සිරිලකට සංවර්ධන යුගයක් උදා කළ ජේ. ආර්. ජයවර්ධන

1795

ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 115 වන ජන්ම සමරුව

ජූනියස් රිචඞ් ජයවර්ධන හෙවත් ජේ.ආර්. ජයවර්ධන මහතා මෙලොව එළිය දුටුවේ මීට වසර 115 කට පෙර 1906 සැප්තැම්බර් 17 වෙනිදාය. ඊ.ඩබ්. ජයවර්ධන මහතාගේ පවුලේ කුළුඳුල් දරුවාගේ උපත ලෙසය.

ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පියාණන් වූ රාජනීතිඥ ඊ.ඩබ්. ජයවර්ධන හෙවත් යූජින් විල්ෆ‍්‍රඞ් ජයවර්ධන මහතා විවාහ වූයේ සේදවත්ත වලව්වේ විසූ ප‍්‍රබල බෞද්ධ කාන්තාවක් වන හෙලේනා විජේවර්ධන මැතිනියගේ දියණියක වන ඇග්නස් හෙලන් විජේවර්ධන මෙනවිය සමගය. ඇය පෙර සඳහන් වූ ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ වූ ඞී.ආර්. විජේවර්ධන මහතාගේ වැඩිමහල් සහෝදරියයි. ඊ.ඩබ්. විජේවර්ධන මහතා 1917 දී ලංකා ජාතික සංගමය පිහිටුවීමේලා පුරෝගාමී මෙහෙවරක් සිදුකළ ජාතික නායකයෙකි. වර්ෂ 1911 දී කොළඹ නගර සභාවට තේරී පත්ව නාගරික මන්ත‍්‍රීවරයෙකු වූ ඊ.ඩබ්. ජයවර්ධන මහතා පියවරෙන් පියවර ඉදිරියට පැමිණ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු වශයෙන් පත් වූ අතර, ඊට පෙර එංගලන්ත ආණ්ඩුවෙන් රාජනීතිඥ නාමයෙන්ද සිය නීතිඥ වෘත්තිය හැඩගන්වා ගත්තේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වූ ඊ.ඩබ්. ජයවර්ධන මහතා 1932 නොවැම්බර් 28 වැනිදා මිය යනවිට 58 වන වියේ පසුවිය. ඊ.ඩබ්. ජයවර්ධන මහතාගේ පවුලට දරුවන් 11 දෙනෙකු විය. ජේ.ආර්. පළමුවැන්නාය.

සිරිලකට සංවර්ධන යුගයක් උදා කළ ජේ. ආර්. ජයවර්ධන
ජේ.ආර්. ඉන්දීය නායිකා ඉන්දිරා ගාන්ධී, නරසිම්හ රා ඕ සහ ලලිත් ඇතුලත්මුදලි සමග

ජේ.ආර්. අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. පාසල් අධ්‍යාපනයෙන් පසුව නීතිය හදාරා 1932 දී නීතිඥවරයෙකු වශයෙන් දිවුරුම් දී සිය වෘත්තියේ වැඩ අරඹද්දි සිදු වූ තම පියාගේ හදීසි අභාවය ජේ.ආර්.ගේ ඉදිරි  ගමනට විශාල පහරක් විය. නමුත් උත්සාහය අත් නොහළ ජේ.ආර්. පවුලේ වැඩිමහල් දරුවා ලෙස අනෙකුත් සහෝදර  සහෝදරියන්ගේද වගකීම් කරට ගනිමින් තීරණාත්මක ගමනක් යාමට අධිෂ්ඨාන කරගත්තේය. නීති වෘත්තිය, පවුලේ වගකීම් ආදිය සිදු කරන අතර, දේශපාලනය හා සමාජසේවා කටයුතු ඔහු අතරමග නතර කළේ නැත. ඩඞ්ලි සේනානායක මහතා සමග ලංකා ජාතික සංගමයේ සමලේකම් පදවිය දැරූ ජේ.ආර්. ජයවර්ධන මහතා ඉංග‍්‍රීසි අධිරාජ්‍යයෙන් ලංකාව නිදහස් කරගැනීම සඳහා සටන් වදින තරුණ නායකයෙකු ලෙස නීති විද්‍යාලයේ සිටින විටදීම ප‍්‍රසිද්ධියට පත්විය.

සිරිලකට සංවර්ධන යුගයක් උදා කළ ජේ. ආර්. ජයවර්ධන
ජේ.ආර්. කියුබානු නායක පිදෙල් කැස්ත්‍රෝ සමග

ඔහු එකල ඉන්දියා නිදහස් සටනේ නායකයා වූ මහත්මා ගාන්ධිතුමාගේ සේයාරුවක් නීතිවිද්‍යාලයේ ප‍්‍රදර්ශනය කිරීම සඳහා මූලිකව කටයුතු කළේ සියලූදෙනාගේම විරෝධතාවය මැදය. නමුත් එංගලන්ත ආණ්ඩුවේ පවත්වාගෙන යන නීති පීඨයේ එම සේයාරුව ඔහු විසින්ම විවෘත කරමින් තම අධිරාජ්‍ය විරෝධිභාවය පෙන්නුම් කළේය. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මව බෞද්ධ කාන්තාවක් වුවද පියා ක‍්‍රිස්තියානි භක්තිකයෙක් විය. ජේ.ආර්.ජයවර්ධන තරුණ වියේදීම බුදු දහම වැලඳ ගත්තේය. එයට හේතු වූයේ පැලෑනේ වජිරඥාන මහා නාහිමියන්ගේ හා වජිරාරාම වාසී නාරද මාහිමියන්ගේ ඇසුරයි. උන්වහන්සේලා වෙතින් දහම් දැනුම ලබා ගත් ජේ.ආර්. කුඩා කාලයේදී තම මෑණියන් වූ හෙලන් විජේවර්ධන මාතාවගේ ඇසුර නිසා බොහෝ දහම් කරුණුවලින් දැනුවත්ව සිටි බව පෙනී යයි. ජේ.ආර්. බෞද්ධයෙකු වීමට උදව් උපකාර කළ අනෙක් පුද්ගලයා නම් ඔහුගේ මාමා වූ ඞී.ආර්. විජේවර්ධන මහතාය. බෞද්ධයෙකු වශයෙන් ඉදිරියට ආ ජේ.ආර්. සිංහල බෞද්ධ සංස්කෘතියට කැප වෙමින් එතෙක් තමා ඇඳ-පැළඳ සිටි ටයි, කෝට්, කබා අතහැර දමා ජාතික ඇඳුම පිළිගෙන ස්වදේශිකයෙකු වශයෙන් කටයුතු කිරීමට එම ඇඳුමෙන් සැරසුණේය. බොහෝ අවස්ථාවල ජේ.ආර්. තමාගේ ඉංග‍්‍රීසි නාමය වෙනුවට රවී යන නම යොදාගත් ආකාරයක් ද පෙනී යයි.

කොළඹ නගර සභාවේ මන්ත‍්‍රීවරයෙකු වශයෙන් පත් වූ ජේ.ආර් 1946 දී එක්සත් ජාතික පක්ෂය පිහිටුවන අවස්ථාවේදී එහි ආරම්භක සාමාජිකයෙකු වන සර් රෆීක් ෆරීඞ් මහතා සමග එක්ව පක්ෂයේ සම භාණ්ඩාගාරික පදවියට පත්වූයේ සියලූ දෙනාගේ කැමැත්තෙනි. ඒ වන විට ඔහු කැලණියේ රාජ්‍ය මන්ත‍්‍රීවරයා වශයෙන් පත්ව සිටියේය. රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ සභාපතිව සිටි ශ‍්‍රීමත් ඞී.බී. ජයතිලක මහතා ඉන්දියාවේ මහ කොමසාරිස් පදවියට පත් වී යෑම නිසා හිස් වූ කැලණියේ රාජ්‍ය මන්ත‍්‍රී පුරප්පාඩුව හේතුවෙන් රාජ්‍ය මන්ත‍්‍රීවරයෙකු පත් කර  ගැනීමේ අතුරු මැතිවරණය පැවැත්වූයේ 1943 වසරේ අපේ‍්‍රල් 17 වෙනිදාය. මෙම මැතිවරණයට ලංකා ජාතික සංගමයේ නායකයෙකු වූ කෝට්ටේ සිංහයා යැයි විරුදාවලියෙන් පුද ලැබ සිටි ඊ.ඩබ්. පෙරේරා මහතා ඉදිරිපත්ව සිටියහ. ඒ අතර ජේ.ආර්. ජයවර්ධන මහතා ද ඉදිරිපත් විණි. ජේ.ආර්ගේ පැමිණීම නිසා ඔහු වැළැක්වීමට ජේ.ආර් ජයවර්ධන මහතාගේ මාමා වූ ඞී.ආර්. විජේවර්ධනයන් නොගත් උත්සාහයක් නොමැත. එය ව්‍යර්ථ කරමින් ජේ.ආර්. ඉදිරිපත් විය. ඞී.ආර්. සහ ලේක්හවුස් ආයතනය උදව් කළේ ජේ.ආර්. මහතාට නොව ඊ.ඩබ්. පෙරේරා මහතාටය. නමුත් කැලණිය ආසනයේ විශිෂ්ට ජයක් ලැබීමට තරුණ ජේ.ආර්.ට අවස්ථාව උදා විය. ඡුන්ද 21,765 ක් ලබාගත් ජේ.ආර්, ඊ.ඩබ්. පෙරේරාට වඩා වැඩි ඡුන්ද 10,195 ක් ලබා ගත්තේය.

1935 පෙබරවාරි මස 28 වන දින ජේ.ආර්.ජයවර්ධන මහතා විවාහ ජීවිතයට පත් විය. ඔහුගේ මනාලිය වූයේ ප‍්‍රධාන පෙලේ ධනවතෙකු වූ ඒ.ජී. රූපසිංහ මහතාගේ දියණිය වූ එලීනා රූපසිංහ මෙනෙවියයි. මොවුන් දෙපළට උපන් දරුවා රවීන්ද්‍ර විමල් ජයවර්ධන විය. ජේ.ආර්. ජයවර්ධන පරපුරේ සිංහල නමක් ලැබුණු ප‍්‍රථම පුද්ගලයා වන්නේද ජේ.ආර්. ජයවර්ධනයන්ගේ පුතණුවන් වූ රවීන්ද්‍ර විමල් ජයවර්ධනයන්ය.

1947 ප‍්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් කැලණිය අසුනට පැමිණි ජේ.ආර්. ජයවර්ධන මහතා, ඞී.එස්. සේනානායක රජයේ මුදල් ඇමැතිවරයා වශයෙන් දිවුරුම් දුනි. ඒ සමග ලංකාවේ ප‍්‍රථම මුදල් ඇමැති පදවියට පත් වී ඔහු තැබූ වාර්තාව ඉතිහාස ගත වී ගත වී ඇත. වර්ෂ 1952 දී පිහිටු වූ ඩඞ්ලි සේනානායක රජයේ මුදල් ඇමැති පදවිය ලැබූ මෙතුමා සර් ජෝන් කොතලාවල රජය සමයේ සභානායක පදවිය සහ කෘෂිකර්ම හා ආහාර අමාත්‍ය පදවියෙන් පිදුම් ලැබීය.

1965 මාර්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට විශිෂ්ට ජයක් අත් විය. එම රජයේ අගමැති පදවිය සී.පී. ද සිල්වාට බාරගන්නා ලෙස ඩඞ්ලි සේනානායක මහතා පැවසුවත් සී.පී. එය බාරගත්තේ නැත. ජේ.ආර්ට හිමි විය යුතු සභා නායක පදවිය සී.පීට පිරිනමන්නට ජේ.ආර් කැමති විය. එම නිසා ශ‍්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂයේ නායකයා වූ සී.පී., ඩඞ්ලි සේනානායක රජයේ සභානායක වූ අතර, ජේ.ආර්. රාජ්‍ය ඇමති පදවිය නම් නව අමාත්‍ය පදවියේ වැඩ බාරගෙන දුන් ආදර්ශය තනතුරු නිලතල බලතල සොයා දේශපාලනයේ යෙදෙන සියලූ දෙනාටම යහ පාඩමක් වනු ඇත.

1977 ජූලි මස 21 වන දින පැවැති මහ මැතිවරණයේදී ආණ්ඩුව පවත්වාගෙන ගිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 8 කට සීමා විය. ආණ්ඩුවේ මැති  ඇමැතිවරුන්ගෙන් මැති සබයට පැමිණියේ සිරිමාවෝ මැතිනිය සහ මෛත‍්‍රීපාල සේනානායක මහතා පමණි. ජේ.ආර්. සමග එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු බලය හිමි වූයේ හයෙන් පහක ජනවරමක් සහිතවය.

නව රජය මාසයක් ගත වන විට සියලූ භාණ්ඩ හිඟයන් සුන් කර දමා ජනතාවට සෙත සැලසීමට පියවර ගත්හ. නව විවෘත ආර්ථික ක‍්‍රමය යටතේ භාණ්ඩ හිඟය මැඩ පැවැත්විනි. ජේ.ආර්. මහතාගේ නව රජය තුළින් අධ්‍යාපනයේ සිට ආණ්ඩුක‍්‍රමය දක්වා වෙනස් කළේ ජනතාවාදී පාලන කටයුතු පාලනයකටය. පාර්ලිමේන්තුවේ සිට අගනුවර දක්වා නව ස්ථානවල පිහිටුවීය.

සිහිනයක්ව තිබූ මහවැලි සංවර්ධන ව්‍යාපාරය නව අමාත්‍යංශයක් යටතේ වසර 6 ක් තුළ සියලූ ඉලක්ක සපුරාලමින් අවසන් කළේය. ගොවියාට ගොවිතැන් කිරීමට ගොවිබිම් අක්කර ලක්ෂ  ගණනක් අභිනවයෙන් පැවරිනි. ඉඟිනිමිටිය,

ලූණුගම්වෙහෙර ආදී නව ප‍්‍රසිද්ධ ව්‍යාපාර ගොඩනැගුනි. ලංකාවේ නිෂ්පාදිත සහල් පිටරටට විකිණීමට පවා මේ කාල සීමාව තුළ හැකි විය.

ශ‍්‍රී ලංකාවේ නව සංවර්ධනය අඩාල කිරීමට දේශීය හා විදේශීය කුමන්ත‍්‍රණ ක‍්‍රියාත්මක විය. එයින් එක් අවස්ථාවක් එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය නැගි සිටීම සඳහන් කළ හැකිය. දෙවනුව ජේ.වී.පී. භීෂණය පැවැත්වීම තවත් එක් අවස්ථාවකි. ලංකාවට කැල්කියුලේටරයේ සිට පරිගණකය දක්වා නවීන තාක්ෂණ උපකරණ ගෙන ආවේ ජේ.ආර්. ජයවර්ධන යුගයේදීය. ලංකාව ලෝකයේ රටක් බවට පත් කළේය. රූපවාහිනිය සේවා ආරම්භ කළ අතර ගුවන් විදුලිය ප‍්‍රාදේශීය වශයෙන් විවෘත කර රජරට, රුහුණු, මහවැලි ආදී ප‍්‍රාදේශීය ගුවන් විදුලි සේවා ආරම්භ කළේය. උදාගම්, ගම් උදාව, මහපොල, ස්වර්ණ භූමි ඔප්පු, පාසල් පොත් නොමිලේ දීම පාසලෙන් ඉවත් කළ ඉතිහාසය, සිංහල සාහිත්‍යය පාසලට ගෙනවුත් ළමුන්ට උගැන්වීමට අවස්ථාව සලසා දීම මේ යුගයේදී සිදු විය. සංස්කෘතික ත‍්‍රිකෝණය ආරම්භ කර විනාශයට යමින් තිබූ සිංහල බෞද්ධ සංස්කෘතියේ ප‍්‍රබල ස්ථාන යළි පෝෂණය කර ගොඩ නැංවීය. මැතිනිය අවලංගු කර තිබූ නිදහස් දින නිවාඩුව සහ නිදහස් දින සමුළුව යළි ඇරඹීමට ජයවර්ධන රජය කටයුතු කළේ අභිමානවත් රටක නිදහසේ උපත සිහි කිරීමටය.

මේ ආදී වශයෙන් ගත් කල ජේ.ආර්. ජයවර්ධන යුගය සංවර්ධන රටක් ගොඩ නැංවූ ජාතියෙත්, දේශයේත් ස්වර්ණමය කාලයක් විය. ඔහු මෙරටට පෙන්වූ සංවර්ධන මාවත අදත් විවෘතය. ඒ සඳහා කැලෑ පාරවල්, පටු මං මාවත් නැත. වරක් ඇමරිකාවට ගිය ජේ.ආර්.ට එවකට ජනාධිපතිව සිටි රොනල්ඞ් රේගන් පැවසුවේ ඔබගේ පාලනයට ලංකාව පොඩි වැඩි බවයි. ඔබ සිටිය යුත්තේ ඇමරිකාව වැනි රටක බවයි. එංගලන්තයේ අගමැතිනිය වූ මාග‍්‍රට් තැචර් පැවසූවේ ඔබේ දේශපාලන දැනුම් හා අත්දැකීම් ඉදිරියේ මා මොන්ටිසෝරි ළමයෙක් බවයි.

ජපානය ජේ.ආර්ට සැලකුවේ ලෝකයේ සාම කුමරා ලෙසයි. ජපානය අද හුස්ම ගන්නේ ජේ.ආර්. ලොවට පැවසූ බුදු බණ පාඨය නිසා බව ඔවුන් අදත් සිහිපත් කරයි. නමුත් ලංකාවේ ඇතැමුන් ජේ.ආර්. ජයවර්ධනයන්ගේ පාලනයේ අවසාන කාලයේ බිත්තිවල ලිව්වේ ”ජේ.ආර්. මරමු” යනුවෙනි.

ලෝකයේ රාජ්‍ය නායකයන් අතරට සුවිශේෂී නායකයන් රැුසක් විවිධ රටවලින් බිහි වී තිබුණි. උදාහරණ වශයෙන් ඉන්දියාවේ ශ‍්‍රී නේරු, එංගලන්තයේ වින්ස්ටන්ට් චර්චිල්, චීනයේ මාවෝ සේතුන් හා චෞ එන් ලායි, කියුබාවේ පිදෙල් කස්ත්‍රෝ, සිංගප්පූරුවේ ලී ක්වාන් යූ,

යූගොස්ලෝවියාවේ මාර්ෂල් ටිටෝ ආදීන් ගිනිය හැක. ලංකාවේ එවැනි රාජ්‍ය නායකයෙක් බිහි වූවා නම්, එවැනි නායකයෙක් ලෝකය ඇමතුවා නම්, ඔහු අන් කවරෙක් වත් නොව එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ.ආර්. ජයවර්ධනයන් ය. ඔහු නොබැඳි සම්මේලනයේ සභාපති වූ අතර, සාර්ක් සංවිධානය බිහි කිරීමේ පුරෝගාමියෙකුද විය. කොළඹ ක‍්‍රමයේ නිර්මාතෘ වූ ජේ.ආර්. වමත් දකුණත් රාජ්‍ය ප‍්‍රතිපත්තින් සමබරව ඇසුරු කළ අයෙකි. එයට කදිම උදාහරණයක් වන්නේ ලංකාවේ දේශපාලකයන් හා කියුබාවේ කස්ත්‍රෝ සමග එකට ඡුායාරූප ගත් රාජ්‍ය නායකයෙකු සිටී නම් ඔහු ජේ.ආර්. පමණී. එලෙසම ලංකාවේ යම් රාජ්‍ය නායකයෙකුගේ ප‍්‍රතිමාවක් විදේශ රටක පිහිටෙව්වා නම් ඒ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ප‍්‍රතිමාව පමණක් වනු ඇත. එය ජපානයේ අදද ගරු බුහුමන් ලබමින් විරාජමානව පවතී.

සිරිලකට සංවර්ධන යුගයක් උදා කළ ජේ. ආර්. ජයවර්ධන


හිටපු අමාත්‍ය  වජිර අබේවර්ධන
සභාපති – එක්සත් ජාතික පක්ෂය

advertistmentadvertistment
advertistmentadvertistment