සිව් හෙළයේ යක්‍ෂයෝ

463

යක්‍ෂ ගෝත්‍රිකයින්ට වාසස්ථානවූ යක්‍ෂ රාජ්‍යය තම්මැන්නාව අසන්නයේ වූ සිරිසවස්ථු පුරයෙහි පැවතිණි.

“රත්තිං තූරියසද්ධෙ යූත්මා ගතරඩංසා
අප්පුඡ්චි සහං සමානං කිංසද්දෝ ඉති යක්ඛිනං”

විජය රජු තාම්බ්‍රපන්නියට පැමිණ කූවේණිය සමග රාත්‍රිය ගෙවද්දී සිරිසවත්ථු පුරය දෙසින් නැඟුණු සංගීත රාවය කන වැකී එම සංගීත රාවය කුමක්දැයි විජය රජු කුවේණිය ගෙන් අසයි.

“ආවාහමංගලෙ ඉධාපි උත්සවෙ මහාවත්ථතේ තත්ත සද්දේයං- මහ හසේ සමාගමෝ” යනුවෙන් සිරිසවත්ථු පුරයෙහි යක්‍ෂනායකයාට කුමාරිකාවක් ගෙන එන විවාහ මංගල උත්සවයේ සද්දය යැයි කුවේණිය පවසයි. සිරිසවත්ථු ුපුරයෙහි ඒවනවිට යකුන් බහුලව වාසය කළ බවට එයම නිදසුන්වෙයි. තම්මැන්නාව හෙවත් අරුචිආරු ගංගාශ්‍රිත ප්‍රදේශයත් නයිනතිවු හෙවත් නාගදීපය සිට කැලණිය දක්වාවූ මුහුදු බඩ ප්‍රදේශත් යක්‍ෂයන්ට වාසස්ථාන වූ බව මූලාශ්‍රවල සඳහන්වේ. බුදුන්වහන්සේ මහියංගණයට වැඩමකොට යක්‍ෂ දමනය කළ මොහොතේ තම්මැන්නාවේ සැඟව සිටි යක් පිරිස් ලංකාපුරය ලක්ගල ලොක්ගල ආදී ප්‍රදේශවලට පලාගොස් වාසය කළ බව පැවසේ.

විජය ලංකාවට පැමිණෙන විට කුවේණිය ජීවත්ව ඇත්තේ තම ලේ නෑ යක්‍ෂවාසස්ථානයක බව පැවසේ. මාතලේ ප්‍රදේශයේ වර්තමාන බම්බා විහාරය ආශ්‍රිත ප්‍රාන්ත රජ කෙනකුන්වූ බම්බා නම් රජු සහ එම රජුගේ බිසව වන චනද්‍රාවතී දේවිය කුවේණියගේ මවුපියෝ වූහ. කුවේණිය උපන් දින නිමිතිකරුවන් ලවා නැකැත් බැලූ අවස්ථාවේ නිමිතිකරුවන් කුවේණිය තරුණවියට පත්වන විට ඇයට පියයුරු තුනක් පිහිටන බව පැවසීමෙන් මහත් කේන්තියට පත් රජතුමා ඇය තම දේවියට ද හොරෙන් මරා දැමීමට සිතාගනී. කෙසේ නමුදු මේබව දැනගත් දේවිය බම්බා රජුට හොරා තමසිඟිති දියණිය තම්මැන්නාවේ විසූ තම නෑයෙක් නායකයකුගේ වාසස්ථානයකට පිටමන් කරයි. මෙම පුවත ද දිවයිනේ බොහෝ පෙදෙස්වල යක්‍ෂයන් විසූ බව පැහැදිලිවේ. කුවේණියට පියයුරු තුනක් පිහිටි බව කුවේණි අස්නේ සඳහන් වන්නේ මේ අයුරිනි.

“ගෙලතලා කුසුමදම – වැළඳ නිදි ගෙන ළඟම
විඳින කළ පහස අම -ගැල්වූ තුනුවග මහිම
සොඳ සඳුන් කොකුම් හිම- අකැලැකයි හරිනමම
වෙන්ව ගොස් හිමිඋතුම -කෙළෙස සැනසෙම්ද ළැම
ළැමද තන තුනකිනේ – ඉන් එකක් ඇති සෙනේ
හිමි තුමෙකු දුටුදිනේ -මැකෙයි කී බස ගැනේ
සිත සිතා මේවනේ -උන් සඳෙහි නුඹ සෙනේ
දුටුවිගස එම තනේ – මැකීගිය එමතනේ
එතැන්සිට හිමිසෙනේ – තවද බැන්දෙමි අනේ”

විජය ලංකාවට පැමිණීමට පෙර විජය රජුගේ පියා වෙළෙදාම පිණිස රුවල් නැවකින් ලංකාවට පැමිණි බවත් ලංකාවේ වෙළෙදාම පිණිස කසීසළු රැගෙන ආ බවත් ඒවනවිට ලංකාවේ විසූ වැසියන්ට කසීසළු දී ලංකාවේ මුතු මැණික් රන් රිදී ගෙන ගිය බවත් සිංහල සාහිත්‍යවංශයෙහි සඳහන්වේ. මෙම අවධිය වනවිට ලංකාව පුරාම ජනාවාස පැවැති බවට තොරතුරු පවතී. යක්‍ෂයන් සහ රාක්‍ෂයන් එකම පියකුගේ සහ මවුවරුන් දෙදෙනකුගෙන් පැවැත එන බව රාමායනයේ සඳහන්වේ.

“එකොළොස් වැනි දිනය ඉක්ම යෑමෙන් පසු දශරථ රජු විසින් පුත්‍රයන්ගේ නාම කර්මය පවත්වනු ලබන්නේ වශිෂ්ඨයන් ලවා කෞශල්‍යාවගේ පුත්‍ර ඡ්‍යෙෂ්ඨ කුමාරයාට රාම යන නාමය ද කෛකසී ලත් පුත්‍රයාට බරණ යන නාමය ද සුමිත්‍රාව ලැබූ පුතුන් දෙදෙනාට ලක්ෂමණ සහ ශතෘසන යන නාම ද තබන ලදි. (රාමායණය- 8පිටුව)

විජය ලංකාවට පැමිණෙන අවධිය වනවිට එනම් ක්‍රි.පූර්ව 543 වනවිට ලංකාවේ බටහිර දිසාවේ වෙරළාසන්නව යකුන් බහුල වශයෙන් විසූ බව පැවසේ. අනුරපුරය අවධිය වනවිට ලංකාවේ යක්‍ෂ වන්දනාව බෙහෙවින් පැවැති බවට සාධක පවතී. පණ්ඩුකාභය රජතුමා අනුරපුර දකුණු දිසාවේ කාලවේල යක්‍ෂයාට දෙවොලක් සැදුබවද චිත්‍රරාජ යක්ෂයාට අනුරපුර යටිකොන වාසය සලසා දුන් බවද පැවසේ. (කුවේණිය නම් යක්ළඳ ඒ. සුද්දහාමි)

ආදිවාසීන්ගේ නෑ යකුන් පිදීම ද යක්ෂවන්දනාවේ එක් පැති කඩකි. මහකිරිඅම්මා දේවිය ලෙසින් හඳුන්වනු ලබන කුකුළාපොළ කිරිඅම්මා කුවේණියයි. ධනයට අධිපති දෙවියා ලෙසින් හඳුන්වනු ලබන ධනේෂ හෙවත් වෙස්සවන යක්ෂයා පිදීම ක්‍ර.ිව. 4 වැනි සියවසේ සිට පැවැතෙන බවට තොරතුරු පවති. ආදිවාසීන් මෙන්ම දඩයමින් ජීවත්වූ පිරිස් ඔවුන්ට රිසි පරිදි දඩයම් ලැබීමත් දඩයම් සඳහා වනගතවීමේදී අනතුරු විපත් වලින් මිදීම පිණිසත් ව්‍යාධි දේවතා පිදූබවත් පැවසේ. කඩවර පදිමේදී මේ දෙවියා වැදියක් කඩවර, ලේ කඩවර නමින්ද හඳුන්වනු ලබයි. කඩවර යකුන් පන් තිස් කට්ටුවක් බව සිංහල දේව පුරාණයේ සඳහන් වෙතත් කඩවර යකුන්ගේ සංඛ්‍යාව 54 ක් බව සිංහල විශ්වකෝෂයේ දක්වා ඇති බව ඥානසිරි පීරිස් මහතාගේ ශාන්ති කර්ම සහ අභිචාර විධි කෘතියේ සඳහන්වේ.

මුල හෙළහා බැලුවෝතින් දළ කුමරුගෙ උපත යකා
කෙළ තොළු බොල්ලෑ දත් ඇති බඩතඩි අවතාර යකා
මොළකැටි රුව අගනෝ දැක ලෙඩ කරවන මෙවැනි යකා
දළ කඩවර බත් ගොටුවට එන් දළ කඩවර මෙ යකා

වත්මනෙහි වැදියක් කඩවර නමින් හදුන්වනු ලබන ව්‍යාධි යක්ෂයා සඳහා යාතූකර්ම යක්ද පවතී.

විජයරජු කුවේණියගේ සහයෝගයෙන් යකුන් මරා ලක් රජය පිහිටුවන මොහොතේ රජු අතින් මැරුම් කෑ ජුතින්දර යක්ෂයාගේ බිරිඳ වූයේ චේතිය යක්ෂණියයි. ඇය තම ස්වාමියාවන ජුතින්දර මියගිය පසු පලාගොස් තිමිරියගහවිල සමීපයෙහි සිටියදී පණ්ඩුකාභය රජු විසින් අල්ලාගත් බවත් ඇය ඒ මොහොතේ වෙළඹකගේ වෙස් ගත් බවත් වෙළඹකගේ වෙස් ගත් චේතිය බැමිණිය පණ්ඩුකාභය රජුට මහත් පිටිබලයක් වූ බවත් පැවසේ. වලවාමුකී යන නාමයෙන් හඳුන්වනු ලබන්නේද චේතිය යකිණියයි. චේතිය යකිණියට දරුවන් තිදෙනෙකි. කළු කම්බිල, සැඩ කම්බිලි, රත්න කම්බිලි යනුවෙනි.

මෙසේ කල් පසුව ගිය යකිණියගෙ කුස
විශේෂයෙන් මෝරා ගැබ එක ලෙස
රසේ සැපත් විඳගිය පසු දස මස
යසේ කුමරු තිදෙනෙක් බිහිවිය කුස

කොටේයකා, වටේයකා මයිලවලානා යනුවෙන් කුවේණියට සහෝදරයන් තිදෙනෙකි. ඔවුන් කුඩාහැඩයා’ මහ හැඩයා, දත්පූට්ටුවා යන නම් වලින් හැඳින්වූ බව ඒ.සුද්දහාමි මහතාගේ කුවේණී නම් යක්ළඳ කෘතියෙහි සඳහන්වේ’. මැයගේ ඥාති සහෝදරිය අල්ලිරාණී නම් වූවාය. අල්ලිරාණී හෙවත් අලියාරාණිගේ පෞරාණික මාලිගාවේ ගල්කණු සොරාගෙන ගොස් ඇතිබව මෑතක පුවත්පතක පළවී තිබෙනු මම දුටුවෙමි.

විජය රජුන් රාත්‍රී කාලයේ යකුන් ඝාතනය කරද්දී කොටේයකා කොටයකට මුවාවී පලාගිය අතර වටේයකා සිරිස වටේ දුවගොස් බේරී පලාගිය බව ද මයිලවලානා මයිලගසකට මුවාවී පලාගොස් වනගතවී ආදිවාසීන්ට එක්වී වැදිකාන්තාවක් විවාහකර ගෙන විසූ බවත් පැවසේ. ඔවුන්ගෙන් පැවත එන පිරිස් පලාපත්විල නිකුත්තෑව ඇතුළු ගම්මාන කීපයක වාසය කරන බවට තොරතුරු පවතී.

පනම් යක්ෂයා නාථ දෙවියන්ට ද බලපෑම් ඇතිකළ ප්‍රබල යක්ෂාත්මයකි. මෙම යක්ෂයා දමනය කීරීම සඳහා මහසෙන් රජතුමා මින්නේරි වැව මැද පිහිටි පට්ටිගොඩැල්ලක පිරිත් මණ්ඩපයක් තනා පිරිත් කියන අවස්ථාවේ මඩ කණයෙකුගේ වෙස්ගෙන මඩයට සැගවී සිටි බවද ආටානාටිය සූත්‍ර දේශනාව කරද්දී මඩ උණුවීම නිසා ඉන්මිදී පිරිත්මණ්ඩපය මතට ගවඝාතයක් විසිකර දමා පලායද්දී රාජපුරුෂයන් විසින් වරමන්දක් දමා ඇල්ලූ බව ද සිංහල දේව පුරාණයේ සඳහන් වේ.

කලාභූෂණ, විශ්වාභිනන්දන, සියනෑගෞරව කීර්ති
සරණපාල නුවරපක්‍ෂ

advertistmentadvertistment
advertistmentadvertistment