සිරුරට භූමි තෙල් දමා බිරිඳ ඝාතනය කළ නරුම සැමියා එල්ලුම් ගහට…සැමියාට එල්ලූම්ගස නියමේ වේ

326

හම්බන්තිට සසල කළ ඛේද වාචකය

විවාහය යනු හොඳයි නම් ඉන්නවා නැති නම් අයින් වෙනවා කියා සිතමින් හුදෙක් අත්දැකීමක් ලබා ගැනීම සඳහා කරන්න පුළුවන් ගනුදෙනුවක් නොවෙයි. ඒ හා බැඳුණු චිත්තවේග, සමාජමය, අධ්‍යාත්මික බැඳීම් සමූහයක් තියෙනවා. හුදෙක්ම ජීවිතය සාර්ථකව ගෙවා ගැනීමට නම් දෙදෙනෙකු අතර ඇති වන මෙම විශ්වාසය හා ආදරය මැරෙනතුරා තිබිය යුතුය.”සැරයටියෙන් අපි යනෙන තුරා, සංසාරේ අපි එකට ඉමු, සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු’’ මේ ගීත කොටස තුළින් පවුල් ජීවිතයේ ඇති රසය පිළිබඳව ආදරය පිළිබඳව මනාවට පැහැදිළි වෙනවා ඇති. එලෙස ඇතිවන ආදර බැඳීමක් කෙටි කලක් තුළ මහා අපරාධයක් කිරීමට තරම් යොමු වන්නේ නම් එය කොතරම් ඛේදජනකද. අද අප ඔබට ලියන්නට යන මේ කතාවද එවැනි එකකි. විවාහ ජීවිතය තුළදී කොතරම් මුදල් හදල් අඩුපාඩු සිදු වුණද ඒවා දෙදෙනා විසින් එක්ව විසඳාගත යුතුය. මෙම සිදුවීම අපට වාර්තා වන්නේ හම්බන්තොට ප‍්‍රදේශයෙනි.

26 හැවිරිදි තුවාන් අනුෂ්ට 16 හැවිරිදි සිත්ති නිසාර් අතර ඇති වූ ආදර සබඳතාවය කෙළවර වූයේ විවාහයෙනි. වසර දෙකකට ආසන්න කාලයක් ඉතා සතුටින් පවුල් කෑ අනුෂ්ටත් සිත්ති නිසාර්ටත් පුංචි දරු පැටවෙකුද ලැබුණේ ආදර කැදැල්ල තවත් එළිය කරමිනි. අනුෂ් ලේවායේ වැඩට වගේම විවිධ කුළී වැඩටද ගොස් උපයාගත් මුදලින් පවුල් ජීවිතය නඩත්තු කරගෙන ගියද වැඩිකල් දෙදෙනාට සතුටින් පවුල් කෑමට නොහැකි විය. ඊට ප‍්‍රධාන හේතුව වූයේ නිවසේ වූ මුදල් හදල් අගහිඟකම්ය. මෙය කොතරම් දුරදිග ගියේද කියතොත් සතුටින් ගෙවූ පවුල් ජීවිතය දෙදෙනාටම මහා අපායක් බවට පත් විය. නිතර නිතර දෙදෙනා අතර ආරවුල් රණ්ඩු වැඩි විය. මේ දෙදෙනාගේ නිවසට පිටුපසින් පිහිටි නිවසේ ජීවත් වූයේ සිත්ති නිසාර්ගේ පුංචි අම්මා වූ සිත්ති යසීරාය. අනුෂ්ගේත් සිත්තිගේත් රණ්ඩු නිතර නිතර බේරීමට සිදු වූයේ යසීරාටය. දිගින් දිගටම දෙදෙනා අතර පවුල් ආරවුල් ගුටි කෙළි සිදු වෙද්දී යසීරාද ඒ දෙස නොබලා සිටීමට වග බලා ගත්තේ දෙදෙනාට කොතරම් අවවාද උපදෙස් දුන්නත් ඒවා කිසිදු පලක් නොවුණු නිසාය.

දිනය 2004.04.08 ය. වේලාව රාත‍්‍රි 9.00ට පමණය. අසල නිවසේ වූ යසීරාට සිත්ති හා අනුෂ්ගේ නිවස දෙසින් මහා රණ්ඩුවක් ඇසුණි. දෙදෙනා සුපුරුදු පරිදි රණ්ඩු වෙන බව දුටු යසීරා එය එතරම් කනකට නොගෙන පාඩුවේ සිටියේය. එහෙත් එදින ඇයටද මේ රණ්ඩුව දෙස බලා සිටිය නොහැකිය. යසීරා නිවසින් එළියට බැස්සේ සිත්තිගේ නිවස දෙසට යන්නය. ඒ වන විට සිත්තිගේ කෑ ගැසීම අඩු විය. නිවස දෙසින් පුළුටු ගඳක්ද යසීරාට වහනය විය. අඩි ඉක්මන් කළ ඒ දෙසට ගිය යසීරාට දැකගත හැකි වූයේ ඇස් අදහාගත නොහැකි දෙයකි. සිත්ති පිළිස්සුම් තුවාල සහිතව කෙඳිරි ගාමින් බිම වැටී සිටියේය.”මොකද්ද දරුවෝ මේ කරගත්ත අපරාදේ’’ කියා යසීරා බිම වැටී සිටි සිත්තිගෙන් විමසීය. එහිදී බිම වැටී සිටි සිත්ති ”මට අනූ….අනූ….’’ කියා පමණක් යසීරාට වචන මිමිනුවාය. ඒ වන විටත් සිත්තිගේ සැමියා වූ අනුෂ් ඒ අසල කාමරයේ විය. සිත්ති බරපතළ තුවාල ලබා සිටි නිසා වහා ක‍්‍රියාත්මක වූ යසීරා සිත්තිගේ සැමියාගේද උදව් ඇතිව ති‍්‍රරෝද රථයකින් හම්බන්තොට රෝහලට ඇතුළත් කෙරුණි. ඇයගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් මූලික ප‍්‍රතිකාර පමණක් ලබා දීමෙන් පසු තුවාලකාරිය ගිලන් රථයකින් මාතර මහ රෝහල වෙත මාරුකර යැවුණි. (එවකට මූලික රෝහලකි) සිත්ති නිසාර් පිළිස්සුම් තුවාල හේතුවෙන් ජීවිතයත් මරණයත් අතර පොරබදමින් සිටි නිසා මාතර රෝහලේ වෛද්‍යවරුන් විසින් ඇය වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ පිළිස්සුම් ඒකකය වෙත ඇතුළත් කෙරුණි. ඒ 2004.04.09 වන දින පෙරවරු 9.30ට පමණය.

සිරුරට භූමි තෙල් දමා බිරිඳ ඝාතනය කළ නරුම සැමියා එල්ලුම් ගහට...සැමියාට එල්ලූම්ගස නියමේ වේ

කොළඹ ජාතික රෝහලේ පිළිස්සුම් ඒකකයට ඇතුළත් කෙරුණු සිත්ති නිසාර් වෙත ප‍්‍රතිකාර සිදු කෙරුණ අතර එම අවස්ථාවේ වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරියක වූ වෛද්‍ය. පී. එච්. ඉනෝකා ද සිල්වා මහත්මිය විසින් සිත්තිගෙන් සිද්ධිය පිළිබඳව විමසා ඇති අතර එහිදී දැඩි පිළිස්සුම් තුවාල ලබා සිටි සිත්ති වෛද්‍යවරයාට පවසා ඇත්තේ සැමියා වූ අනුෂ් විසින් තමන්ගේ සිරුරට භූමිතෙල් දමා ගිණි තැබූ බවයි. වෛද්‍යවරිය විසින් තුවාල කාරියගේ අදාළ ප‍්‍රකාශයද ඇයගේ ඇඳ ඉහපත් සටහන් පොතෙහි සටහන් කළාය. ඒ වන විටත් තුවාලකාරියගේ සිරුරෙහි 70%ක් පමණ ගැඹුරු තුවාල නිරීක්ෂණය කළ බව වෛද්‍යවරයා විසින් සටහනක්ද දමා තිබුණි. දිනෙන් දින ඉතා බරපතළ තත්ත්වයේ පසු වූ සිත්ති කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී 2004.04.11 දින පෙරවරු 09ට පමණ මිය ගියාය. පසුව සිද්ධිය පිළිබඳව කොළඹ ජාතික රෝහලේ රෝහල් පොලිසිය විසින් දුරකතන මාර්ගයෙන් හම්බන්තොට පොලිස් ස්ථානය වෙත වාර්තා කෙරුණි. ඒ අනුව ක‍්‍රියාත්මක වු හම්බන්තොට පොලිසියේ එවකට අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වූ උප පොලිස් පරීක්ෂක ප‍්‍රසන්න කුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිද්ධියට සැකපිට පිළිස්සුම් තුවාල සහිතව මියගිය සිත්ති නිසාර්ගේ සැමියා වූ තුවාන් අනුෂ් යූනූස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණි. පසුව සිද්ධිය පිළිබඳව හම්බන්තොට මහෙස්ත‍්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමෙන් පසු හම්බන්තොට මහෙස්ත‍්‍රාත් වරයා විසින් ස්ථානීය පරීක්ෂණයක්ද සිදු කිරීමෙන් අනතුරුව සිරුර පිළිබද මරණ පරීක්ෂණයක් සිදුකර එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඒ. දයාගල මහතා වෙත නියෝගයක්ද නිකුත් කෙරුණි.

දැඩි පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර ප‍්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මිය ගියේ 18 හැවිරිදි එක් දරු මවක වූ සිත්ති නිසාර් නිෂාඞීන් නැමති කාන්තාවයි. සිද්ධියට අදාළව සැක පිට සැකකාර සැමියා වූ තුවාන් අනුෂ් යූනිෂ් නැමති අය හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහෙස්ත‍්‍රාත්වරයා විසින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. කලක් බන්ධනාගාර ගතව සිට පසුව සැකකරු ඇප මත නිදහස්ව පැමිණියේය. පසුව සැකකරුට එරෙහිව හම්බන්තොට මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පැවති මූලික නඩු විභාගයෙන් පසු නීතිපතිවරයා විසින් 2006.07.13 වන දින එවකට හම්බන්තොට මහාධිකරණ විනිසුරු පී. කේ. ඩබ්ලිව්. විජේරත්න මහතා ඉදිරියේ චුදිතට අධිචෝදනා පත‍්‍ර භාරදුණි. හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩුව විභාග වෙමින් තිබියදී සැකකාර සැමියා වෙනත් විවාහයක්ද සිදුකරගනු ලැබ අතර එම විවාහයෙන්ද චුදිතට දරුවන් සිව් දෙනෙකු ලැබුණි.

සිද්ධියට අදාළව පැවති දීර්ඝ නඩු විභාගයෙන් පසු පැමිණිල්ල විසින් චුදිතට එරෙහිව නගා තිබූ අධිචෝදනාව සාධාරණ සැකයෙන් ඔප්පු කිරීමට සමත්වීම හේතුවෙන් හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා පසුගිය 17 වන දින සිය නියෝගය නිකුත් කෙරුණි. එහිදී නියෝගය නිකුත් කිරීමට මත්තෙන් චුදිතට නිදහසට යමක් කීමට ඇත්දැයි අධිකරණය විමසූ පසු චූදිත විත්ති කූඩුවේ සිට හ`ඩා වැළපෙමින් ”ගරු ස්වාමීනි, මං මේකට කිසි සම්බන්ධයක් නැතැයි” ප‍්‍රකාශ කරන ලදි.

ඉන් අනතුරුව වූයේ තීන්දුව ප‍්‍රකාශ කිරීමයි. සිය තීන්දුව ප‍්‍රකාශ කිරීම සඳහා මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා විනිශ්චය ආසනයෙන් නැගී සිටි අතර අධිකරණ ශාලාවේ සියලූ දොරවල් වැසුණි. විදුලි පහන් හා විදුලි පංකා නිවා දැමුණි. විනිශ්චය ආසනයෙන් නැගී සිටි මහාධිකරණ විනිසුරුතුමන් චුදිත සිදු කළ වරදට දඬුවම ලෙස මරණීය දණ්ඩනය නියම කරන බව ප‍්‍රකාශ කෙරුණි. ඒ අනුව චෝදනාව සඳහා වරදකරු වු චූදිත ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා විසින් නියම කරන දිනකදී වේලාවකදී ගෙල සිරකර මරණයට පත්කරන තෙක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙසටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කෙරුණි. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ගෙවිදු සෙනෙවිරත්න මහතා පැමිණිල්ල මෙහෙයවන ලදි.

මත්තල
දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment