සිරිපා ඉතිහාසය

3713

සිරිත් පරිදි වසරක් පාසා එළැඹෙන ශ්‍රී පාද වන්දනා සමය මෙම උදුවප් පුර පසලොස්වක දිනයෙන් ආරම්භ විය. ලබන වර්ෂයේ වෙසක් පුර පසළොස්වක් දිනයෙන් මෙම වන්දාන සමය නිමාවට පත්වෙයි.

බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයෙහි වෙසක් පුන් පොහෝ දින පන්සියයක් මහ රහතන් වහන්සේ සමග ලක්දිවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ සුමන සමන් දෙව්රදුන්ගේ ආරාධනයෙන් සමන්තකූට පර්වත බුදුන්හි ඉන්ද්‍රනීළ මානික්‍යමය පාෂාණයක් මතුයෙහි ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා වදාල බැව් මහා වංශයේ පළමු පරිච්ඡේදයේ සඳහන් වේ. ශ්‍රී පාදස්ථානය ගැන තොරතුරු මුලින්ම දැන ගත හැකි වනුයේ වංශකතාවලිනි. මේ සිද්ධිය මහා වංශයේ සඳහන්වීමෙන් පැහැදිලි වන්නේ මහා වංශය රචනා කළ ක්‍රි. ව. 5 සිය වස පමණ වන විට ශ්‍රී පාදස්ථානය ගැන ලක්වැසියන් දැන ගෙන සිටි බවයි. මෙම ඓතිහාසික අවස්ථාව ගම්පොල යුගයේ රචිත “සද්ධර්මාලංකාරයෙහි” සවිස්තරව සටහන්ව ඇත.

මිණි අක්නම් නා රජුගේ ආරාධනාවෙන් වෙසඟ මැදි පොහෝ දිනයෙහි ලක්දිවට වැඩ කැලණි මහා සෑය පිහිටි තැන ඔහු විසින් මවන ලද රත්න මණ්ඩපයෙහි රහතන් හා සමඟ වැඩි හිඳ එම නා රජහු විසින් එලවන ලද නිව බොජුන් වළඳා ධර්ම දේශනා කොට රන් සුවහස් නයින් තිසරණ ගන්වා එයින් නික්ම සමන්කුල වසන මහා සුමන නම් දෙව් රජුගේ ආරාධනාවෙන් අහසින් බැස පැල දිග් බලා වැඩ සිට තමන් වහන්සේගේ අටතුරා සියයක් මඟුල් ලකුණෙන් හෙබියාවූ එක් රියන් එක් වීයත් නවගුල් පමණ වූ අයත් ඇතිව වාම ශ්‍රී පාදය සමනල මුදුන් කුල මස්තකයෙහි ලක්ෂණ කොට පිහිටුවා (සද්ධර්මලංකාරය)

ශ්‍රී පාද වන්දනා ගාථාවෙහි ශ්‍රී පාද හතරක් ගැන සඳහන් වෙයි. නර්මදා නදී තෙර වැලිතලාවෙහි, සච්චබද්ධ පර්වතයෙහි, යෝනක පුරයෙහි හා සමන්කුල ශ්‍රී පාදය යන හතරයි. මේ හැර තවත් ශ්‍රීපාද ලාංඡන කිහිපයක් ගැන වාර්තා දක්නට ලැබේ. මේ පූජනීය ස්ථාන අතුරෙන් සියවස් ගණනාවක සිට ප්‍රචලිතව පවත්නේ සමන්කුල පිහිටි ශ්‍රී පාදය ගැන පමණයි. ක්‍රි. පු. දෙවන සියවසේදී දුටුගැමුණු රජ දවස සමන්කුලයෙහි භික්‍ෂූන් විසූ බව මහා වංශය කියයි.

ඓතිහාසික තොරතුරුවලට අනුව නම් ශ්‍රී පාද වන්දනාව පොදු ජන චාරිත්‍රයක් බවට පත්වූයේ කවර කලදැයි ස්ථීර වශයෙන්ම නිගමනය කිරීම අපහසු බව විද්වතුන්ගේ පිළිගැනීමයි. ජනප්‍රවාදයේ එන්නේ භාතිය රජු දවස ශ්‍රී පාදය සොයාගත් බවකි.

මේ පූජනීය ස්ථාන ගැන මහා වංශයේ එන තොරතුරුවලට අනුව අනුරාධපුර සමයේ සිට ශ්‍රී පාදය ගැන බෞද්ධයින් දැන සිටි බව පැහැදිලි වේ. එහෙත් ශ්‍රී පාදස්ථානය වන්දනාමාන සඳහා බෙහෙවින් ප්‍රචලිතව ඇත්තේ පොළොන්නරු යුගයෙන් පසුව බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. මේ ප්‍රබෝධය ඇතිවී තිබෙන්නේ මහා විජයබාහු රජතුමා වන්දනාවේ ගොස් ශ්‍රී පාද ස්ථානයේ අභිවෘද්ධියට කටයුතු කොට ගම්බිම්ද පූජා කිරීමෙන් පසුවයි. එතුමා මෙම පූජනීය ස්ථානයේ දියුණුවට කළ කටයුතු ගැන “අඹගමුව” ගිරි ලිපියේ සඳහන් වෙයි. සිරිපා වන්දනාවේ යෙදුනු රජුන් අතර නිශ්ශංකමල්ල රජුද මුල් තැනක් ගනී. පළමුවැනි පරාක්‍රමබාහු රජතුමා ශ්‍රී පාද වන්දනාවේ ගොස් එහි සමන් දේවාලයක් කරවූ බව රාජාවලියේ සඳහන් වේ. දෙවැනි පැරකුම්ම්බාවන්ගේ ඇමැතිවරයෙක් වූ දේවප්‍රතිරාජ නම් ඇමැතිවරයා විසින්ද සමන් දේව ප්‍රතිමාවක් ගෙන ගොස් දේවාලයක් කොට තැන්පත් කළ බැව් මහාවංශයේ දැක්වේ.

කලින් කල ප්‍රතිසංස්කරණය ලබමින් තිබෙන මෙම දේවාලය සමන් දේව ප්‍රතිමා වැඩමවා තැන්පත් කිරීමෙන් පසුව වසරක් පාසා සිරිපා වන්දනා සමය ආරම්භ වන්නේය.

සබරගමුව කොළොන්නා කෝරළයේ
ප්‍රධාන අධිකරණ සංඝ නායක
ඕමල්පේ සිරි සීලානන්ද නාහිමි
සංස්කරණය – නිශාන්ත අමරසිංහ

[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment