සිරිපා සමය නිම වෙයි

49

සිරිපා උඩ මළුවේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමා ශ්‍රීපාද මාර්ග හතරක් ඔස්සේ පැල්මඩුල්ල පුරාණ රජමහා විහාරස්ථානයට 06දා රාත්‍රි වැඩම කරවන ලදී. ඉන් අනතුරුව පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කරනු ලැබීමෙන් මෙවර ශ්‍රී පාද වන්දනා වාරය නිමාවට පත්වූ බව ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසූහ.

ශ්‍රී පලාබද්දල මාර්ගය, හැටන් බලංගොඩ මාර්ගය, හැටන් නල්ලතන්නිය මාර්ගය සහ කුරුවිට එරත්න මාර්ග ඔස්සේ පැල්මඩුල්ල පුරාණ රජමහා විහාරස්ථානය වෙත සමන් දේව ප්‍රතිමා සහ සධාතුක කරඬු වැඩම කරවීම සිදුකරනු ලැබීය.

ශ්‍රී පලාබද්දල මාර්ගය ඔස්සේ සධාතුක කරඬුව සහිත දේවාභරණ වැඩම කරවීම කුරුවිට ගැමුණු හේවා බළකායේ මේජර් ජනරාල් පී.ඒ.ඩී.පී. එදිරිසිංහ ඇතුළු යුද හමුදා සෙබළුන් සහ නිලධාරීන් විසින් සිදු කරනු ලැබීය.

මෙදින අප්‍රසිද්ධ වනවාසී භික්ෂූන් වහන්සේලා වෙත දානය පිරිනැමීමේ සාංඝික දානමය පිංකමක් ද සිදුවිය.

06 වනදා රාත්‍රි සිට 07 වනදා පස්වරු දෙක දක්වා පැල්මඩුල්ල පුරාණ රජමහා විහාරස්ථානයේ දී බැතිමතුන්ට පූජෝපහාර දැක්වීමට සමන් දේව ප්‍රතිමා තැන්පත් කර තිබුණි.

07දා පස්වරුවේ පැල්මඩුල්ල පුරාණ රජමහා විහාරස්ථානයේ සිට පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද විහාරස්ථානය දක්වා සධාතුක කරඬුව සහිත දේවාභරණ වැඩම කරවීම සිදු කළේය. ශ්‍රී පාද අවාර සමය එනම් උඳුවප් පුර පසළොස්වක පොහොය දිනට පෙරදින දක්වා සමන් දේව ප්‍රතිමා ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ ආරක්ෂිත කුටියේ තැන්පත් කර තිබෙන බව ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසූහ.

මෙවර ශ්‍රී පාද වන්දනාවාරයේදී ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් කිසිදු කරදරයකින් තොරව වන්දනාවේ යෙදුණු බවත් වන්දනා වාරය සාර්ථක කිරීමට සහයෝගය ලබාදුන් රාජ්‍ය ප්‍රධානීන්, රාජ්‍ය සහ පුද්ගලික ආයතන, රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික් දෙකේ සියලු‍ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රාදේශීය සභාවලටත් රාජ්‍ය නොවෙන සංවිධානවලටත් ස්තුතිය පළ කරන බවද ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියෝ පැවසූහ.

ශ්‍රී පලාබද්දල මාර්ගයෙන් වැඩම කළ සධාතුක කරඬුව සහිත දේවාභරණ වෙත ආශිර්වාද කිරීම සඳහා සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් ජී.ඩී.එල්. උදයකුමාරි, රත්නපුර ප්‍රාදේශීය ලේකම් ප්‍රදීපිකා ඉලු‍ක්කුඹුර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. එරත්න ශ්‍රී පාද මාර්ගයේ පෙරහැරට කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් ද පූජෝපහාර දැක්වූහ.
කහවත්ත සමරවීර නිරෝෂණ
සංස්කරණය – නිශාන්ත අමරසිංහ
\[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment