සිරිමාවෝට වසර 50යි

85

අඩසියවසක අතීතය සලකුණු කරමින්, අගනුවර හැඩකරන හරිත වර්ණයෙන් අලංකෘත වූ ගුණවත් නැණවත් දරු පරපුරකට අනාගත මං සලකුණු කරන සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට 2023 වසරේ ජනවාරි මසට වසර 50 ක් සැපිරෙයි.

කොළඹ නගරය පුරාවට ඇති ඝෝෂාකාරී ශබ්දයෙන් වෙන් වූ සිරිමා මාතාව නොයෙක් වර්ගයේ සියොතුන්ගේ ඉමිහිරි නාදයෙන් ද අතු රිකිලි සොලවා රඟදෙන වඳුරන්ගේ රැඟුම් වලින්ද අහස සිප ගෙන සිටිනා රූස්ස වෘක්ෂයන්ගෙන් ද හමනා සිසිලසින් ද අනූන සුරපුරයක් බඳුය.

සිරිමාවෝට වසර 50යි

උගනිමු හැදෙමු සැනසෙමු යන තේමා පාඨය මුල් කරගනිමින් අප පාසල් මාතාව මේ වන විට අධ්‍යාපනික, ක්‍රීඩා හා විෂය සමගාමී ක්‍රියාකාරකම් වලින් සමස්ත ශ්‍රී ලංකාව පමණක් නොව ජාත්‍යන්තරය ද ජයගත් සිරිමාවියන් රාශියක් බිහි කර ඇත.

දිවයිනේ ඕනෑම දිස්ත්‍රික්කයකින් බිහිවන ශිෂ්‍යත්වය සමත් දැරියන්ට සිරිමා මාතාව අධ්‍යාපනය, ආදරය, රැකවරණය ලබාදෙමින් ඉමහත් සේවයක් සිදු කරමින් ඇත. 1-13 ශ්‍රේණි දක්වා සිසුවියන් 3500 කට ආසන්න ප්‍රමාණයකට නැණ නුවණ ලබා දෙන අතර ම, සිරිමාවියන්ගේ ක්‍රීඩා කෞශල්‍ය වර්ධනය කරගැනීම සඳහා අංගසම්පූර්ණ ගෘහස්ථ ක්‍රීඩාංගණයක්, ක්‍රීඩා පිට්ටනියක් හා පිහිනුම් තටාකයක් ස්ථාපිත කර ඇත.

අධ්‍යාපනයට මුල්තැන දෙමින් අනෙකුත් විෂය සමගාමී ක්‍රියාකාරකම් රාශියක් එකතු කරගනිමින් අප විද්‍යාලය ලැබූ ජයග්‍රහණයන් අතිවිශාලය. අතීත සිරිමාවියන් රැකගත් පාසල් බාලිකා විනය වත්මන් සිරිමාවියන් එලෙසම රැක ගෙන සිටින්නේ සාඩම්බරයකිනි. එය එලෙසින්ම අනාගත ලෝකයට බාර කිරීම අප සතු වගකීමකි. වත්මන් විදුහල්පති මෑණියන් වන මාලනී හේරත් මැතිනියගේ මගපෙන්වීම යටතේ අප පාසල මේ වන විට ඉතා ඉහළ සාර්ථකත්වයක් හිමිකරගෙන ඇත. එමෙන්ම නියෝජ්‍ය විදුහල්පතිවරුන් හා ආචාර්ය මණ්ඩලය ගුරු මෑණිවරුන් හා ගුරු පියවරුන් අප වෙනුවෙන් කරන කැපවීම මෙතෙකැයි කියා නිම කළ නොහැක. අප පාසල වෙනුවෙන් අනධ්‍යයන කාර්ය මණ්ඩලය ද ඉටුකරන සේවාව අනුපමේයයි. ආදි සිරිමාවියන්ගේ සංගමයේ ද අප පාසලේ ප්‍රාණ නාලිකාව බඳුය. ඔවුහු අප පාසලේ අනාගතය වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටුකරමින් සිටිති. අප විදුහල මේ තරම් ඉහළට ඔසවා තබන්නට වෙහෙස මහන්සි වූ ප්‍රථම විදුහල්පති මෑණියන් වන විමලා ලියනගේ මැතිනිය ඇතුළු සියලු විදුහල්පති මෑණිවරුන් ද, පෙර සිටි සියලුම ගුරු මෑණිවරුන් හා ගුරු පියවරුන්ද හද බැතියෙන් සිහිපත් කරන අතර අප පාසලේ දියුණුව වෙනුවෙන් කැපවූ සහ කැපවෙන සියලුම දෙනාම හදපිරි බැතියෙන් සිහිපත් කරමු.

උගනිමු හැදෙමු සැනසෙමු
චිරං ජයතු
බිනුරි විමුක්තිනී

advertistmentadvertistment
advertistmentadvertistment