සියවසේ රාජාභිෂේකයට සියල්ල සූදානම්

543

රාජාභිෂේක දේව මෙහෙයෙන් පසු සති අන්ත නිවාඩුවට විචිත්‍රවත් උත්සව මාලාවක්!
“කැමිලා පාකර්” බිසව “කැමිලා රැජින”ලෙස කිරුළු පළඳියි
ගමනට යොදාගන්නේ වසර 260ක් පැරණි රනින් කළ අශ්ව කරත්තයක්
බොහෝ දෙනෙක් නොදන්නා “ඉරණම් ගල” ගෙන එන්නට රහසිගත මෙහෙයුමක්!

එළැඹෙන මැයි මස 6 වැනි දින ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයෙහි පැවැත්වෙන අතිඋත්කර්ෂවත් උත්සවයකදී බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු කිරුළු පැළඳීමට නියමිතය.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ඔහුගේ මව වූ දෙවන එලිසබෙත් රැජිනගේ මරණය සිදුවූ මොහොතේම චාල්ස් කුමරු නිල වශයෙන් රජු ලෙස ප්‍රකාශයට පත්විය. එසේම තුන්වන චාල්ස් නමින් සිහසුනට ද පත්විය. නමුත් රාජාභිෂේකය යනු සියල්ලන් ඉදිරියේ රජුගේ පත්වීම තහවුරු කිරීමකි. එය පැරණි රාජකීය සම්ප්‍රදායන් ඔපවත් කරන වර්තමාන ලෝකයේ පැවැත්වෙන වඩාත්ම ආකර්ෂණීය උත්සවය වන අතර සංකේතාත්මක ආගමික උත්සවයක් ද වේ. කෙටියෙන්ම කිවහොත් මෙය රජෙකුගේ හිස මත ඔටුන්නක් තැබීමේ භෞතික ක්‍රියාවයි.

රැජිනගේ වැඩිමහල් පුතු වූ චාල්ස් කුමරු බ්‍රිතාන්‍ය ඉතිහාසයට එක් වන්නේ රාජ්‍යයත්වය ලබාගැනීම සඳහා දීර්ඝතම කාලයක් බලා සිටි ඔටුන්න හිමි කුමරා ලෙසයි. තවද බ්‍රිතාන්‍ය කිරීටය භාරගන්නා වයස්ගතම රජු ලෙස ද ඔහු ඉතිහාසගත වෙයි. 1953 දී දෙවන එලිසබෙත් රැජින ඔටුණු පළඳින විට තුන් හැවිරිදි වියේ පසු වූ චාල්ස් රජුගේ දැන් වයස අවුරුදු 74 කි.

රාජාභිෂේක දේව මෙහෙය මැයි 6 සෙනසුරාදා උදෑසන 11.00 ට වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී ආරම්භ වුවත් ඉන් පසුව පැවැත්වෙන උත්සව මාලාවකින් ලන්ඩනයේ සති අන්ත නිවාඩුව විචිත්‍රවත් වනු ඇත. රාජාභිෂේකයෙන් පසු දින බ්‍රිතාන්‍ය රජ පවුලට අයත් වින්ඩ්සර් මාලිගයේ පැවැත්වෙන සාම්ප්‍රදායික ප්‍රසංගයට කැටි පෙරී, ලයනල් රිචී වැනි ලෝක ප්‍රකට කලාකරුවන් සහභාගිවීමට නියමිතය. ඊට අමතරව ජනතාව විසින් පවත්වන වීදි සාද හා සංදර්ශන ආදියෙන් ද මෙම උත්සව මාලාව සමන්විත වනු ඇත. සති අන්තයේදී එංගලන්තයේ හා වේල්සයේ පිහිටි තැබෑරුම් හා සමාජ ශාලා අමතර හෝරා දෙකක් විවෘතව තබනු ඇත.

● ඔටුන්නෙන් වසා ඇති උපාය මාර්ග

චාල්ස් රජු සිහසුනට පත්වන්නේ ඔහුගේ මව මෙන් ලෝකය පුරා විහිදී ගිය මහා බලසම්පන්න අධිරාජ්‍යයක නොවේ. ගත වූ දශක කිහිපය තුළ ලෝක දේශපාලන බලතුලනය උඩු යටිකුරු වී ඇත. පැරණි රාජාණ්ඩු සංකල්ප, ලෝකය තුළ තවදුරටත් එතරම් වැදගත් නැත. එතෙකුදු වුවත් බ්‍රිතාන්‍ය රජ පවුලේ සම්ප්‍රදායන් එලෙසින්ම පවත්වා ගැනීමට රජ පවුලටත් වඩා එරට ව්‍යවස්ථාපිත ආණ්ඩුව කැමතිය. මෙම රාජාභිෂේක උත්සවයේ සම්පූර්ණ වියදම දරන්නේ රජ පවුල නොව එරට රජයයි. එක්සත් රාජධානිය ලෙස හැඳින්වෙන එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය හා උතුරු අයර්ලන්තය ස්ථාවරව පවත්වා ගැනීමට බ්‍රිතාන්‍ය රාජ්‍යත්වය නම් සාධකය කෙතරම් වැදගත් දැයි තක්සේරු කොට ඇති බව පැහැදිලිය. ඊට අමතරව බ්‍රිතාන්‍ය කිරීටය යටතේම ස්වාධීන ලෙස පාලනය වන ඔස්ට්‍රේලියාව, නවසීලන්තය හා කැනඩාව යන ඉංග්‍රීසි ආධිපත්‍යය සහිත රාජ්‍යයන්ගේ පැවැත්ම වෙනුවෙන් ද එය අතිමහත් වැදගත්ය. තවද ජැමෙයිකාව, බහමාස්, පැපුවා නිව්ගිනියා, සොලමන් දූපත්, ශාන්ත ලුසියා ආදී තවත් රාජ්‍ය එකොළහකුත් තවමත් තමන්ගේ රාජ්‍ය නායකයා ලෙස සලකන්නේ බ්‍රිතාන්‍ය රජුය. එකී රටවල්වලට අමතරව අතීතයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව තිබුණු ඉන්දියාව, ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව ආදී රටවල් ගණනාවකින් සමන්විත පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකයා ලෙස කටයුතු කරන්නේ ද චාල්ස් රජුය. ලෝකයේ ඒ ඒ කලාප තුළ බලය පතුරුවාගත් මහා බලවතුන් කිහිප දෙනකු සිටිය ද බ්‍රිතාන්‍ය කිරුළ දරන්නා තවමත් ලොව පුරා බොහෝ පිරිසකගේ සම්භාවනාවට පාත්‍ර වූ චාරිත්‍රානුකූල නායකයකු ලෙස වැජඹෙන බව අතිශයෝක්තියක් නොවේ.

● රජුගේ පෙරහැර

චාල්ස් රජුගේ රාජාභිෂේකයට සමාන්තරව එම උත්සවයේදීම කැමිලා පාකර් බිසව ද කැමිලා රැජින ලෙස කිරුළු පැළඳීමට නියමිතය. රජාභිෂේකයට පෙර “රජුගේ පෙරහැර” නමින් හැඳින්වෙන බකින්හැම් මාලිගයෙන් ආරම්භ වන පෙරහැරකින් රජු සහ බිසව වෙස්ට්මිනිස්ටර් ඇබේ වෙත පැමිණෙනු ඇත. මාළිගය නිවේදනය කර ඇත්තේ එලිසබෙත් රැජිනගේ පදවි ප්‍රාප්තියේ දියමන්ති ජුබිලිය සැමරීම සඳහා විශේෂයෙන් නිමවන ලද අශ්ව කරත්තයේ නැඟී රාජකීය යුවළ පැමිණෙනු ඇති බවයි. රාජකීය යුවළගේ සම්ප්‍රාප්තියෙන් පසුව කැන්ටබරි අගරදගුරුතුමා විසින් රජුගේ හිස මත කිරුළ පැළඳවීමට නියමිතය. රාජාභිෂේකයෙන් පසුව ඔවුන් දෙපළ නැවත මාළිගයට රැගෙන යෑම සඳහා වසර 260 ක් පැරණි රනින් කළ අශ්ව කරත්තයක් සූදානම් කර ඇත. මෙම කරත්තය නිර්මාණය කර ඇත්තේ 1762 වසරේදී තුන්වන ජෝර්ජ් රජුගේ සමයේදී ය. රාජාභිෂේක දිනයේ සැන්දෑවේ රාජකීයයන් සියලු දෙනා බකින්හැම්

මාලිගයේ බැල්කනියේ එකට පෙනී සිටිනු ඇත. වසර දහසකටත් වැඩි කාලයක් තිස්සේ මෙම උත්සවය බොහෝ සෙයින් ගතානුගතික සම්ප්‍රදායන් අනුව සිදු කර ඇති නමුත් වෙනස් වන ලෝකයට අනුගත වන මූලිකාංග ද විටින් විට ඇතුළත් කර ඇත. මෙවර ද එවැනි නවීන අංගෝපාංග කිහිපයක් උත්සවයට ඇතුළත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

● රාජාභිෂේකය සිදුවන්නේ කෙසේද?

පසුගිය වසර 900 පුරාවටම රාජාභිෂේකය පැවැත්වුණේ ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී ය. එසේම ක්‍රි.ව. 1066 සිට සෑම විටම පාහේ දේව මෙහෙය පවත්වනු ලැබුවේ කැන්ටබරි අගරදගුරුතුමා විසිනි. ලෝක ව්‍යාප්ත ක්‍රිස්තියානි ඇන්ග්ලිකානු නිකායේ ආධ්‍යාත්මික නායකයා වශයෙන් පිළිගැනෙන්නේ මෙකී කැන්ටබරි අගරදගුරුතුමාය. එතුමා විසින් මුලින්ම ශාලාවේ රැස්ව සිටින්නන්ට රජුව හඳුන්වා දෙනු ලබයි. ඉන් පසුව සියලු දෙනා එක්ව “දෙවියනි, රජු රැක දෙන්න (God, Save the King) යනුවෙන් කෑගසනු ඇත. ඒ සමඟම රාජකීය හොරණෑකරුවන්ගේ සාම්ප්‍රදායික මිහිරි සංගීතයකින් වෙස්මිනිස්ටර් ඇබේ ශාලාව ගිගුම් දෙනු ඇත. රාජාභිෂේක උත්සවයේ වාදනය කිරීමට නියමිත සංගීත හා ගීත ඛණ්ඩ චාල්ස් රජු විසින් පෞද්ගලිකවම තෝරා ගෙන ඇත. ග්‍රීසියේ උපත ලද රජුගේ පියා වන පිලිප් කුමරු සිහිපත් කිරීම සඳහා ග්‍රීක ඕතඩොක්ස් සංගීතය ද ඊට මුසු කර ඇත. රාජාභිෂේකය සනිටුහන් කිරීම සඳහා සීනු නාද කරන්නන් දහස් ගණනක් දැනටමත් බඳවා ගෙන ඇත.

රාජාභිෂේකයේදී නූතන බ්‍රිතාන්‍යයේ ජනවාර්ගික විවිධත්වය පිළිබිඹු කිරීමට නව රජුගේ අභිලාෂයක් ඇති බව වාර්තා වෙයි. ඊට අනුකූලව විවිධ ඇදහිලි සහ ජන කණ්ඩායම් නියෝජනයක් ද එදින දක්නට ලැබෙනු ඇත. රාජාභිෂේක දිවුරුමේදී ඔහු “ඇදහිල්ලේ ආරක්ෂකයා” (Defender of the Faith) නම් වූ සාම්ප්‍රදායික ප්‍රතිඥාව ලබා දීමට නියමිතය. මෙය මුල් කාලයේ සිටම බ්‍රිතාන්‍ය රජවරුන් දිවුරුම් දීමට භාවිතා කළ ක්‍රිස්තියානි ආගමික වාක්‍ය ඛණ්ඩයකි. නමුත් මෙවර රජු සියලු ආගම්වලට සේවය කරන බව සංකේතවත් කිරීමට තවත් වචන කිහිපයක් දිවුරුමට එකතු කර ඇත. රජුගේ දිවුරුමේ මූලික අරමුණ වන්නේ නීතිය සහ එංගලන්ත පල්ලිය ආරක්ෂා කරන බවට පොරොන්දු වීමයි.

තවද එලිසබෙත් රැජිනගේ රාජාභිෂේකයේදී දක්නට ලැබුණු බොහෝ රාජකීය චාරිත්‍ර චාල්ස් රජුගේ රාජාභිෂේකයේදී ද දක්නට ලැබෙනු ඇත. මේ චාරිත්‍ර අතරට එඩ්වඩ් රජුගේ පුටුව ලෙස හැඳින්වෙන ඓතිහාසික රාජාභිෂේක පුටුවේ රජුව හිඳුවා Orb යනුවෙන් හැඳින්වෙන රාජකීය ගෝලය භාර දීම ද ඇතුළත්ය. මෙකී රාජකීය ගෝලයෙන් සංකේතවත් වන්නේ රාජ්‍යත්වය හා ක්‍රිස්තියානි ලෝකයයි. Orb යනු ඉහළින් කුරුසියක් සවි කර ඇති රනින් නිමැවූ ගෝලයකි. චාල්ස් රජුගේ රාජාභිෂේකය නම් කර ඇත්තේ ද Operation Golden Orb කේත නාමයෙනි. ඊට අමතරව ජෙරුසෙලමේ අභිෂේක ගැන්වූ ශුද්ධ වූ තෛලය රජුගේ හිස මත ආලේප කරයි. මෙම තෛලය රහසිගත වට්ටෝරුවකට අනුව සකසා ඇත. කෙසේ නමුත් මෙම තෙල් ආලේප කිරීමේ අවස්ථාව නම් මහජනතාවට දැක ගැනීමට නොලැබෙන්නේ එය සම්ප්‍රදායක් ලෙසම රහසිගතව සිදුකරනු ලබන බැවිනි. මේ අවස්ථාව ජනතාවගෙන් වසන් කිරීම සඳහා රන් රෙදිකඩකින් රාජාභිෂේක පුටුව ආවරණය කරනු ඇත.

● ඔටුනු පැළඳවීම

මූලික චාරිත්‍රවලින් අනතුරුව අගරදගුරුතුමා විසින් රජුගේ හිස මත රාජකීය කිරුළ තබනු ඇත. ශාන්ත එඩ්වඩ් කිරුළ ලෙසින් හැඳින්වෙන මෙම ඓතිහාසික ඔටුන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 57 ක් වන බවට ඇස්තමේන්තු කර ඇත. මෙය 1661 දී දෙවැනි චාල්ස් රජු සමයේදී නිමවා ඇති අතර රාජාභිෂේකයේදී පමණක් භාවිතා කරනු ලබන කිරුළකි. මීට අමතරව රාජාභිෂේකයෙන් අනතුරුව වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයෙන් රජු පිටවෙද්දී 1937 දී සාදන ලද අධිරාජ්‍යමය කිරුළ (Imperial State Crown) නම් ඉතා වටිනා කිරුළ පැළඳවීමට නියමිතය. මෙය රත්‍රන්වලින් නිමවා ඇති අතර ඊට දියමන්ති 2,868 ක් සවිකර ඇත. එසේම නිල් මැණික්, මරකත ආදී වටිනා මැණික් මෙන්ම මුතුවලින් ද සමන්විතය. මෙහි අඩංගු කුලිනන් දියමන්තිය ලෝකයේ මෙතෙක් සොයා ගෙන ඇති දෙවන විශාලතම දියමන්තිය ලෙස සැලකේ. තව ද මෙහි අඩංගු කැරට් 104 වටිනා ස්ටුවර්ට් නිල් මැණික බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් ගෙනයන ලද්දක් බවට ද විශ්වාසයක් පවතී. ස්වර්ණාභරණ විශේෂඥයන් ඇස්තමේන්තු කරන්නේ මෙම ඔටුන්න ඩොලර් බිලියන 3.4 සිට ඩොලර් බිලියන 5.7 දක්වා පරාසයක වටිනාකමක් ඇති බවයි. නමුත් චාල්ස් රජු රාජාභිෂේකයෙන් අනතුරුව පිටවෙද්දී මෙම අධිරාජ්‍යමය කිරුළ පැළඳීම සැක සහිත බවද වාර්තා වෙයි.

කිරුළු පැළඳීමෙන් පසු රජු රාජාභිෂේක පුටුවෙන් ඉවත්ව සිංහාසනයට ගමන් කරනු ඇත. සාමිවරුන් රජතුමා ඉදිරියේ දණ නමා ගෞරව කරනු ඇත. මීට අමතරව කැමිලා බිසව ද රැජින ලෙස අභිෂේක ගන්වා ඔටුනු පැළඳවීමට නියමිතය. 1937 දී චාල්ස් රජුගේ මිත්තනිය වූ එලිසබෙත් බිසව ද හයවන ජෝර්ජ් රජු සමඟ මෙසේ කිරුළු පැළඳුවාය. එයින් පසුව කිරුළ පළඳනා පළමු බ්‍රිතාන්‍ය රජ බිසව බවට පත්වන්නේ කැමිලාය. ඇයගේ හිස මත මේරි රැජිනගේ දියමන්ති ඔටුන්න පැළඳවීමට නියමිතය.

රාජාභිෂේකය සංවිධානය කරනු ලබන්නේ එංගලන්තයේ රාජ්‍ය අවස්ථාවන් භාරව සිටින ජ්‍යෙෂ්ඨතම සාමිවරයා වන අර්ල් මාර්ෂල් විසිනි. සියවස් ගණනාවක් තිස්සේ මෙම තනතුර රජුගේ ඥාතීන් වූ හොවාර්ඩ් පවුලට හිමිව ඇති අතර දැනට අදාළ තනතුර දරන්නේ නොර්ෆොක්හි ආදිපාදවරයා ය. ඒ අනුව එකී ධුරයේ කටයුතු කරන එඩ්වඩ් ෆිට්සාලන් මෙවර අර්ල් මාර්ෂල්වරයා ලෙස මෙම භාරදූර ඓතිහාසික උත්සවයේ මූලිකත්වය ගෙන කටයුතු කරයි. එලිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍යය සංවිධානය කළේ ද ඔහු විසිනි.

● රහසිගත මෙහෙයුමක්

සියවසේ රාජාභිෂේකයට සියල්ල සූදානම්
ඉරණම් ගල

චාල්ස් රජුගේ රාජාභිෂේක දිනයට පෙර බොහෝ මාධ්‍යයන්ට හසු නොවූ වෙනස්ම රහසිගත මෙහෙයුමකුත් ක්‍රියාත්මක වීමට නියමිතය. දැනට ස්කොට්ලන්තයේ එඩිම්බරෝ මාළිගයේ ආරක්ෂිතව තැන්පත්කර ඇති ඉරණම් ගල (The Stone of Destiny) නමින් හඳුන්වන පවුම් 336 ක් බරැති පුරාණ වැලිගල් කුට්ටිය රාජාභිෂේකය සඳහා වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත රැගෙන යෑමට නියමිත අතර මේ සඳහා අධි ආරක්ෂිත ක්‍රියාන්විතයක් සූදානම් කර ඇත. ස්කොට්ලන්තය වෙනම රාජ්‍යයක් ලෙස පැවති සමයේ එහි රජවරුන්ගේ රාජාභිෂේක සඳහා සියවස් ගණනාවක් තිස්සේ භාවිතා කරන ලද්දේ මෙකී ඉරණම් ගලයි. පසුව එය 1296 දී එංගලන්තයේ පළමු වන එඩ්වඩ් රජු විසින් අත්පත් කර ගන්නා ලදි. ඉන් පසුව එංගලන්තයේ රජවරුන්ගේ රාජාභිෂේක සඳහා අනිවාර්ය අංගයක් වූ ඉරණම් ගල සියවස් ගණනාවක් ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ ශාලාවේ තැන්පත් කර තිබුණි. නමුත් ස්කොට්ලන්ත ජාතිවාදී සිසුන් හතර දෙනකු විසින් 1950 නත්තල් දින මෙම ඓතිහාසික ඉරණම් ගල නැවත ස්කොට්ලන්තයට පැහැර ගෙන යෑමට උත්සාහ කළහ. කෙසේ නමුත් අවසානයේ ඇති වූ එකඟතා මත ගල නැවත ස්කොට්ලන්තයට භාර දීමට බ්‍රිතාන්‍ය රජය එකඟ විය. ඒ අනුව 1996 සිට මෙකී ඉරණම් ගල ස්කොට්ලන්තයේ එඩිම්බරෝ මාළිගයේ ආරක්ෂිතව තැන්පත් කර ඇත.

● ආරාධිතයන්

1953 දී දෙවන එලිසබෙත් රැජිනගේ රාජාභිෂේකය සඳහා රටවල් 129 කින් අමුත්තන් 8,000 කට අධික සංඛ්‍යාවක් පැමිණ තිබුණි. නමුත් මෙවර වෙස්ට්මිනිස්ටර් ඇබේ වෙත පැමිණෙන ආරාධිතයන්ගේ සංඛ්‍යාව 2000 කට සීමා කර ඇත. ඔටුන්න හිමි විලියම් කුමරුත් කේට් කුමරිය හා ඔවුන්ගේ දරුවන් ද නිල වශයෙන්ම උත්සවයට සහභාගි වීමට නියමිතය. චාල්ස් රජුගේ කනිටු පුත් හැරී කුමරු ද ඇමෙරිකාවේ සිට පැමිණීමට නියමිත අතර ඔහුගේ බිරිඳ වූ මේගන් මර්කල් කුමරිය සහභාගි නොවන බව මාධ්‍ය වාර්තා කර තිබුණි. රජ පවුලේ සාමාජිකයන්ට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල නායකයන් හා ලොව ප්‍රමුඛ රාජ්‍ය නායකයන් කිහිප දෙනකු ද මීට සහභාගි වීමට නියමිතය. ඇමෙරිකානු ජනාධිපතිවරයා නියෝජනය කරමින් ඔහුගේ ආර්යාව සහභාගි වීමට නියමිතය. චාල්ස් රජු සමාජ සේවා සංවිධාන කිහිපයක්ම පවත්වාගෙන යන අතර ඒවායේ නියෝජිතයන්ට ද මෙම අවස්ථාවට ආරාධනා කර තිබේ. බ්‍රිතාන්‍යයේ අගමැති, හිටපු අගමැතිවරුන් ඇතුළුව තෝරාගත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට ද ආරාධනා යවා ඇති අතර බ්‍රිතාන්‍ය සාමිවරුන් පිරිසකුත් උත්සවයට සහභාගි වීමට නියමිතය. මීට අමතරව ස්වේච්ඡා සේවකයන් සහ තරුණයන් 1,250 කට අධික පිරිසකට උත්සවයට සහභාගි වීමට හෝ ඊට සමාන්තරව පැවැත්වෙන වෙනත් සැමරුමක සාමාජිකයකු වීමට ආරාධනා කර ඇති බවට වාර්තා වෙයි.

අතීතයේ රාජාභිෂේකයක් සිදුවෙද්දී එංගලන්තයේ වංශාධිපතියෝ තමන්ටත් රජුගේ ආරාධනය ලැබේ යැයි බලාපොරොත්තුවෙන් සිටිති. ඒ පිළිබඳව පුරසාරම් දොඩවති. නමුත් පසුව තමන්ට ලැබීමට නියමිත ආරාධනා පත්‍රය තැපෑලේදී නැති වී ඇති බවට ස්වයං විස්වාසයක් ඇති කරගනිති. පැරණි ප්‍රභූන්ගේ දූ දරුවන් තම දෙමව්පියන් සැනසීම සඳහා මෙවරද තැපෑලේ උපක්‍රමය භාවිතා කරන බව අසන්නට ලැබේ.

මීට දශක හතකට කළින් දෙවන එලිසබෙත් රැජිනගේ රාජාභිෂේකය ද රූපවාහිනියෙන් සජීවීව විකාශනය කරන ලදී. මෙවර චාල්ස් රජුගේ රාජාභිෂේකය සජීවීව නැරඹීම සඳහා ලොව පුරා මිලියන සිය ගණනින් ජනතාව එක්රොක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශානක ලියනගම

advertistmentadvertistment
advertistmentadvertistment