සිවු හැවිරිදි තම පුතාට ලිංගික අපයෝජනය කළැයි වසර 16ක සිරදඬුවම් ලැබූ තාත්තා නිදොස් කොට නිදහස්

1

අසභ්‍ය ලිංගික දර්ශන සහිත වීඩියෝ දර්ශන පෙන්වා හතර හැවිරිදි සිය පුත්‍රයාට ලිංගික අපයෝජනය කිරීම ඇතුළු චෝදනා තුනකට වරදකරු කර කොළඹ මහාධිකරණය විසින් වසර 16ක සිරදඬුවම් නියමකර තිබූ තරුණ පියකු එකී චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

හේමන්ත බි්‍රටෝ නමැති එකී විත්තිකරුට දඬුවම් නියමකර ඇත්තේ ජාතික ළමා රක්ෂණ අධිකාරිය විසින් පටිගත කර තිබූ අතවරයට පත්වූයේ යැයි කියන දරුවාගෙන් ප්‍රශ්න නඟමින් පටිගත කළ වීඩියෝ දර්ශන නිසියාකාරව අධ්‍යයනය කිරීමකින් තොරව බවත් එකී දරුවාගෙන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදිය යුතු ආකාරය ඔහුගේ මව කියාදී ඒ සඳහා දරුවා පොලඹවන ආකාරය හා දරුවාගේ කටට උත්තර ලබාදී එලෙස පවසන ලෙස මව කියාදී ඇති බවත් වීඩියෝ සාක්ෂි පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ යැයි පෙන්වා දුන් අභියාචනාධිකරණය එම නියෝගය කළේය. දරුවාව උකුළේ තබාගෙන එකී මව ඔහුගේ මුහුණ බලමින් ඇයට අවශ්‍ය ප්‍රකාශය දරුවා මගින් කියවා ගැනීමට උත්සාහ දරා ඇති බව එම වීඩියෝ දර්ශන මගින් පෙනීයන විටත් ඒ පිළිබඳව උගත් මහාධිකරණ විනිසුරුවරයා නොසලකා හැර සිය සේවාදායකයා වරදකරු බවට තීන්දු කිරීම ඉතා බරපතළ අඩුපාඩුවක් වන්නේ යැයි පෙන්වා දෙමින් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතා පෙන්වා දුන් කරුණු සලකා බැලූ සම්පත් අබේකෝන් හා පී. කුමාරරත්නම් යන විනිසුරු මඬුල්ල මහාධිකරණයේ තීන්දුව බලරහිත කරමින් එම නියෝගය නිකුත් කළේය.

නීතිඥ සහන් වීරසිංහ, දිනුරු දුන්දර යන නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතා අභියාචක විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේෂිකා ද සිල්වා මහත්මිය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියාය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment