සිය හමුදා භටයන් 498ක් යුක්රේනයේදී මිය ගිය බව රුසියාව පිළි ගනී

433

ඉකුත් සිකුරාදා දිනයේ යුක්රේනය ආක‍්‍රමණය කිරීම ඇරඹීමෙන් පසු හටගත් සටන්වලින් තම හමුදා භටයන් 498 දෙනෙකු මිය ගොස් තවත් භටයන් 1597 දෙනෙකු තුවාල ලැබූ බවට රුසියාව විසින් ඊයේ දිනයේ ප‍්‍රථම වරට පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ වුවද යුක්රේනය පවසනුයේ රුසියානු හමුදා භටයන් දහස් ගණනකගේ ජීවිත ඉකුත් සතිය තුළ සිය හමුදාවන් සමග පැවති සටන්වලදී අහිමි වී ඇති බවයි. යුක්රේන රජය විසින් නිකුත් කර ඇති වාර්තාවකට අනුව ගත වූ සතියක කාලයේදී යුක්රේනයේ සිවිල් වැසියන් 2000ක්ට අධික සංඛ්‍යාවක් සටන්වලට

ගොදුරු වීමෙන් මිය ගොස් තිබේ. රුසියානු ආක‍්‍රමණයත් සමගම යුක්රේනයේ නගරවල හටගෙන ඇති සටන් හේතුවෙන් යාබද රටවලට පැන ගොස් ඇති යුක්රේන ජාතිකයන්ගේ සංඛ්‍යාව මිලියනයට අධික බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවසා තිබේ.

රුසියාව පවසනුයේ සිය හමුදා යුක්රේනය ආක‍්‍රමණය කිරීමෙන් පසු මේ වන විට යුක්රේන හමුදා භටයන් හා ජාති හිතෛෂීන් 2870කට වඩා වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර තවත් 3700ක් පමණ දෙනා තුවාල ලබා ඇති බවයි. මේ සම්බන්ධයෙන් යුක්රේනය කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැත.

මේ අතර පෙරේදා දිනයේ යුක්රේනයේ නගර ගණනාවක් දරුණු ලෙස රුසියානු හමුදාවන්ගේ ෂෙල් වෙඩි ප‍්‍රහාරවලට ලක්ව තිබූ අතර රුසියාව යුක්රේනය ආක‍්‍රමණය කිරීමෙන් පසු හටගත් ගැටුම්වලදී විශාල වශයෙන් අලාභ හානි සිදු වූ දිනය ලෙස පෙරේදා දිනය විදේශීය මාධ්‍ය විසින් හඳුන්වා දී තිබේ. මේ අතර නෙදර්ලන්තයේ හේග් නගරයේ පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු හමුදාව විසින් යුක්රේනයේ මනුෂ්‍යත්වයට එරෙහිව සිදු කළ අපරාධ හා සිදු කර ඇති බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනයක් දියත් කර තිබේ. ඊයේ (03දා) දිනයේ හත් වැනි දිනටත් යුක්රේනයේ නගරවල රුසියානු හමුදා භටයන් හා යුක්රේන හමුදාවන් /සිවිල් වැසියන් අතර දරුණු සටන් ඇවිලී තිබිණි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment