සිරිමා සභාග ආණ්ඩුව එදා…

412

හාල් නැතිව බත් කන්නම්, සීනි නැතිව තේ බොන්නම්, මිරිස් නැතිව හොදි කන්නම්….

 සිරිමා මැතිනියගේ සභාග ආණ්ඩුව කාලයේ ඔවුන්ගේ හිතවතුන් එදා මේ ආකාරයට උද්ඝෝෂණ කළේ එම ආණ්ඩුව එදා වගාවට තැනදී ක්‍රියා කිරීම හේතුවෙන් රටේ ජනතාව එදා අන්ත අසරණයට පත් වී සිටියේය.

 වැසියන්ට බත් කෑම සීමා කළේය. බොහෝ දෙනෙක් හොර රහසේ බත් කෑමට ක්‍රියා කළේ දංගෙඩියට බෙල්ල දීමට සැරසෙන සිරකරුවන් සේය.

 උද්ඝෝෂණ රැල්ල රට පුරා ක්‍රියාත්මක විය. රජයේ දෙපාර්තමේන්තුවල වැඩ වර්ජන ක්‍රියාත්මක විය. එවකට මුදල් ඇමැති (ලංකා සමසමාජ පක්ෂයේ) ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාය.

 ඇන්. ඇම්. පෙරේරා මහතා රටේ ජනතාවගේ අප්‍රසාදයට මොහොතින් මොහොත ලක් විය. මගේ මතකයේ හැටියට ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා තවත් අලුත් උපක්‍රමයක් යොදා ගත්තේ මිනිසුන්ගේ සැඟ වූ සල්ලි එළියට ගැනීමට ක්‍රියා කිරීමටය. රුපියල් සියගේ නෝට්ටු තහනම් කිරීමට ක්‍රියා කරන නිසා එම නෝට්ටු ළඟ තබා ගත් උදවිය ළඟම බැංකුවට එය භාරදී ඒ වෙනුවට අලුත් නෝට්ටුවක් ලබා ගන්නා ලෙස එදා ආණ්ඩුව ක්‍රියා කළේය.

 රට වැසියන් බොහෝ දෙනෙක් තමන්ගේ රුපියල් සියයේ නෝට්ටු බැංකුවට භාරදීමට ක්‍රියා කළ අතර තවත් සමහරු සියයේ නෝට්ටු විශාල ප්‍රමාණයක් බැංකුවට භාරදී තිබිණි.

 ඒ මුදල් තමන් එකතු කළ ඒවා යැයි සමහරු බැංකු නිලධාරීන්ට දැනුම් දුන් අතර රුපියල් සියයේ නෝට්ටු එකතු කළ වයසක උදවිය බැංකු නිලධාරීන්ට කීවේ දුවගේ විවාහයට දෑවැද්ද දීම සඳහා මෙම මුදල් එකතු කළ බවය.

 කතෝලික බැතිමතුන් පවා සිරිමාගේ ආණ්ඩුව පිළිබඳව කලකිරී සිටියේය. විදේශීය රටවල සිට මෙහි පැමිණි සුදු ජාතික පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියෝ රටින් පිටුවහල් කිරීම සහ කතෝලික පාසල් රජය සතු කිරීම හේතුවෙන් කතෝලික සභාව ද ආණ්ඩුව කෙරෙහි දැඩි අප්‍රසාදය පළ කළේය.

 1976 කාලයේදී මට ඇති වූ අමිහිරි සිද්ධියක් මගේ මතකයට එයි.

 රඹුක්කන කුඩාගම පල්ලියට ගිය මොහොතේ හාල් සේරු දෙකක් මම මිලට ගතිමි.

 සේරුවක මිල රුපියල් තුනයි පනහක් (3.50) හාල්සේරු දෙක අඩංගු බෑගය දුම්රියේ උඩ තට්ටුවේ තබා ආපසු කොළඹ බලා එද්දී පොල්ගහවෙල දුම්රිය පළ අද්දරදී පොලිසිය දුම්රිය මැදිරියට පැමිණ මගේ හාල් මලු දෙක සමග තවත් හාල් මලු කීපයක් පොලිස් භාරයට ගත්තේය. මෙම හාල් මලු සඳහා අයිතිකරුවන් කිසිවෙක් ඉදිරිපත් නොවීය.

 එසේ ඉදිරිපත් වූයේ නම් ඊට එරෙහිව නඩු මඟට පිවිසීමට කිසිවෙකු කැමති නැත.

 කෙසේ වෙතත් මැතිවරණ උණුසුම ඇති වූ මොහොතේ වර්ජන රැල්ල වඩාත් පුළුල් වී තිබිණි.

 ආණ්ඩුවේ ගුවන්විදුලියෙන් වර්ජකයන්ට විශේෂ දැනුම් දීම් ක්‍රියාත්මක කළේය. වැඩ කළ යුතු මේ වෙලාවේ වැටුණොත් ඔබ මංමුලාවේ ජාතියත් අන්තරාවේ ජාතික කැක්කුමක් නැද්ද යන විරිඳු පෙළ වරින්වර වාදනය කළේය. රජයේ හොරනෑව වශයෙන් සැලකෙන ලේක්හවුස් වර්ජනයත් ක්‍රියාත්මක වී තිබිණි.

 77 මැතිවරණයෙන් සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුව මුළුමනින්ම පරාජය විය. එජාප නායක ජේ. ආර්. ජයවර්ධන මහතා අගමැතිවරයා වශයෙන් පත් වී පසුව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

 නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment