සිරිපා වන්දනා සමය ඊයෙන් නිමවෙයි

137

මෙවර ශ්‍රීපාද වන්දනා සමය ඊයේ (05 වැනිදා) වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයෙන් අවසන් විය.

ශ්‍රීපාද වන්දනා වාරය අවසන් කරමින් සිරිපා උඩ මළුවේ තැන්පත් කර ඇති සමන් දේව ප්‍රතිමා සහ සධාතුක කරඬුව අද (06 වැනිදා) පැල්මඩුල්ලට වැඩම කරවන බව ශ්‍රීපාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසූහ.

ශ්‍රීපාදස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා පා ගමනින්ද, එතැන් සිට විශේෂයෙන් සැකසූ දේව රථ යොදාගෙන සමන් දේව ප්‍රතිමා පැල්මඩුල්ල පුරාණ රාජමහා විහාරස්ථානය වෙත වැඩම කෙරේ.

අද රාත්‍රී 9 සිට පසුදින එනම් (07 වැනිදා) දහවල් දෙක දක්වා පැල්මඩුල්ල පුරාණ රාජමහා විහාරස්ථානයේදී සමන් දේව ප්‍රතිමා සඳහා පූජෝපහාර දැක්වීමට බැතිමතුන්ට අවස්ථාව ලබාදෙන බව ධම්මදින්න නාහිමියෝ වැඩිදුරටත් පැවසූහ.

ඉන් අනතුරුව සමන් දේව ප්‍රතිමා සහ සධාතුක කරඬුව පැල්මඩුල්ල පුරාණ රාජමහා විහාරයේ සිට පෙරහැරකින් පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රාජමහා විහාරස්ථානය වෙත වැඩම කරවීම සිදු කෙරෙන බවද සිරිපා වන්දනා සංවිධායක කමිටුව පවසයි. මෙම වෙසක් පොහෝදා සිට එළැඹෙන උඳුවප් පුර පසළොස්වක පොහෝදා දක්වා සිරිපා අවාර සමයයි.

කහවත්ත – සමරවීර නිරෝෂණ

advertistmentadvertistment
advertistmentadvertistment