සිරභාරයට පත් වූ සිංහලේ අවසන් රජ

1482

මෙරට රාජාවලියේ අවසන් රජු වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ සිරභාරයට ලක් වී ඊයේ (18දා) ට වසර 207ක් සපිරෙයි. මෙම ලිපිය ඒ නිමිත්තෙනි….

ශ‍්‍රී ලංකා ඉතිහාසයෙහි රජදරුවන් නිසා දුම්බරට හිමිවන්නේ අතිශය ශ්‍රේෂ්ඨ ස්ථානයකි. හිස දන්දී බෝසත් නාමයෙන් පිදුම් ලද මතු බුදුවීමට පෙරුම්පුරා සිටිනවා යැයි අප තුළ විශ්වාසය ජනිත කළ සිරිසඟබෝ රජතුමා (ක‍්‍රි. ව. 251-253) උපන්නේද එදා මිනිපේ නමින් හැඳින්වූ අද දුම්බර පෙදෙසේය. මේ සොහොයුරන්ගේ බාල සොහොයුරු ගෝඨාභය (ක‍්‍රි. ව. 253-266) රජුගේ පුතුන් පළමු ජෙට්ඨතිස්ස (ක‍්‍රි. ව. 266-276) හා මහසෙන්ය (276-303). මහසෙන් මින්නේරියේ දෙවියන් නමින්ද හඳුන්වයි. මේ මහසෙන් රජතුමාගේ එක පුතෙකි ක‍්‍රි. ව. 303 සිට 331 දක්වා අවුරුදු විසිඅටක් මෙරට රජ කළේ කිත්සිරි මෙවන් නොහොත් සිරි මේඝවර්ණ රජතුමාය. මේ රජතුමා දවස තමා ගුහසීව රජතුමා හේමමාලා හා දන්ත කුමරු සමඟ දන්තධාතුව අපට එව්වේය. දුම්බර ප‍්‍රදේශයට මීටත් වඩා අභිමානයක් හිමිවන්නේ මහසෙන් රජතුමාගේ දෙවන පුත් II වන ජෙට්ඨතිස්ස (331-340) රජතුමාගේ පුත‍්‍ර ලංකා රාජාවලියේ හැටහය වන රජු වන අපේ කීර්තිමත් වෛද්‍ය රජු වූ බුද්ධදාසය. (340-368) එපමණක්ද නොව පහළොස් වන සියවසේදී පමණ මෙරට පෘතුගීසි ආධිපත්‍යයෙන් බේරාගෙන රට එකච්ඡුත‍්‍ර කළ ද්වීපචක‍්‍රවර්ති විමල ධර්මසූරිය රජතුමාද, ඔහුගේ ඡාති පුත‍්‍ර මහා රණශූර II වන රාජසිංහ රජතුමා ද දුම්බරින් මෙරටට දායාද කළ ශ්‍රේෂ්ඨ නරවිරුවන්ය. මෙවන් ඉතිහාසයකට නෑකම් කියන ජාතිවාත්සල්‍යයෙන් ඔදවැඩුණු විරුවන් ජනිත, දුම්බරදීම 1815 පෙබරවාරි 18 දින අපේ අවසාන රජ වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු සතුරන් අතට පත්වූ දෛවයේම සරදමක් වූ මෙම ඓතිහාසික සිද්ධිය ගැන කරුණු ස්වල්පයක් එළිදරව් කිරීම මෙම ලිපියෙහි අරමුණයි.

කන්නසාමි නම් දහඅට හැවිරිදි නායක්කාර් භද්‍ර යෞවනයා එදා හඟුරන්කෙත රාජ භාණ්ඩාගාරය භාරව සිටි අතර බලාපොරොත්තු රහිතවම අහම්බෙන් එදා ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ නමින් ඔටුනු පැළැන්දේ රාජාධි රාජසිංහ රජුගේ (1782-1798) අකල් මරණය නිසාය. මෙම සිද්ධිය හරියටම 1798 ජූලි 16 සඳුදා දින රාත‍්‍රියෙහි සිදු වූ අතර ඊට පසුවදා එනම් ජූලි 17 අඟහරුවාදා දින සියලූ රාජ ආභාරණයන්ගෙන් සරසවා මඟුලැතු පිටින් ගෙන ගොස් ඔහුට ඔටුනු පැළැන්දුවේ ද පසු කලෙක රජකම තමා අතට ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටි පිළිමතලාව මහ අධිකාරම් විසිනි. එදා සිට ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ නමින් 1815 පෙබරවාරි 18 ඉරිදා දක්වා මේ රටේ හරියටම පුරා වසර දහසයකුත් මාස හතක් හා එක් දිනක් ලක් කිරුළ දැරුවේද නායක්කාර පෙළපතේ අවසානයා වූ මොහුය. එදා පෙබරවාරි 19 වන සඳු දින, ක‍්‍රි. පූ. 483 විජයගේ පටන් පෙළපතින් පෙළපතට මාරු වූ රජ පරපුර නායක්කාර් පරපුරත් සමඟ ගත් විට වසර 2298 ක අඛණ්ඩ රාජාවලියක් අපට හිමි වී තිබුණි. 1815 මාර්තු 2 දින අපට නැතිවුණේ ඒ අඛණ්ඩ උරුමයයි.

මේ වනවිට බි‍්‍රතාන්‍යය යුරෝපයේ බලවත් ජාතියක් වශයෙන් මතුවෙමින් ආවේය. 1803 වන විට ප‍්‍රංශ හමුදාවන් පරදවා අද්මිරාල් නෙල්සන් ට‍්‍රැෆල්ගාර් (TRAFALGAR) සටනින් ජය ලබා ගත්තේය. එමෙන්ම නැපෝලියන් වෝටර්ලූ සටනින් පරාජය වීමෙන්ද බි‍්‍රතාන්‍යය බලවත් රටක් ලෙස පිළිගැනීමට ලක්විය. එපමණක් නොව බි‍්‍රතාන්‍යය මුහුදු බලයක් සහිත රටක් ලෙසද කැපී පෙනුණි.

මේ අතරම 1803 ජනවාරි 31 දා උඩරටට අවිරුද්ධව යුද්ධ ප‍්‍රකාශ කර මේජර් ජෙනරාල් හේ මැක්ඩොවල්ගේ නායකත්වයෙන් යුත් ඉංග‍්‍රීසි බළ ඇණියක් කොළඹ සිට මහනුවර බලා පිටත් විය. නමුත් මෙහිදී ලත් පරාජයෙන් බි‍්‍රතාන්‍යයෝ පසුබැස්සෝය. මේ අතර 1815 ජනවාරි මුලදී සීතාවක තිබූ ඉංග‍්‍රීසීන්ගේ කඳවුරකට උඩරට රජුගේ හමුදාව ප‍්‍රහාර එල්ල කරමින් කඩාවැදුණු පසුව දෙවන වරටත් කන්ද උඩරට රාජ්‍යයට විරුද්ධව ඉංග‍්‍රීසීහු යුද්ධ ප‍්‍රකාශ කළහ. ඉංග‍්‍රීසීන් කළේ සරබගමුවේ මහදිසාව වශයෙන් සිටි ඇහැලේපොල, මොල්ලිගොඩ මහ අධිකාරම් ආදී තවත් ප‍්‍රධානීන් රැසකගේ සහාය ඔවුන් පැත්තට ලබා ගැනීමයි. ඒ සියලූම දෙනාගේ සහාය ලබාගනිමින් ඉංග‍්‍රීසීහු 1815 ජනවාරි 10 දා උඩරට රාජධානියට විරුද්ධව නැවතත් යුදධ ප‍්‍රකාශ කළෝය. ඉංග‍්‍රීසි හමුදාව සහ ඔවුන්ට එක්වූ නායකයන් සමඟ සියලූම දිසාවලින් උඩරට රාජධානිය වටකොට මහනුවර බලා ගමන් ආරම්භ කරන ලදී. ඉංග‍්‍රීසීන්ද මෙතෙක් බලා සිටියේ උඩරට රජු අල්ලා ගැනීම සඳහා සුදුසු වාතාවරණයක් ගොඩනැෙඟන තුරුය. දැන් එම අවස්ථාව එළැඹ ඇතැයි ඔවුන් කල්පනා කළේ හේතු කීපයක්ම නිසාය. රජකම ලබාදීමට තමාට උදව් කළ පිළිමතලාවගේ හිස 1812 දී රජු අණින්ම ගසා දැමීම, ඇහැලේපොල පවුල සමූල ඝාතනයෙන් පසු රජු කෙරෙහි ඇති වූ වෛරය ජනතාවගේ සිත් සතන් තුළ මුල්බැස ගැනීම, ඇහැලේපොල දිසාවගේ අනුගාමිකයන් හතළිස් හත් දෙනකු මහනුවරට ගෙන්වා උල තැබීම, හත්කෝරලේ නායක ප‍්‍රභූවරුන් හැත්තෑවක් අල්වා මරා දැමීම ආදී ප‍්‍රධාන කරුණු කීපයක් නිසා ජනතාව ද පසුවුයේ රජුගෙන් පිළිගැනීමට අවස්ථාවක් එළැඹෙන තුරුය. මේ වන විටත් ඇහැලේපොලට, එක්නැලිගොඩට, කොඩිතුවක්කු නිලමේට පක්‍ෂ පිරිස් රජු කෙරෙන් ඈත් වූහ. 1815 පෙබරවාරි 10 දින ඉංග‍්‍රීසීන් රජු විසින් අත්හැරදමා තිබූ සෙංකඩගල නුවරට ඇතුළු විය. පෙබරවාරි 14 දා දොන් ඩොයිල් බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා වෙත යැවූ වාර්තාවෙහි සිංහල අනුවාදය මෙසේය. රජුගේ කෲර පාලනයෙන් රට මුදාගත් බැවින් සිංහලයෝ ඔවුනගේ උද්‍යෝගිමත් මහත් සතුට අප වෙත ප‍්‍රකාශ කළෝය. ඔවුන් අපට ගඟ දෙපස තිබූ මරා දමන ලද මළ මිනීද පෙන්වූවෝය. ඉන් එකක් හත්කෝරළේ මුස්ලිම් වැසියකු ලෙස හඳුනාගෙන ඇත. එය මීට දින දහයකට පමණ උඩදී එල්ලා මරා දැමූ සිරුරකි. තවත් මළමිනී දහයක් හෝ පහළොවක් අප දැක ගත්තෙමු. ඒවා හත්කෝරළේ ප‍්‍රධානීන්ගේ බවට හඳුනා ගත්තෙමු. මෙහිදී අපට හමුවූ උඩරැටියන් දන්වා සිටියේ අපේ හමුදාවන් ඊයේ කටුගස්තොටට ළඟා වූ අතර පෙරේදා රාත‍්‍රියේම රජු ඔහුගේ බිසෝවරුන් හා මලබාර් ඥාතීන් සමඟ මහනුවරින් පලා ගිය බවය. දැන් රජ මාලිගාවත් හිස්ය. 1815 පෙබරවාරි 18 ඉරිදා දින අඳුර වැටෙන්නට හෝරාවක් පමණ තිබියදී රජු දුම්බර, මැද මහනුවර, බෝමුරේ උඩුපිටියේ ආරච්චිගේ ගාලේවත්තේ ගෙයි සැඟවී සිටියදී අත්අඩංගුවට ගන්නා ලදී. දොන් ඩොයිලි සිද්ධිය වාර්තා කළේ මෙසේය.

රජතුමාගේ ධාන්‍යාගාරය (අටුව)
1815 පෙබරවාරි 19
හිතවත් මැතිතුමනි,

මෙම කාරණය උතුමාණන් වෙත සැලකරන්නේ මගේ හිතේ ඇති අප‍්‍රමාණ සතුටකිනි. එනම් ඔබ වහන්සේගේ මහත් අමන්දානන්දයට හේතුවන පරිදි සිංහලේ රජතුමා දැන් අපේ හිරකරුවෙකි. ඊයේ ඔහු වටකරන ලද්දේ අපේ හමුදාව සහ තුවක්කු සහිතව සිටි දුම්බර වැසියන් විසින් අඳුර වැටීමට පැයකට පමණ පෙර මැද මහනුවර ගල්ගෙවත්තේ උඩුපිටියේ ආරච්චිගේ නිවසෙහිදී ය. ගෙදර වට කරන විට එහි සිටි කීපදෙනකු අවහිර කළත් දෙතුන් දෙනකු වෙඩි වැදී තුවාල වූ පසු සෙසු පිරිස පැන දිව්වෝය. මම පිරිස හමුවීමට මගේ දෝලාවෙන් රඹුක්වැල්ල දක්වා පෙරගමන් යමි. රජුගේ මව සහ තවත් බිසොවුන් දෙදෙනකු හංවැල්ලේ සිටින බැවින් ඔවුන්ටද ඒමට පණිවුඩ යවමි. ඒ සමගම රජුගේ නායක්කාර් ඥාතීන් සියලූ දෙනාටත් යටත් වීමට තල්පත් පණිවුඩ පිටත් කරමියි ඩොයිලි වාර්නණා කළේය. මෙම වැටලීමට කිසිදු දුම්බර වැසියකු සහභාගි නොවූ බව ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ ගෞරවය සඳහා මෙහි සටහන් තබමි. මේ මෙහෙයුමට සහභාගි වූවෝ මොවුන්ය. ඇහැලේපොල, එක්නැලිගොඩ, මොල්ලිගොඩ, පිලිමතලාව, දෙල්වල, මහවලතැන්න, සියනෑ කෝරළේ මුදලි, දොන් සොලමන් ඩයස් බණ්ඩාරනායක තෝල්කයකු වශයෙන්ද, හලාවත මුදලි දොන් අදිරියන් විජේසිංහ ජයවර්ධන මගපෙන්වන්නකු වශයෙන් ද මෙම පාවාදීමට එක්වූහ. රජු කොළඹට රැගෙන ගොස් 1816 ජනවාරි 24 දා කොන්වොලිස් නම් යුද්ධ නෞකාවෙන් මදුරාසිය බලා පිටත් කර යවන ලදී. වසර පනස් දෙකක් ආයු වළඳා ඉතා සවිසම්පන්න කාල වර්ණ දේහයකින් හෙබි අඩි හයයි අඟල් දෙකක් පමණ උස් වූ මේ මිනිසා 1832 ජනවාරි 30 දින මෙලොවින් සඳහටම සමුගත්තේය.

ඇස්.බී.කරල්ලියද්ද

advertistmentadvertistment
advertistmentadvertistment