන්තරය විසින් පත්කරපු මේ හමුදා උපදේශකයා කියන දේ අහනවා ඇරෙන්න වෙනත් විකල්පයක් රතු හමුදාවේ සෙනෙවියන්ට තිබුණේ නෑ. ඉතින් 1933 නොවැම්බර් මැද දක්වා ගතවෙච්ච මාස දෙකකට කිට්ටු කාලය තුළ එක දිගටම පරාජයේ කටුක රසය විඳින්න රතු හමුදාවට සිද්දවුණා.

ජාතික විප්වවාදී හමුදාවේ (කු ඕ-මින්-තං හමුදාවේ) 19 වැනි පාබල සේනාවට පැවරිලා තිබුණේ නැගෙනහිර ෆූ-චියැන් පළාතේ ආරක්‍ෂාව තහවුරු කිරීමේ වගකීම. 1932 ජනවාරි මාසයේ දී ජපන්නු ෂං-හයි නගරයට පහරදෙන වෙලාවේ ඒ බලහත්කාරකමට විරුද්ධව සටන් කළේ මේ හමුදාව. (මේ ලිපි මාලාවේ 44 වැනි කොටසින් ඒ ගැන කියලා තියෙනවා). ඒ මැයි මාසයේ දී ජපානයත් චීනයත් අතර අත්සන් කෙරුණු සාම ගිවිසුමෙන් පස්සේ 19 වැනි පාබල හමුදාව ෆූ-චියැන් පළාතට යවන්න චියං කායි-ෂෙක් කටයුතු කළා.

චීනය බාහිර හතුරෙක්ගේ ප‍්‍රහාරයට ලක්වෙලා තියෙන වෙලාවක රතු හමුදාවට විරුද්ධව කරන මෙහෙයුම ගැන කැමැත්තක් මේ 19 වැනි පාබල හමුදාවේ නායකයන්ට තිබුණේ නෑ. ඉතින් චියං කායි-ෂෙක්ගේ අණ පිළිපදිනවා වෙනුවට ඒ අය කළේ රතු හමුදාවත් එක්ක සාකච්ඡුා කරන එක. 1933 නොවැම්බර් මාසයේ මුල කරපු මේ සාකච්ඡාවලින් පස්සේ දේශපේ‍්‍රමි ජාතික පෙරමුණක් හදන්න ඕන කියලා ඒ අය තීරණය කළා. ඒත් එක්කම චියං කායි-ෂෙක් සමඟ තිබුණු සියලු සම්බන්ධකම් අත්හැරපු ඒ අය 1933 නොවැම්බර් 22 වැනිදා අලුත් ආණ්ඩුවක් ප‍්‍රකාශයට පත් කළා.

ෆූ-චියැන් පළාතේ පිහිටුවපු මේ අලුත් ආණ්ඩුව නම් කළේ ”චීන ජනරජය’’ කියලා. අලුත් ජනරජය වෙනුවෙන් රතු සහ නිල් පාට තීරු දෙකක් සහ මැද්දේ කහ පාට තරුවක් තියෙන ජාතික කොඩියකුත් නිර්මාණය කළා. උඩ රතු තීරුවෙන් කම්කරුවන් නිරූපණය වන බවත් යට නිල් තීරුවෙන් ගොවියන් නිරූපණය වන බවත් ඒ අය කිව්වා. මැද තරුවෙන් නිරූපණය කෙරුණේ දේශපේ‍්‍රමි ජනතාවගේ එකමුතුකමයි. ”ජනතා විප්ලවකාරි හමුදාව’’ කියන නම 19 වැනි පාබල සේනාවට පටබැන්දා. චියං-ශි සෝවියට් ප‍්‍රදේශය විනාශ කිරීමේ අරමුණින් පටන්ගත්ත පස්වැනි වටලෑමටත් මේ පෙරැළියෙන් බලපෑම් ඇතිවුණා.

මුලදීම මේ පෙරැළියට කැමැති විශාල පිරිසක් හිටියත් ටිකෙන් ටික ඒ කැමැත්ත පිරිහෙන්න පටන්ගත්තා. ජනතා විප්ලවකාරි හමුදාවේ නඩත්තුවට ඕන කරන මුදල් හොයන්න සිද්දවුණේ ෆූ-චියැන් පළාතෙන්මයි. ඒත් ඒ වෙද්දි ෆූ-චියැන් පළාත එච්චර සරුසාර ප‍්‍රදේශයක් නෙවෙයි. ඉතින් වැඩියෙන් බදු අයකරනවා ඇරෙන්න වෙනත් විකල්පයක් අලුත් ආණ්ඩුවේ නායකයන්ට තිබුණේ නෑ. ඉතින් ඒ හින්දා මේ ආණ්ඩුවට ලැබුණු ජනතා ප‍්‍රසාදය ඉක්මනින්ම අඩුවෙන්න පටන් ගත්තා.

ලී ත්සුන්-රන් සහ පැයි ඡුං-ශි ප‍්‍රධාන කුවං-ශි කල්ලියත්, ඡන් චී-ථං සහ හූ හන්-මින් ප‍්‍රධාන කුවං-තුං පාලනයත්, ෆං ය්‍යු-ශියංගේ අයත් මේ අලුත් ආණ්ඩුවට උදව්කරයි කියලා හිතුවාට ඒක සිද්දවුණෙත් නෑ. අලුත් ආණ්ඩුවට පොදු නිෂ්පාදන පක්‍ෂයේ සහ රතු හමුදාවේ උදව්ව ලැබෙයි කියලා හිතුවත් ඒක සිද්දවුනෙත් නෑ. මේ අයත් එක්ක සන්ධානයක් හදන වැඬේට ”බොල්ෂෙවික්වරු විසි අටදෙනා සහ භාගය’’ නියෝජනය කරපු අය අකැමැති වුණා.

සියවසක සටහන්.... පරාජයේ මෙහෙයුම
ලී චී-ෂන් සෙනෙවියා

මේ ”අලුත් හතුරාට’’ විරුද්ධව ගුවන් ප‍්‍රහාර එල්ලකරන්න චියං කායි-ෂෙක් පටන් ඇරගෙන තිබුණා. 1934 ජනවාරි මුලම ගොඩබිම් ප‍්‍රහාරත් ආරම්භ කළා. ඉතින් අලුත් ආණ්ඩුව පැවතුණේ මාස දෙකකටත් අඩු කාලයක්. ජනවාරි 13 වැනිදා ඒ ආණ්ඩුව අවසන් කරලා දාන්න කු ඕ-මින්-තං හමුදාවට පුළුවන් වුණා. ඒ ජනරජයේ නායකයා විදිහට කටයුතු කරපු ලී චී-ෂන් සෙනෙවියා හොං-කොං ප‍්‍රදේශයට පැනලා ගියා.

චීනයේ අසහාය නායකයා බවට චියං කායි-ෂෙක් පත්වෙලා හිටියත් කු ඕ-මින්-තං දේශපාලන බලය ගොඩනැ`ගිලා තිබුණේ පළාත් ගණනාවක පැලපදියම් වෙලා හිටිය හමුදා ලොක්කොත් එක්ක එකතුවෙලා හදාගත්ත හවුලක් විදිහට. 1933 අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ දී පස්වැනි වටලෑම පටන්ගනිද්දිත් මේ තත්ත්වයේ වෙනසක් වෙලා තිබුණේ නෑ. දකුණේ කුවං-තුං පළාත තිබුණේ ඡන් චී-ථං සහ හූ හන්-මින් දෙන්නාගේ නායකත්වය යටතේ. ඊට යාබදව බටහිරින් පිහිටි කුවං-ශි පළාත තිබුණේ ලී ත්සුන්-රන් සහ පැයි ඡුං-ශි දෙන්නාගේ නායකත්වය යටතේ. චියං-ශි සෝවියට් ප‍්‍රදේශයට නැගෙනහිරින් තිබුණු ෆූ-චියැන් පළාතේ සිද්දවෙච්ච දේ ගැන උඩින් කිව්වා. චීනයේ උතුරු, බස්නාහිර, නිරිත සහ වයඹ ප‍්‍රදේශවල තත්ත්වයත් එහෙම ම තමයි. චියං කායි-ෂෙක්ගේ සෘජු පාලනය යටතේ තිබුණේ නන්-චිං සහ ෂං-හයි වගේ සීමිත ප‍්‍රදේශ කීපයක් විතරයි. ඒ ප‍්‍රදේශවල අණසක මධ්‍යම ආණ්ඩුවේ හමුදා විසින් පතුරුවාගෙන හිටියා.

චියං-ශි සෝවියට් ප‍්‍රදේශය විනාශ කිරීමේ හමුදා මෙහෙයුම්වලට කු ඕ-මින්-තං පාර්ශ්වකාරයෝ එකතුවුණේ තමන් අතර තිබුණු මේ බෙදීම් ඒ විදිහටම තියාගෙනමයි. ඉතින් මේ සටන් වෙනුවෙන් හැම කෙනෙක්ම එක විදිහට කැපවුණේ නෑ. මධ්‍යම ආණ්ඩුවේ හමුදා තමන්ගේ උපරිම කැපවීමෙන් මේ සටන්වලට දායක වුණා. රතු හමුදාවත් එක්ක කරන සටනින් තමන්ට ලොකු අලාභයක් කරගන්න අනිත් පාර්ශ්වකාරයෝ කැමැතිවුණේ නෑ. තමන්ගේ හමුදා බලය දුර්වල වුනොත් චියං කායි-ෂෙක් විසින් තමන්ගේ ප‍්‍රදේශවල බලය අල්ලාගනියි කියලා ඒ අය හිතුවා. ඉතින් ඒ අය කළේ එක්තරා ආකාරයක රඟපෑමක්.

මේ කාරණය මා ඕ ත්ස-තුං ඉතාමත් හොඳින් තේරුම් ඇරගෙන හිටියා. ඉතින් ඔහු රතු හමුදාව මෙහෙයවන කාලයේ තදින් ප‍්‍රහාර එල්ලකළේ චියං කායි-ෂෙක්ගේ හමුදාවලට විතරයි. අනිත් හමුදා ලොක්කෝ කරන රඟපෑම්වලට බාධාකරන්න ඔහු යොමුවුනේ නෑ. ඒ අයත් එක්ක යම් යම් ගනුදෙනුකරන්න පවා රතු හමුදාව යොමුවෙලා තිබුණා. ඒත් ඔටූ බ‍්‍රවුන් (ලී ත) මේ කාරණය තේරුම්ගත්තේ නෑ. චියං කායි-ෂෙක්ගේ අණදීම යටතේ සටන්කරන හැම පාර්ශ්වයක්ම ඔහු එක විදිහට දැක්කා. ඒ හැම පාර්ශ්වයක් එක්කම යුද්ධ ඇති කරගත්තා.

ෆූ-චියැන් පළාතේ ඇතිවෙච්ච බල පෙරැළියේ වාසිය තමන්ට ගන්නත් වං මිංගේ පාර්ශ්වයට බැරිවුණා. ඉතින් ඉතාමත් පහසුවෙන් ඒ අවුලට මුහුණදෙන්න චියං කායි-ෂෙක්ට පුළුවන් වුණා. ඒ එක්කම රතු හමුදාවට විවේක නොදී ඉන්න ඕන බවත් ඔහු තේරුම් ඇරගෙන හිටියා. රතු හමුදාවට විරුද්ධ පස්වැනි වටලෑමේ දෙවැනි මෙහෙයුම ඔහු පටන්ගත්තේ 1933 දෙසැම්බර් 11 වැනි දා. ඒ ප‍්‍රහාරවලට හමුදා සේනාංක අටක් සම්බන්ධවෙලා හිටියා. ඔටූ බ‍්‍රවුන් (ලී ත) මේ ප‍්‍රහාරවලට මුහුණ දුන්නෙත් මුහුණට මුහුණ කරන විවෘත සටන්වලින්. කු ඕ-මින්-තං හමුදාවල දැවැන්ත ගිනි බලය ඉදිරියේ මේ සටන් අසාර්ථක වුණා. රතු හමුදාවේ විශාල පිරිසක් ජීවිතක්‍ෂයට පත්වුණා. තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා. ඒ වගේම, තමන් යටතේ තිබුණු ප‍්‍රදේශ සෑහෙන ප‍්‍රමාණයක් අත අරින්නත් ඒ අයට සිද්දවුණා.

ෆූ-චියැන් පළාතේ බලය තහවුරු කරගත්තාට පස්සේ චියං කායි-ෂෙක් පස්වැනි වටලෑමේ තුන්වැනි අදියරත් පටන්ගත්තා. 1934 අපේ‍්‍රල් 10 වැනි දා ආරම්භ කරපු ඒ මෙහෙයුමට හමුදා සේනාංක එකොළහක් සම්බන්ධවෙලා හිටියා. ඒ අය මුලින්ම පහරදුන්නේ කුවං-ඡං ප‍්‍රදේශයට. ඒ ප‍්‍රදේශය රැකගන්න රතු හමුදාව සේනාංක නවයක්ම යෙදෙව්වා. ඒත් ඒ මුහුණට මුහුණ සටන රතු හමුදාවට කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් තමන්ගේ බලකොටු එකින් එක හතුරාට බිලිදෙන්න ඒ අයට සිද්දවුණා. අපේ‍්‍රල් 27 වැනි දා කු ඕ-මින්-තං හමුදා එල්ලකරපු ප‍්‍රහාරවලින් රතු හමුදාවේ 5500 දෙනෙක් මියගියා. ඉතිරිවෙච්ච පිරිස් කුවං-ඡුං ප‍්‍රදේශය අතහැරලා දකුණට සහ බස්නාහිර පැත්තට පසුබැස්සා.

මේ පරාජයෙන් පස්සේ ඔටූ බ‍්‍රවුන් (ලී ත) තවත් අඥාන තීරණයක් ගත්තා. ඔහු රතු හමුදාව කොටස් හයකට වෙන්කරලා සෝවියට් ප‍්‍රදේශයේ පෙරමුණු හයක් ආරක්‍ෂා කරන්න යෙදෙව්වා. මේ බෙදීම හින්දා රතු හමුදාවේ බලය විසිරිලා ගියා. ඒ වගේම, රතු හමුදාවට උරුම ජංගම සටන් කලාවේ ශක්තියත් මේ උපක‍්‍රමයෙන් නැති වුණා. පෙරමුණු හයකට හිරවුණු ස්ථාවර හමුදා බවට ඒ සේනාංක හය පත්වුණා. මේ තෑග්ග දැක්ක ගමන්ම තමන් පහරදෙන්න ඕන තැන මොනවා ද කියන එක චියං කායි-ෂෙක් ඉතාමත් පහසුවෙන් තේරුම් ගත්තා.

රතු හමුදායට මේ තරම් අලාභයක් සිද්දවුනත් ඔටූ බ‍්‍රවුන් (ලී ත) තමන්ගේ වැරැද්ද තේරුම් ගත්තේ නෑ. සෙනෙවියන්ගේ සහ සෙබළුන්ගේ වැරැද්ද නිසා සටන් පරදින බවක් තමයි ඔහු නිතරම කිව්වේ. මේ හැඟීම මුල් කරගෙන නිතර නිතර තරහින්, කෝපයෙන් කටයුතු කරන්නත් ඔහු පටන් ගත්තා. හමුදා තීරණ ගන්න කමිටුවල දී ඔහු නිතරම ආරවුල් ඇති කරගත්තා. අන්තිමට මේ ප‍්‍රශ්නය විසඳන්න තීරණය කළේ තීන්දු ගැනීමේ තුන්කට්ටුවක් පත්කරලා. 1934 ජුලි මුල පත්කරපු මේ තුන්දෙනාගේ කමිටුවේ සාමාජිකයෝ බවට පත්වුනේ ඔටූ බ‍්‍රවුන් (ලී ත), පෝ කු සහ චෝ අන්-ලයි.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment