සියවසක සටහන් – බලය නැතත් දිනුම්

148

45 වැනි කොටස

චීන පොදු නිෂ්පාදන පක්‍ෂය (අපිට පුරුදු විදිහට නම්, චීන කොමියුනිස්ට් පක්‍ෂය) පිහිටුවලා 2021 ජූලි මාසයට අවුරුදු සීයක් සම්පූර්ණ වුණා. ගතවුණු අවුරුදු සීයක කාලය තුළ මේ දේශපාලන සංවිධානය විසින් කරපු කියපු දේවල්වලින් අපිටත් යමක් ඉගෙන ගන්න පුළුවන්. යෝධ චරිත, විශේෂිත සිදුවීම්, විවිධාකාර අත්හදා බැලීම්, වැරැදීම් සහ වැරැදි හදාගැනීම් කියන විදිහට ඒ හා සම්බන්ධ පාඩම් දේශපාලන ඉතිහාසයට එකතු වෙලා තියෙනවා. ඒ ඉතිහාසයේ සටහන් වී තිබෙන මූලික කරුණු කීපයක් මේ ලිපි පෙළින් ඉදිරිපත් කරනවා. මේ ලිපියෙන් කියන්නේ පක්‍ෂය තුළින් මා ඕ ත්ස-තුං ඈත්කිරීමේ මෙහෙයුමක් ක‍්‍රියාත්මක වූ ආකාරයයි.

නිං-තු සම්මේලනයෙන් පස්සේ මා ඕ ත්ස-තුංට ඉතිරිවුණේ නාමික රාජ්‍ය නායක තනතුර විතරයි. ලෙඩ නිවාඩු පිට විවේකගන්න කියලා ඒ සම්මේලනයෙන් යෝජනා කෙරුණු හින්දා ඔහු රුයි-චින් ප‍්‍රදේශයෙන් ඉවත්වුණා. ඔහු නැවතුණේ පන්සලක. බිරිඳ හ ත්ස-චන්, පුතා මා ඕ අන්-හුං සහ පුද්ගල ආරක්‍ෂකයන් කීප දෙනා ඔහුත් එක්ක නැවතුණා. මා ඕ ත්ස-තුං සහ හ ත්ස-චන් දෙන්නාට මුලින්ම ලැබුණේ දුවෙක්. ඒ දුව නම් කළේ මා ඕ චින්-හුවා කියලා. නිතර නිතර ඇතිවෙච්ච යුද්ධ කලබල හින්දා ඒ දුව හදාගන්න ගමක පවුලකට දුන්නත් ඒ අයට වෙච්ච දෙයක් හොයාගන්න බැරිවුණා. ඊට පස්සේ ඉපැදුණු මා ඕ අන්-හුං මේ පවුලේ අයට සතුට දෙන පුංචි දඟකාරයෙක් බවට පත්වෙලා හිටියා.

දේශපාලන සහ හමුදා බලයෙන් අයින් කරලා තිබුණු මේ කාලයේ පොත් කියවන්න සහ ලිපි ලේඛන, වාර්තා ලියන්න මා ඕ ත්ස-තුං කැපවුණා. ඔහු නිතර නිතර ගම්වලට ගිහිල්ලා මිනිස්සු මුණගැහිලා ඒ අයගේ අදහස්වලට ඇහුම්කන් දුන්නා. ගම්වල තියෙන ගැටලූ, ආරවුල් ගැන හොයලා බැලූවා. ජනරජයේ ඉඩම් ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරද්දි ඇතිවෙලා තිබුණු ප‍්‍රශ්න හඳුනා ගත්තා. ඉතින් මේ නිරීක්‍ෂණ මත පදනම්වෙලා වාර්තා සම්පාදනය කරන්නත් ඒවා මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරන්නත් ඔහු කටයුතු කළා.

1931 ජුනි 24 වැනි දා හතුරන් විසින් පක්‍ෂයේ මහ ලේකම් ශියං චුං-ෆා මරාදැමීමෙන් පස්සේ පත්වුණේ තාවකාලික මධ්‍යම කාරක සභාවක්. ඒ මධ්‍යම කාරක සභාවේ නායකයා බවට වං මිං පත්වුණා. ඒත් ඔහු තමන්ගේ බිරිඳත් එක්ක සෝවියට් දේශයට ගිය හින්දා මේ තාවකාලික මධ්‍යම කාරක සභාවේ වැඩබලන නායකත්වය පැවරුණේ පෝ කු කියන විසිහතර හැවිරිදි තරුණයාට. (මේ ලිපි මාලාවේ 41 සහ 42 කොටස්වලින් අදාළ විස්තර කියලා තියෙනවා).

ෂං-හයි නගරය අත ඇරලා ආපු චෝ අන්-ලයි චියං-ශි මධ්‍යම සෝවියට් ප‍්‍රදේශයට ළඟාවුණේ 1931 දෙසැම්බර් මාසයේ අග. ඒ වෙද්දි, සෝවියට් ජනරජය පිහිටුවලා මාසයකට ටිකක් වැඩි කාලයක් ගතවෙලා තිබුණා. වං මිංගේ පාර්ශ්වයට (බොල්ෂෙවික්වරු විසි අට දෙනා සහ භාගයට) සම්බන්ධ බොහෝ දෙනකුත් ඒ වෙද්දි මධ්‍යම සෝවියට් ප‍්‍රදේශයට ඇවිල්ලා හිටියේ. මේ සංක‍්‍රමණවලින් පස්සේ මධ්‍යම සෝවියට් ප‍්‍රදේශයේ බලය වං මිංගේ පාර්ශ්වය විසින් තහවුරු කරගත්ත ආකාරය ගැනත් මා ඕ ත්ස-තුං කොන් කෙරුණු ආකාරය ගැනත් කලින් ලිපිවලින් කිව්වා. 1933 ජනවාරි මාසයේ දී, පෝ කු ප‍්‍රමුඛ තාවකාලික මධ්‍යම කාරක සභාවත් රුයි-චින් ප‍්‍රදේශයට සංක‍්‍රමණය වුණා.

පක්‍ෂයේ ක‍්‍රියාකාරීන් මුල්වෙලා පිහිටුවපු සෝවියට් ප‍්‍රදේශ රට පුරාම තිබුණා. 1932 නොවැම්බර් 7 වැනිදා සෝවියට් ජනරජය පිහිටුව්වේ ඒ හැම බල ප‍්‍රදේශයක්ම එකතුවෙන විදිහට. භූමියෙන් වෙන්වෙලා තිබුණත් ඒ හැම සෝවියට් ප‍්‍රදේශයක්ම ජනරජයේ කොටස් බවට පත්වුණා. මධ්‍යම චීනයේ හූ-පෙයි, හ-නාන් සහ අන්-හුයි පළාත් ආශ‍්‍රිතවත් මේ ආකාරයේ සෝවියට් ප‍්‍රදේශයක් පිහිටුවලා තිබුණා. මේ සෝවියට් ප‍්‍රදේශයේ මහ ලේකම් තනතුර සහ හමුදා කමිටුවේ සභාපති තනතුර හෙබෙව්වේ චං කු ඕ-තා ඕ විසින්.

සියවසක සටහන් - බලය නැතත් දිනුම්

පෙයි-චිං විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබපු චං කු ඕ-තා ඕ ශිෂ්‍ය ක‍්‍රියාකාරකම් සෑහෙන ප‍්‍රමාණයකට මුල්වෙච්ච කෙනෙක්. ඒ කාලයේ දී, ඡන් ත-ශ්‍යු සහ ලී තා-චා ඕ මහාචාර්යවරු දෙන්නා එක්ක ළඟින්ම වැඩකරන්නත් ඔහුට පුළුවන් වුණා. ඒ දවස්වල මා ඕ ත්ස-තුං වැඩකළේ පෙයි-චිං විශ්වවිද්‍යාලයේ පුස්තකාල සහායකයෙක් විදිහට. (මේ ලිපි මාලාවේ 5 වැනි කොටසින් ඒ ගැන කියලා තියෙනවා). ඉතින් 1918 විතර ඉඳලාම මා ඕ ත්ස-තුං සහ චං කු ඕ-තා ඕ දෙන්නා එකිනෙකා දැන හඳුනගෙන හිටියා.

”මැයි 4 ව්‍යාපාරය’’ (මේ ලිපි මාලාවේ 6 වැනි කොටස බලන්න) සඳහා ක‍්‍රියාකාරීව සම්බන්ධවුණු චං කු ඕ-තා ඕ, චීන පොදු නිෂ්පාදන පක්‍ෂය හදන්න මූලිකවෙච්ච කුඩා සංවිධාන (ප‍්‍රාදේශීය මාක්ස්වාදී සංවිධාන සහ ඒවාත් එක්ක බැඳිච්ච අධ්‍යයන කව) පිහිටුවන්නත් හවුල්වුණා. ඒ වගේම, පක්‍ෂය පිහිවුවීම වෙනුවෙන් රැස්වුණු පළමුවැනි ජාතික නියෝජිත සම්මේලනයේ කැඳවුම්කරුවා විදිහටත් ඔහු කටයුතු කළා. මේ ක‍්‍රියාකාරීත්වය හින්දා පක්‍ෂයේ මුල්ම මධ්‍යම කාරක සභාවටත් චං කු ඕ-තා ඕ තේරී පත්වුණා.

පක්‍ෂය පිහිටුවීමෙන් පස්සේ පක්‍ෂයට අනුබද්ධ වෘත්තීය සමිති ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂවරයා විදිහටත් ”කම්කරුවා’’ නමින් සතිපතා පළකරපු ප‍්‍රකාශනයේ ප‍්‍රධාන සංස්කාරකවරයා විදිහටත් චං කු ඕ-තා ඕ වැඩ කළා. වැඩවර්ජන ඇතුළු කම්කරු සටන් ගණනාවක්ම මෙහෙයවන්නත් ඔහු මුල්වුණා. ඉතින් ආරම්භක කාලයේ දී ම, පක්‍ෂය නියෝජනය කරපු මූලිකම කම්කරු සටන් නායකයෙක් බවට ඔහු පත්වුණා. මුල් කාලයේ කම්කරු සටන් මෙහෙයවීම සම්බන්ධයෙන් ඒ හා සමාන පිළිගැනීමක් ලැබිලා තිබුණේ ලියු ෂ ඕ-ඡී සහ ලී ලී-සන් දෙන්නාට විතරයි (මේ ලිපි මාලාවේ 11 වැනි කොටස බලන්න).

පක්‍ෂයේ පළමුවැනි, දෙවැනි, හතරවැනි, පස්වැනි සහ හයවැනි මධ්‍යම කාරක සභා හැම එකකටම තේරීපත්වීමෙනුත් ඒ ආරම්භක අවුරුදු හතක කාලය තුළ චං කු ඕ-තා ඕට තිබුණු පිළිගැනීම පැහැදිළිවෙනවා. ඒ වගේ ම, 1923 – 1927 කාලයේ ක‍්‍රියාත්මක වෙච්ච පළමුවැනි ”ජාතික – පොදු හවුල’’ (මේ ලිපි මාලාවේ 12, 13, 18, 21, සහ 22 කොටස්වලින් ඒ හවුල ගැන කියලා තියෙනවා) ඇතුළෙත් ඔහුට තැනක් ලැබුණා. 1928 දී මොස්කව් නුවර දී පවත්වපු පක්‍ෂයේ හයවැනි ජාතික නියෝජිත සම්මේලනයෙන් නැවත වතාවක් මධ්‍යම කාරක සභාවට පත්වෙච්ච චං කු ඕ-තා ඕ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ නියෝජිතයෙක් බවටත් පත්වුණා. ඒ වෙද්දි ඔහුගේ වයස අවුරුදු තිහක් විතරයි. ඉතින් මේ තරම් අඩු වයසක දී පක්‍ෂයේ ප‍්‍රමුඛ නායකයෙක් බවට පත්වෙලා හිටිය චං කු ඕ-තා ඕට ලැබිලා තිබුණේ ඉතාමත් ඉහළ පිළිගැනීමක්.

කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ නියෝජිතයා විදිහට ඉන්න කාලයේ දී ඒ සංවිධානය සහ සෝවියට් දේශය විසින් කරන සමහර වැඩ ගැන එකඟතාවක් චං කු ඕ-තා ඕට තිබුණේ නෑ. තමන්ට එකඟවෙන්න බැරි ඒ අදහස් ඔහු විවේචනය කළා. ඒ හින්දා ඔහු සෝවියට් දේශයේ අත්අඩංගුවට පත්වුණා. ඒත් ඒ වෙද්දි තිබුණු ජනප‍්‍රියකම හින්දා චං කු ඕ-තා ඕට කරදරයක් වුණේ නෑ. 1931 දී ඔහු තමන්ගේ ”වැරැද්ද’’ පිළිගත්තා. ඉතින් ඒ හින්දා ආපහු චීනයට ඒමේ වරමත් ඔහුට ලැබුණා. ලි ලී-සන් සහ බොල්ෂෙවික්වරු විසි අටදෙනා මුල්කරගෙන ඇතිවෙච්ච අවුල් විසඳීමේ වගකීමයි ඔහුට පැවරිලා තිබුණේ.

ඒත් ඒ වෙද්දි පක්‍ෂය ඇතුළේ වර්ධනය වෙලා තිබුණු ආරවුල් විසඳීමේ පුළුවන්කමක් චං කු ඕ-තා ඕට තිබුණේ නෑ. ඒවා පුදුමාකාර විදිහට ඔඩුදුවලා තිබුණා. ඒ හින්දා ෂං-හයි නගරය අත ඇරලා මධ්‍යම චීනයේ හූ-පෙයි, හ-නාන් සහ අන්-හුයි පළාත් ආශ‍්‍රිතව සෝවියට් ප‍්‍රදේශයක් හදන්න ඔහු තීරණය කළා. මා ඕ ත්ස-තුං සහ චූ ත දෙන්නාගේ මූලිකත්වයෙන් චියං-ශි සෝවියට් ප‍්‍රදේශය හැදුවේ ෂං-හයි නගරයට දකුණින් තරමක් නිරිත පැත්තට බරව. චං කු ඕ-තා ඕ විසින් සෝවියට් ප‍්‍රදේශයක් හැදුවේ ෂං-හයි නගරයට උතුරින් තරමක් වයඹ පැත්තට බරව. ඔහු මේ ප‍්‍රදේශයේ දේශපාලන සහ හමුදා නායකයා බවට පත්වුණා. ඔහුගේ නායකත්වයෙන් ඇති කරපු සන්නද්ධ බලය නම් කෙරුණේ රතු හමුදාවේ හතරවැනි පෙරමුණු සේනාව කියලා. මා ඕ ත්ස-තුං සහ චූ ත දෙන්නාගේ මූලිකත්වයෙන් ඇති කරපු සන්නද්ධ බල රතු හමුදාවේ පළමුවැනි පෙරමුණු සේනාව නමින් හඳුන්වපු බව අපි දැන් දන්නවා.

චං කු ඕ-තා ඕ කියන්නේ ස්ටාලින්ගේ පාලන ශෛලියේ ආභාසය ලබපු කෙනෙක්. ඉතින් ඔහු තමන්ගේ සෝවියට් ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක කළේ ඉතාමත් දරදඬු පාලන ක‍්‍රමයක්. පක්‍ෂය සහ හමුදාව අත ඇරලා යන අයට සහ විරුද්ධවාදීන්ට ඔහු ඉතා තදින් දඬුවම් කළා. ඔහු විසින් සෑහෙන පිරිස් බලයක් ඇති කරගෙන හිටියත් මේ දරදඬු පාලන ක‍්‍රමය බොහෝ දෙනෙක්ගේ ඇගැයීමට ලක්වුණේ නෑ. මේ ක‍්‍රමය ගැන ලොකු අකැමැත්තත් සාමාන්‍ය ජනතාව තුළත් ඇතිවෙලා තිබුණා. ඉතින් මේ හින්දා තමන්ගේ බල ප‍්‍රදේශය තව තවත් බටහිරට ඇරගෙන යන්න චං කු ඕ-තා ඕට සිද්දවුණා. 1932 ජනවාරි මාසයේ දී ඔහුගේ ප‍්‍රධාන හමුදාව ස-ඡුවාන් පළාතේ උතුරු ප‍්‍රදේශයට ඇතුළුවුණා. පෙබරවාරි 7 වැනි දා වෙද්දි, ස-ඡුවාන් සහ ෂන්-ශි ප‍්‍රදේශ සම්බන්ධ කරගෙන අලූත් සෝවියට් ආණ්ඩුවක් පිහිටුවන්නත් චං කු ඕ-තා ඕට පුළුවන් වුණා.

ජපන්නු විසින් තමන්ගේ බලය පැතිරවීමත් නැවැත්තුවේ නෑ 1932 ජනවාරි 17 වැනිදා ජපන් හමුදාව විසින් ෂන්-හයි කපොල්ලත් අල්ලාගත්තා. මේ කපොල්ලෙන් තමයි ඊසානදිග චීනයත් උතුරු චීනයත් වෙන්වෙන්නේ. ජපන් හමුදාව මේ විදිහට උතුරු චීනය ආක‍්‍රමණය කරද්දි ඊට එරෙහි ජන අරගලයට නායකත්වය දුන්නේ පොදු නිෂ්පාදන පක්‍ෂය විසින්. පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ජනවාරි 26 වැනිදා නිකුත් කරපු ප‍්‍රකාශයෙන් ඒ බව පැහැදිළිවෙනවා. ”හැමෝම එකතුවෙලා ජපන් අධිරාජ්‍යවාදයට එරෙහි පොදු පෙරමුණක් හදන්න ඕන’’ කියලා ඒ ප‍්‍රකාශයෙන් අවධාරණය කරලා තිබුණා. ඒත් ”ජපන් හතුරා පරද්දන්න කලින් ඇතුළේ බලය තහවුරු කරගන්න ඕන’’ කියන ප‍්‍රතිපත්තියේ චියං කායි-ෂෙක් දැඩිව එල්බගෙන හිටියා.

”හැම දෙනාම එකතුවෙන්න ඕනට් කියන අදහස පොදු නිෂ්පාදන පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ප‍්‍රකාශ කෙරුනත් ඒ අය පැටලිච්ච බල අරගලයකුත් තිබුණා. පක්‍ෂයේ දේශපාලන සහ හමුදා කටයුතුවලින් මා ඕ ත්ස-තුං ඈත්කරලා තමන්ගේ බලය තහවුරු කරගන්න වං මිංගේ පාර්ශ්වය මහන්සි වුණා. සෝවියට් දේශයේ සහ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ උදව්වෙන් මධ්‍යම කාරක සභාවේ බලය ඒ අය තහවුරු කරගත්තත් චියං-ශි සෝවියට් ප‍්‍රදේශයේ ජනතාව අතරත් රතු හමුදාව තුළත් ප‍්‍රසාදය දිනාගෙන හිටියේ මා ඕ ත්ස-තුං විසින්. මේ
”ප‍්‍රශ්නය’’ විසඳන්න පුළුවන් වෙන්නේ පක්‍ෂය තුළ මා ඕ ත්ස-තුංට හිතවත් අය දුර්වලකිරීමෙන් කියලා වං මිංගේ පාර්ශ්වය හිතුවා.

මේ වෙද්දි, චියං-ශි සෝවියට් ප‍්‍රදේශයට එරෙහි හතරවැනි වටලෑම වෙනුවෙන් චියං කායි-ෂෙක් සූදානම්වෙමින් හිටියේ. ඊට කලින් ක‍්‍රියාත්මක කරපු තුන්වැනි වටලෑම අවසන් වුණේ 1931 සැප්තැම්බර් මාසයේ. එදා ඉඳලා ගතවෙච්ච අවුරුද්දකට වැඩි කාලය තුළ ලැබුණු ඉඩෙන් චියං-ශි සෝවියට් ප‍්‍රදේශයේ හිටිය රතු හමුදාවේ පිරිස් බලය හැත්තදාහකටත් වඩා වැඩිවුණා. මේ ශක්තිය පාවිච්චි කරලා කු ඕ-මින්-තං හමුදාවත් එක්ක මුහුණට මුහුණ සටන්කරන්න පුළුවන් කියලා වං මිංගේ පාර්ශ්වය කිව්වා. මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න පවත්වපු රැස්වීමක දී, ෆූ-චියැන් පළාත් පක්‍ෂ සංවිධානයේ ලේකම් ලූ ඕ මිං ඒ අදහස විවේචනය කළා.

කලින් විදිහටම ගරිල්ලා උපක‍්‍රම පාවිච්චි කරලා හතුරාට පහරදෙන්න ඕන කියන එකයි ලූ ඕ මිං අවධාරණය කළේ. ඒ ක‍්‍රමය තුළින් තමන්ගේ ශක්තිය ආරක්‍ෂා කරගෙන දිගුකාලීන සටනක වුණත් නිතරවෙන්න පුළුවන් කියලා ඔහු අවධාරණය කළා. මුහුණට මුහුණ සටන්කරන්න පුළුවන් කියලා වං මිංගේ පාර්ශ්වය කරන යෝජනාව හිස් පම්පෝරියක් විතරයි කියලා ඔහු චෝදනා කළා. මා ඕ ත්ස-තුංගේ අදහස් පක්‍ෂයේ මැද මට්ටමේ අය අතරත් ඉතා තදින් පැතිරිලා තියෙනවා කියලා මධ්‍යම කාරක සභාවේ අය තේරුම්ගත්තේ ඒ වෙලාවේ. ඉතින් හතරවැනි වටලෑම ක‍්‍රියාත්මක වෙන අතරම ඒ අය තවත් ප‍්‍රහාරයක් පටන්ගත්තා.

මේ ප‍්‍රහාරය ක‍්‍රියාත්මක වුණේ පක්‍ෂය ඇතුළේ. ”ලූ ඕ මිංවාදය’’ පරාජයට පත්කරලා පක්‍ෂය නිවැරැදි කළ යුතු බව මධ්‍යම කාරක සභාව තීරණය කළා. මා ඕ ත්ස-තුංට පහර නොදී ලූ ඕ මිංට පහරදීම පහසු බව ඒ අය තේරුම් ඇරගෙන හිටියා. ඉතින් ”ලූ ඕ මිංගේ අවස්ථාවාදය’’ සහ ඒකට සහයෝගය දෙන අය ඉලක්ක කරගත්ත ප‍්‍රහාරයක් ආරම්භ වුණා. මේ සටනට අදාළ ලිපි ලිව්වේ පක්‍ෂයේ වැඩ බලන නායකයා බවට පත්වෙලා හිටිය පෝ කු සහ චං වන්-තියැං (ලූ ඕ ෆූ) විසින්. ”ලූ ඕ මිංවාදය’’ වෙනුවෙන් පෙනී හිටිය තං ශියා ඕ-පිං, මා ඕ ත්ස-ථං (මා ඕ ත්ස-තුංගේ පොඩි මල්ලි) ඇතුළු විශාල පිරිසක් තනතුරුවලින් ඉවත්කරලා ගම්බද ප‍්‍රදේශවලට යැව්වා. හිස්වෙච්ච තනතුරුවලට අලූත් අය පත්කළා.

මේ අභ්‍යන්තර අරගලය ක‍්‍රියාත්මක වන අතරම හතරවැනි වටලෑමට එරෙහි සටනත් ඇවිලෙමින් තිබුණා. චියං කායි-ෂෙක් විසින් මේ වටලෑමට යොදවපු හමුදාවේ පිරිස් බලය ලක්‍ෂ පහකටත් වැඩියි. රතු හමුදාවට නායකත්වය දුන්නේ චෝ අන්-ලයි සහ චූ ත දෙන්නා. මේ සටන වෙනුවෙනුත් යොදාගත්තේ මා ඕ ත්ස-තුං හඳුන්වලා දීපු උපක‍්‍රම. හතුරා සෝවියට් ප‍්‍රදේශය ඇතුළට ගෙන්නගෙන ගරිල්ලා ප‍්‍රහාර එල්ලකිරීම ඒ යටතේ සිද්දවුණා. 1933 මාර්තු 22 වැනිදා ඒ සටන අවසන් වුණේ රතු හමුදාවේ ජයග‍්‍රහණයෙන්. සටනට සම්බන්ධ නොවුණත් මේ ජයග‍්‍රහණයේ ගෞරවයත් හිමිවුණේ මා ඕ ත්ස-තුංට.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment