සිල්වර්(වුඩ්) රත්තරන් වීමට නම්

336

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දැන් නව ප්‍රධාන පුහුණුකරුවෙක් වේ. හේ එංගලන්ත ජාතික ක්‍රිස් සිල්වර්වුඩ්ය. අභිනව පුහුණුකරු සිල්වර්වුඩ්ගේ පළමු රාජකාරිය වන්නේ ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමග සටන් වදින ටෙස්ට් තරගාවලි යයි. එම තරගාවලිය පැවැත්වෙන්නේ බංග්ලාදේශයේය. ලබන මැයි මාසයේදී ය.

එක අතකට සිල්වර්වුඩ් වැනි ශ්‍රී ලංකාවට නවක පුහුණුකරුවෙකුට හොඳින් තැන්පත් වීමට ගැළපෙනම තරඟාවලියක් ලෙස බංග්ලාදේශ තරගාවලිය දැක්විය හැක. බංග්ලාදේශ ක්‍රීඩකයෝ එතරම් දරුණු නොවෙති. එසේම එතරම් සුමට ද නොවෙති. තම රටේ දී කොහොමත් ඔවුහු දක්ෂයෝය. හැබැයි දකුණු අප්‍රිකාව සමග පැවැති තරගාවලියේදී දැඩිලෙස පහර කෑමට ලක්වූ බංග්ලාදේශය දැන් සිටින්නේ හෙම්බත් වෙලාය. මෙය සිල්වර්වුඩ්ට පමණක් නොව ශ්‍රී ලංකාවටද වාසිදායක තත්ත්වයකි. බංග්ලාදේශයට ශ්‍රී ලංකාව සමග පැවැති පසුගිය ටෙස්ට් තරගාවලියේදී ද අත්වූයේ හොඳ ප්‍රතිඵලයක් නම් නොවේ. ඒ නිසා ඔවුහු ඒ වාඩුව ගන්න ද සිටිනවා ඇත. එමෙන්ම බංග්ලාදේශයට මෙන්ම ශ්‍රී ලංකාවට ද ආසන්නතම ටෙස්ට් තරගාවලියේ දී අත්විඳින්නට ලැබුණේ අන්ත පරාජයන් බව නොරහසකි. ශ්‍රී ලංකාව ඉන්දියාවේදී දරුණු පරාජයකට මුහුණ දුන්නා මෙන්ම බංග්ලාදේශය මීට දින කීපයකට ඉහතදී නිමාවූ දකුණු අප්‍රිකානු සංචාරයේදී ද ලැජ්ජා සහගත පරාජයන් දෙකකට මුහුණ දුන්නේය. පළමු තරගය ඉනිමකින් පරාජය විය. ශ්‍රී ලංකාව ද ඉන්දියාවේ දී පළමු තරගය ඉනිමකින් පරාජය විය. දෙරටම දෙවැනි තරගයේදී ද දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව හමුවේ තවත් විශාල පරාජයන් දෙකකට මුහුණ දුන්නේය. එනිසා මේ එංගලන්ත මිනිසා ශ්‍රී ලංකාව වෙනුවෙන් තම පළමු අභියෝගය ජයගන්නේ කෙසේ දැයි මුළු ලෝකයම බලා සිටී.

ඊට පෙර සිල්වර්වුඩ් ගේ අතීත පැටිකිරිය මදක් විමසා බැලීම වටී.

ඔහු එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 10කට සහ එක්දින ජාත්‍යන්තර තරග 12කට ක්‍රීඩාකර ඇත. ක්‍රිස් සිල්වර්වුඩ් නම් ඔහුගේ අවසන් ටෙස්ට් තරගය වන්නේ 2002 වසරේ නොවැම්බර් මස ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයයි. ඉන් අනතුරුව සිල්වර්වුඩ් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග ක්‍රීඩාකළේ නැත. සිල්වර්වුඩ් ප්‍රකටව සිටියේ වේග පන්දු යවන්නෙකු ලෙසය. ඔහු එම කාලය තුළදී ටෙස්ට් කඩුලු 10ක් සහ එක්දින කඩුලු 12ක් දවාගෙන තිබේ. සිල්වර්වුඩ් ටෙස්ට් තරගයක ප්‍රදර්ශනය කළ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ ලකුණු 91කට කඩුලු 5ක් දවා ගැනීමය.

මීට වසර විස්සකට පමණ ඉහතදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් සිල්වර්වුඩ් ක්‍රිකට් පිටියේ සිය දෙවැනි භූමිකාවට පණ පොවමින් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ කරන්නේ එසෙක්ස් ප්‍රාන්තය සමගය. ඒ 2010 වසරේදී ය. ඒ එම ප්‍රාන්ත කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසය. ඊට තවත් වසර 6ක් එකතු වෙද්දී සිල්වර්වුඩ් එම ප්‍රාන්තයේ ප්‍රධාන පුහුණුකරු බවට පත්වේ. එමතු නොව ඔහුගේ දක්ෂතා මත එසෙක්ස් ප්‍රාන්තය එරට ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ අදියරයක් ඉදිරියට පිය නැගීමටද සමත් වේ. සිල්වර්වුඩ්ගේ මේ දක්ෂතා දෙස එංගලන්තය ක්‍රිකට් බලධාරීහූ ඇස ගසා සිටියහ. එහි ප්‍රතිඵලය වූයේ එංගලන්ත ජාතික කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස 2018 ජනවාරි මාසයේදී සිල්වර්වුඩ් පත්වීම් ලැබීමය. එවකට එංගලන්ත ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වූයේ ටේ‍රවර් බෙලීස් ය. සිල්වර්වුඩ් ගේ වාසනාවට ටේ‍රවර් බෙලීස් 2019 වසරේ ඔක්තෝබර් මාසයේදී සිය පුහුණුකාරී ධූරය නිමා කරන්නේය. බෙලීස් ගේ සමුගැනීමෙන් හිස් වුණු තනතුරට වෙන අය සොයනවා වෙනුවට ඒ වන විටත් පන්දු යැවීමෙන් හොඳට වැඩ පෙන්නා සිටි ක්‍රිස් සිල්වර්වුඩ් ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු බවට පත්කරගැනීමට එංගලන්ත ක්‍රිකට් බලධාරීහු දෙවරක් නොසිතූහ. ඒ 2021 අප්‍රේල් මාසයේදීය. එතැන් පටන් එංගලන්තය සියලු ක්‍රිකට් තරගාවලි වලට ගියේ ක්‍රිස් සිල්වර්වුඩ් ගේ පුහුණුකාරීත්වය යටතේය. 2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ද එංගලන්තය සහභාගි වූයේ සිල්වර්වුඩ් ගේ පුහුණුකාරීත්වය යටතේය. එංගලන්තය එහිදී අවසන් පූර්ව තරඟ සඳහා ද වරම් ලැබීය. එහෙත් සිල්වර්වුඩ්ගේ එංගලන්ත ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වයට කනකොකා හැඬුවේ ඕස්ට්‍රේලියාවේදී ය. කුප්‍රකට අළුබඳුන ක්‍රිකට් තරගාවලියේ දී මෙවර එංගලන්තයට හිමි වූයේ නින්දාසහගත දරුණු අන්ත පරාජයකි. තරග 5කින් යුත් තරගාවලිය ඔවුහු 4-0ක් ලෙස පරාජය වූහ. සාම්ප්‍රදායික සතුරා හමුවේ ලැබූ මේ පරාජය එංගලන්තෙට දරාගත හැකි එකක් නොවුණි. ජයග්‍රහණයට පියවරු දහසක් සිටියද මේ පරාජයට වගකිවයුත්තන් සිටියේ දෙදෙනෙකි. ඉන් ප්‍රධානියා ක්‍රිස් සිල්වර්වුඩ්ය. දෙවැන්නා එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට්ය. දෙදෙනාටම පල නොකියා පලා බෙදිනි. එහෙත් රූට් යාන්තම් එයින් බේරිණි. සිල්වර්වුඩ් ට ගැලවීමක් නොවිණි. ඔහුට යන්නටම විණි. එසේ යන්නට වුණු සිල්වර්වුඩ් ශ්‍රී ලංකාවට එන්නේය. එංගලන්තයෙන් තල්ලු වුණු සිල්වර්වුඩ් ගේ නවාතැන්පළ වූයේ මේ දිවයිනය.

සිල්වර්වුඩ් මෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ද මේ වනවිට තිබෙන්නේ ගොඩගත යුතු මට්ටමේ ය. මේ දෙදෙනාම නැගී සිටිය යුතු කාලය එළඹ තිබේ. එසේම දෙදෙනාටම තනිව නැගිටිය නොහැක. එක්ව නැගිට ජයගෙන පරාජයේ අවමානයෙන් ගැලවිය යුතුය. ඒ සඳහා දෙදෙනාටම දෙදෙනාගේ සහාය අවැසිය.

ශ්‍රී ලංකාව ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමෙන් දැන් සිටින්නේ හත්වෙනි ස්ථානයේය. එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් අතර 8 වෙනි ස්ථානයේ ය. පන්දුවාර 20 කණ්ඩායම් අතර ලෝකයේ 10වෙනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. මේවා එතරම් හොඳ දත්ත නම් නොවේ. පියවර එකක් දෙකක් නොව කිහිපයක් ඉදිරියට පැමිණිය යුතුය. එසේ පැමිණ නැතිවගිය කීර්තිය යළි සොයා යා යුතුය.

ඒ ගමනේ පෙර ගමන්කරු ලෙස ශ්‍රී ලංකාව දැන් ක්‍රිස් සිල්වර්වුඩ් පත්කර ගෙන තිබේ. සිල්වර්වුඩ් යනු පසුගිය වසර 10ක කාලය තුළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සඳහා පත්කරගත් 8වෙනි ප්‍රධාන පුහුණුකරු වේ. ඒ නිසා ශ්‍රී ලංකාව පුහුණුකරු අර්බුදයෙන් ද දැඩිව බැට කෑ කණ්ඩායමකි. විවිධ දක්ෂයෝ ඒ සඳහා පැමිණියහ. එහෙත් යන්නට වුණේ හොඳ නම තියාගෙන නොවේය. සමහරු ශ්‍රී ලංකා ක්‍රිකට්වලට විරුද්ධව නීති ක්‍රියාමාර්ග වලට ද ගියහ. සිල්වර්වුඩ් මේ බව දන්නවා ඇත. අවසන් වශයෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ලද්දේ මිකී ආතර් ය. ආතර් මහතාගේ කොන්ත්‍රාත් කාලය පසුගිය දෙසැම්බර් මාසයේදී නිමා වූයේය. ඔහුගේ හිතේ නම් තවත් කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධව කටයුතු කිරීමේ අදහසක් තිබිණි. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහූ ඊට එතරම් මනාපයක් නොදැක්වූ නිසා මිකී ආතර් සිය රට බලා ගියේය.

එතැන් පටන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ප්‍රධාන පුහුණුකරුවකු නොවූයේය. තාවකාලික පුහුණුකරුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ හිටපු පන්දු යවන ක්‍රීඩක රුමේෂ් රත්නායක පත් කෙරිණි. එය තාවකාලික පත්කිරීමක් වූයෙන් ප්‍රධාන පුහුණුකරුවකු සෙවුවේය. හමු වුණේ ලෝකයට ක්‍රිකට් සොයාදුන් රටේ යෝක්ෂයර්හි 1975 වසරේදී උපන් ක්‍රිස් සිල්වර්වුඩ් නම් මේ කතාවේ කතා නායකයාය. ඔහු කතා නායකයා වුවද එදා පටන්ම විදෙස් පුහුණුකරුවන් හා අපේ කණ්ඩායමට බද්ධව පැවැති ප්‍රශ්නය වූයේ ද කතාව පිළිබඳව ප්‍රශ්නයකි. එය භාෂාව පිළිබඳව ප්‍රශ්නයකි. සුද්දාගෙන් ක්‍රිකට් ඉගෙන ගෙන එයින් සුද්දන්ටම පාඩමක් ඉගැන්නුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් බහුතරයකට සුද්දාගේ බස පිළිබඳව ප්‍රශ්නයක් එදා පටන්ම වේ. ඒ නිසා පිහිය රත්තරන් වුවද නොකැපේ නම් වැඩක් නැතුවා මෙන්ම පුහුණුකරු සිල්වර්වුඩ් රත්තරන් වුවද ශ්‍රී ලංකා කණ්ඩායමට ඔහුගෙන් ගතහැකි ප්‍රයෝජන අල්පවනු ඇත. ඒ නිසා මේ බස පිළිබඳව ගැටලුව විසදීමට ද පිළියමක් යෙදිය යුතුය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment