සිරිමාවෝ මැතිනියගේ සියරට දේ සිරිපැප දේ ආර්ථික මෙහෙයුම

1848

ජීවන වියදම ලෙස හඳුන්වන්නේ, ගෙදර ආර්ථිකය ය. එය නිරවුල් නොවන තැන පවුලේ කටයුතු සියල්ල අවුල් වියවුල් වන්නේය. මෙය හරිහැටි පාලනය කරන්නට නම් රටේ ආර්ථිකය ඊට සෘජුවම බලපාන්නේය. මේ කාරණය සම්බන්ධයෙන් දුර දිග බලා තීරණ ගත් දේශපාලනඥයින් අතරින් කැපී පෙනෙන චරිතය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ය.

සිරිමාවෝ රත්වත්ත ඩයස් බණ්ඩාරනායක මැතිනිය ලෝකයේ ආණ්ඩුවක ප්‍රධානියා වූ ප්‍රථම කාන්තාවයි. ඇය ශ්‍රී ලංකාවේ තෙවරක් අග්‍රාමාත්‍ය පදවියට පත්වූවාය. ඒ 1960 – 1965, 1970 – 1977 සහ 1994 – 2000 යන කාල වකවානුවලදීය. ඇගේ දෙවන ධුර කාලයේදී දෙවන එලිසබෙත් රැජින ලංකා රජ තනතුරෙන් පහකර රට ජනරජයක් බවට පත්කර රටේ ලංකා නාමය ශ්‍රී ලංකාව ලෙස වෙනස් කෙරිණි.

ඒ වන විට අප රටට අර්ධ නිදහසක් ලැබී තිබුණ ද එය පූර්ණ නිදහසක් බවට පත්ව නිදහස් ජනරජයක් බවට පත් වූයේ ද මේ කාලයේ දීය. බණ්ඩාරනායක මහත්මිය මුල් කරගනිමින් ඇන්. ඇම්., කොල්වින් ඇතුළු වමේ නායකයින් එක්ව සිදු කළේද දේශීය ආර්ථිකය කෘෂිකර්මාන්තයෙන් නඟා සිටුවීමේ වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීමය.

ඒ ආකාරයෙන් ආරම්භ වූ ශ්‍රී ලංකා ජනරජයේ නව ගමන රට ඉදිරියට ගෙන යා හැකි මංසන්ධියක්ව තිබුණි. එතෙක් කල් ආනයනය කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර, නව ආණ්ඩුව මේ ප්‍රතිපත්තිය වෙනුවට රටට අවශ්‍ය දේ රට තුළම නිෂ්පාදනය කිරීමටත් දේශීය කර්මාන්ත නිර්මාණය කර ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය සහාය ලබා දීමටත් එවක තිබූ ආණ්ඩුව කටයුතු කළහ. එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට පෙර රෙදි පිළි ආනයනය, විවිධ ආහාර ද්‍රව්‍ය ආනයනය ඇතුළු කටයුතු සඳහා විශාල විනිමය ප්‍රමාණයක් රටින් පිට කිරීමට සිදු විය. මේ සඳහා මැතිනිය බියකින් සැකයකින් තොරව තීරණ ගෙන තිබිණි.

වැඩි විනිමයක් රටින් පිට කරනවාට වඩා රට තුළ මුදල් රැක ගැනීමට ඇය සැලසුම් සකස් කර තිබිණි. ඒ තත්ත්වය නිවැරැදි කිරීමට සියරට දේ සියරටම නිපදවීමේ ක්‍රමවේදයකට සමඟි පෙරමුණු ආණ්ඩුව කටයුතු කළේය. ඒ වැඩපිළිවෙළට 1973 පමණ වන විට ආණ්ඩුව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබූ අතර, එම වැඩපිළිවෙළ කුමක් ද එහි ප්‍රතිලාභ රටට ලැබෙන්නේ කෙසේ ද යන්න ගැන ජනතාව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට ආණ්ඩුව සැලසුමක් නිර්මාණය කර නොතිබුණේය.

රාජ්‍ය ප්‍රමුඛතාවය දිය යුත්තේ විවිධ සැපැයුම්කරුවන් හරහා ආනයනය කරනු ලබන භාණ්ඩ ලබා ගැනීමටය. එය මැතිනියගේ ප්‍රතිපත්තිය වී තිබිණි. රජය විශාලම ගැනුම්කරුවා ලෙස දේශීය නිෂ්පාදකයාගේ භාණ්ඩ මිලදි ගැනීමට සහ නිෂ්පාදකයාට වෙළෙඳපොළ නිර්මාණය නොකිරීමෙන් දේශීය ආර්ථිකය ගොඩනැගීමේ පදනම බිඳවැටෙන බව ඇය විශ්වාස කළාය. දේශීය නිෂ්පාදකයාට නැගී සිටීමට හැකිවනුයේ රාජ්‍ය යාන්ත්‍රණය විසින් දායකත්වයක් ලබා දීමෙන් පමණකි.

ඇයගේ පාලන කාලයේ දී ඇය ගත් තීරණ අතර ප්‍රබලම තීරණය වූයේ රටේ ආර්ථිකය දේශීය නිෂ්පාදන මත නගා සිටුවීමය. එකල ජනතාව ආහාර පාන ගත යුතු වූයේ ආණ්ඩුවේ සැලසුමට අනුවය. දින හතෙන් බත් කෑ හැකි වූයේ දින තුනකදි පමණි. සෙසු දිනයන්හි දී, අල බතල, මඤ්ඤොක්කා ආදි දේශීය ආහාර ගැනීමට රටේ ජනතාවට සිදුවිය. එහෙයින්ම සෑම නිවසකම පාහේ දේශීය ආහාර බෝග වගා කරන්නට උනන්දුවක් තිබිණි. ප්‍රදේශයකින් ප්‍රදේශයකට හාල් මිරිස් හෝ වෙනත් භෝග ගෙන යෑම ද තහනම් විය. හාල් පොල්ල මිරිස් පොල්ල නම් පටබැඳුණේ ඒ අනුවය. එය මේ තාක් සිදු වූයේ නම් මේ නැව් රටට එනතුරු දත නියවා බලා සිටින්නට සිදු නොවනු ඇත. තමන්ගේ ප්‍රදේශය ආහාරවලින් ස්වයංපෝෂිත වන්නට තිබිණි.

බණ්ඩාරනායකතුමිය උපත ලද්දේ 1916 අප්‍රේල් 17 වන දින, රත්නපුර ඇල්ලවළ වලව්වේදීය. ඇයට නම් තබන ලද්දේ සිරිමා රත්වත්ත ලෙසය. ඇයගේ මව වූ රොසලින්ඩ් හිල්ඩා මහවලතැන්නේ කුමාරිහාමි ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරියක වූවාය, ඇගේ පියා, බාර්න්ස් රත්වත්ත දේශපාලනයේ යෙදුනේය. ඇගේ මාතෘ පාර්ශ්වයෙන් සීයා වූ මහවලතැන්නේ, බලංගොඩ රටේ මහත්මය ලෙස කටයුතු කළේය. ඇගේ පියාද පසුව එම ධුරයේ කටයුතු කළේය. මහනුවර රාජධානියේ රදල පවුලකට ඇගේ පියා අයත් විය. පිතෘ පාර්ශවයෙන් ඈ සර් ජයතිලක කුඩා රත්වත්තට නෑකම් දැරුවාය. ඔහු ශ්‍රී ලංකාවෙන් නයිට් පදවියක් දෑරූ ප්‍රථමයා විය. 1815 මහනුවර ගිවිසුමට අත්සන් තැබූ මාතලේ දිසාවේ ද ඇයට නෑකම් දැරුවේය.

සිරිමා දරුවන් හයක් යුක්ත පවුලේ වැඩිමහලා විය. ඇයට සහෝදරයන් හතරක්, බාර්න්ස්, සීවලී, මැකී හා ක්ලිෆර්ඩ්, ද සහෝදරියක පැටී්‍රෂියා සිටියහ. ඇගේ සහෝදරිය කර්නල් එඩ්වඩ් ජේම්ස් දිවිතොටවෙල සමග විවාහ වූවාය. මුලින්ම ඇගේ සීයාගේ වලව්වේ පවුල විසූ අතර, පසුව, බලංගොඩ ඔවුන්ගේම වලව්වකට ගියහ. කුඩා කලක සිටම, සිරිමාට ඇගේ සීයාගේ විශාල සාහිත්‍යය හා විද්‍යා පොත්පත් එකතුව හැදෑරුවාය. මුලින්ම බලංගොඩ පෙරපාසලක ඉගෙනුම ලත් ඈ පසුව, කෙටිකලට රත්නපුර ෆර්ගසන් උසස් පාසලට යවා, ඉක්බිතිව කොළඹ ශාන්ත බි්‍රජට් කන්‍යාරාමයේ නේවාසික අධ්‍යාපනයට යොමු විය. කතෝලික පාසල් පද්ධතියක අධ්‍යාපනය ලැබුවද, ඇය ජීවිත කාලය පුරාවටම බුද්ධ ධර්මය වැළඳ සිටියාය. සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකම කතා කළාය.

1940 දී ඇය සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතා සමඟ විවාහපත් විය. සොලමන් ඩයස් බණ්ඩාරනායකගේ අභාවයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත් ඇය මරණයට පත්වනතුරුම එහි නායකත්වය හෙබවූවාය. 1977 පක්ෂය ලැබූ මැතිවරණ පරාජයත් සමඟම ඊට ටික කලකට පසු එනම් 1980 දී ඇයගේ ප්‍රජා අයිතිය ද අහෝසි කරනු ලැබීය.

ඇගේ පාලන සමයේදී ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ ඉතා තීරණාත්මක සිදුවීම් රැසක් සිදුවිය. සියලු රාජ්‍ය ආයතනයන්හි ප්‍රධාන භාෂාව ලෙස සිංහල භාෂාව නම් කිරීමත් ඒ සමඟම පැන නැඟුණ දෙමළ සුළු ජන කොටසේ සාමාජීය අර්බුදය ඉන් එකකි. ලංකා සම සමාජ පක්ෂයන් සමඟ සන්ධානාගත වීම, චීනය සහ සෝවියට් රුසියාව අතර සම්බන්ධතා තර කිරීම ද ඒ අතර ප්‍රධාන විය. මේ සියල්ල සමග මැතිනියගේ එකම අපේක්ෂාව වූයේ දේශීයත්වය රැක ගනිමින් රට සංවර්ධනය කිරීමය. නමුත් කූට දේශපාලන බලධරයින් ඊට ඉඩක් තැබුයේ නැත.

එවන් තත්ත්වයක් දැන්වත් හඳුනාගත යුතුය. 1970 සිට 1977 දක්වා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළෙහි අඩුපාඩු හඳුනාගෙන ඒවා මඟහැර වත්මනට ගැලපෙන ලෙස මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කාලෝචිතය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නාමයටත් ක්‍රියාකලාපයටත් ගෞරවයක් ලැබෙන්නේ එවිටය.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment