සිස්ටම් චේන්ජ් කිරීමට, මැතිවරණ ක්‍රමය වෙනස් කර මැතිවරණයකට යා යුතුය

225

මහ මැතිවරණයක් හෝ ජනමත විචාරණයක් හරහා නව ‘ජනවරමක්’ ලබාගැනීමේ හදිසි අවශ්‍යතාවය පිළිබඳව දේශපාලන පක්ෂ, මත මවන්නන් සහ විද්වතුන් කිහිප දෙනෙකු විසින් මෑතදී කරන ලද ‘කාහල නාදය’ වෙත රචකයාගේ අවධානය යොමු විය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීම හා දේශප්‍රේමී ‘දේශපාලන වෘත්තිකයන්’ යනුවෙන් නව කුලකයක් තෝරා ගැනීම ඇතුළුව රටෙහි සමස්ත දේශපාලන හා රාජ්‍ය පරිපාලන පද්ධතියටම බලපාන රැඩිකල්වාදී ‘ක්‍රම වෙනස්කම් – (System Change)’ සිදුකිරීම සඳහා ‘අරගල භූමියේ’ සාමකාමී, බුද්ධිමත් තරුණ පිරිස විසින් දොරටු විවර කරන ලදී. එයින් පැනනගින මුඛ්‍ය අපේක්ෂාව වන්නේ, රට තිරසාර සංවර්ධනයක් කරා ගෙන යන වේගවත් ආර්ථික පිබිදීමක් සහ සාමය තීව්‍ර කරන, මැතිවරණ සහ වෙනත් ප්‍රතිසංස්කරණ සමඟින් ජනතාව පදනම් කරගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නීතිගත කිරීමයි. යථොක්ත ‘නාදය’ එවැනි ජාතික හදිසි අවශ්‍යතාවයක් (පටු දේශපාලන අරමුණකින් තොර) ඉටුකරගැනීම සඳහා කරනු ලබන ආයාචනයක් නම්, එය ඉතාමත් සාධාරණය, සහේතුකය.

නමුත්, තීරණාත්මක ‘ක්‍රම දෝෂ’(System errors) නිවැරදි නොකර, පවතින ක්‍රමය යටතේ එවැනි මහ මැතිවරණයක් පැවැත්වුවහොත්, පාර්ලිමේන්තුව නැවතත් ජනතා ශාපයට ලක්වන ‘225’ කින් සමන්විත වී, රට නැවතත් අගාධයක් කරා යෑමේ අනතුර ගැන, ඔවුන් නිසි සැලකිල්ලක් දක්වා නොතිබීම තේරුම් ගත නොහැකි අවාසනාවකි. මන්දයත්, පවතින ක්‍රමය යටතේ, වංක, ආත්මාර්ථකාමී, නුසුදුසු, දූෂිත සහ ප්‍රතිපත්ති විරහිත දේශපාලකයින් බහුතරයක් පත්වීම කිසිසේත් වැළැක්විය නොහැකි නිසාය. පසුගිය වසර 74 පුරාවට ඔවුන්ගේ වීරකම්වල පල අපි අද දක්වා අත්විඳිමින් සිටිමු.

මෙහිදී කැපී පෙනෙන උදාහරණයක් වන්නේ බලයට පත් ආණ්ඩු 5 ක් (1994 සිට 2021 දක්වා) තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවල වඩාත්ම අලෙවි කළ හැකි යෝජනාව නොහොත් ඡන්ද-ගුණ්ඩුව වශයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම උළුප්පා දැක්වූවත්, අද වන විට එය දෛවයේ සරදමක් බවට පත්වී, තවත් බලසම්පන්න වීමය. එනිසා, පැරණි මැතිවරණ ක්‍රමය යටතේම (2023 මාර්තුවෙන් පසුව බලාපොරොත්තු විය හැකි) පත්වන ආණ්ඩුවකින්, තාරුණ්‍යයේ සාමකාමී ‘අරගලය’ පතන විප්ලවීය ‘පද්ධති වෙනස්කම්’ අපේක්ෂා කළ හැකිද? කෙටියෙන් කිවහොත්, එය ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් මෙන්ම ගොඩොට් එනතුරු බලා සිටීමක් වනු ඇත. මන්දයත්, ඔවුන්ගේ බහුතරයක් සුපුරුදු ලෙස තම ව්‍යාපාරයට අවතීර්ණ වී, තම බල තණ්හාව, ආත්මාර්ථකාමීත්වය සහ එදිරිවාදිකම් සභාගර්භයේ නිතැතින්ම ප්‍රදර්ශනය කරමින්, සාම්ප්‍රදායික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අභියෝග කරන සියලුම පද්ධති වෙනස්කම් ප්‍රතික්ෂේප කිරීමට යොමු වන බැවිනි. එවිට 225 හේ තවත් ශාපයක් නිසැකයෙන්ම බිහිවනු ඇත!

වඩාත්ම සුදුසු අපේක්ෂකයින් තෝරා ගැනීමට ඡන්දදායකයින් අසමත් වන්නේ ඇයි?

මෙතෙක් ආණ්ඩු වෙනස් කිරීම සඳහා අප ඡන්දදායකයන් මනා අවබෝධයක් පෙන්නුම් කර ඇති නමුත්, අපේක්ෂකයන් තෝරාගැනීම සම්බන්ධයෙන් ඔවුන් අසමත් වී ඇත. නිදසුන් වශයෙන්, ඔවුහු වසර ගණනාවක් තිස්සේ, තරුණ හා සුදුසු දේශපාලකයන්ද පසෙක තබා, ටෙලි නාට්‍ය නිළියන්, ක්‍රිකට් ක්‍රීඩකයින්, මත්ද්‍රව්‍ය හා නීතිවිරෝධී මත්පැන්, එතනෝල්, පස් ජාවාරම්කරුවන්, බූකී අයිතිකරුවන්, ගමේ චණ්ඩීන් මෙන්ම අපරාධ ක්‍රියාවන්ට සම්බන්ධව රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින අපේක්ෂකයන්ට ද තම ඡන්දය පූජා කළහ! විටෙකදී, අන්ත දුප්පත්කම නිසා ඔවුන් කුප්‍රකට, කළු සල්ලි විසිකරන දේශපාලනඥයින් විසින් මුදල් හෝ භාණ්ඩ වශයෙන් ලබාදෙන අල්ලස්වලට නතුවීමත්, තවත් විටකදී, නීති විරෝධී කටයුතු සහ අනිසි ක්‍රියාකාරකම් කඩිනම් කරවාගැනීම සඳහා දේශපාලනික ගමේ චණ්ඩින් මත විශ්වාසය තැබීමත් නිසා තම වටිනා ඡන්දය අවභාවිතා කිරීම ද සත්‍යයකි. කෙසේ වෙතත්, එම නොගැලපෙන සියලුම අපේක්ෂකයින් ඉදිරිපත් කරන්නේ, බලයට, මුදලට කෑදරව ඡන්ද ගරන පක්ෂ නායකයින් නිසා, ප්‍රථමයෙන් මෙයට වගකිවයුත්තේ එම දේශපාලන පක්ෂය ය. ඊට හේතුව නින්දිත මනාප ඡන්ද ක්‍රමයයි. දේශපාලනික බූරුවන්ගේ නම් අඩංගු ලැයිස්තුවලින් නියම අශ්වයන් තේරීම ඡන්ද දායකයාට කඝ හැකි නොවේ.

තවමත් අරගල භූමියේ හෝ අරගලයේ නිමග්නව සිටින සහ ඉන් ඔබ්බෙහි සිටින නව තාරුණ්‍ය විසින් 225 ට සාප වේවා යන සටන් පාඨය හා තම සය වැදෑරුම් වැඩ පිළිවෙළෙහි අංක 5.2 සමඟින් ජනබලය උද්දීපනය කර, වත්මන් මැතිවරණ ක්‍රමයේ ඇති පද්ධති දෝෂ කරළියට පමුණුවා ඇත. එබැවින්, තැටිය රත්වී ඇති මේ මොහොතේ ප්‍රමාද නොවී, පහත විස්තර කර ඇති පරිදි, සැබෑ ශ්‍රී ලාංකික ප්‍රජාතන්ත්‍රවාදය පිළිබිඹු කරමින්, සාධාරණත්වය, ප්‍රතිපල නිරවද්‍යතාවය සහ කුසලතාවය මත පදනම් වූ තීරණාත්මක පද්ධති වෙනස්කම්, මහ මැතිවරණයක් හෝ වෙනත් මැතිවරණයක් පැවැත්වීමට පෙර සිදුකරන ලෙස සර්ව පාක්ෂික අතුරු රජයට බල කළ යුතුවේ. දේශපාලකයින්ට ශාප කිරීම වැළැක්විය හැක්කේ එවිට පමණි.

මැතිවරණයකට පෙර පවතින මැතිවරණ ක්‍රමයට කළ යුතු තීරණාත්මක ක්‍රම වෙනස්කම්

1.0 සැබෑ අවංක දේශපාලනික වෘත්තිකයන් නම් කිරීම සඳහා, අනිවාර්ය ක්‍රමවේදයක් නියම කිරීම.

කලකිරුණු නව පරම්පරාව සහ මහජනතාව දැන් දැඩිව ඉල්ලා සිටින්නේ, ජාතික පාර්ලිමේන්තුව සහ පළාත් සභා නියෝජනය කිරීම සඳහා, රටට මුල් තැන දීමට කැපවෙන අවංක, සදාචාරාත්මක සහ විනයගරුක දේශපාලන වෘත්තිකයන්ය.

ක්‍රමය: සර්ව පාක්ෂික මාර්තු 12 ප්‍රකාශනය-2015 හරහා පැෆ්රල් විසින් යෝජනා කරන ලද නිර්ණායකයන් හුදෙක් එකඟතාවයකට පමණක් සීමාවූ බැවින්, පක්ෂ නාමයෝජනා කෙරෙහි ඇති කළේ ආන්තික බලපෑමක් පමණක් වූ හෙයින්, ඊළඟ විකල්පය වන්නේ ‘දේශපාලන වෘත්තිකයන්’ තෝරා ගැනීමට බල කරන අනිවාර්ය නිර්ණායක නියම කිරීමයි. ඒ අනුව, අදාළ පක්ෂ විසින් ඉදිරිපත් කරන පස් අවුරුදු මැතිවරණ ප්‍රකාශනවල පොරොන්දු වී ඇති පරිදි, ජනතාවගේ සහ රටේ අරමුණු ඉටු කළ හැකි හොඳම දේශපාලන වෘත්තිකයන් කුසලතා අනුපිළිවෙළින් නම් කළ යුතුය.

මේ සඳහා ජාතික මැතිවරණ කොමිෂන් සභාව (NEC) පළමුව, මනාප ඡන්ද (PV) යාන්ත්‍රණය අහෝසි කළ යුතුය. ඉන් පසුව, NEC විසින් අපේක්ෂකයින් සඳහා පහත දැක්වෙන පරිදි අනිවාර්ය අවම සුදුසුකම්/සම්මුඛ පරීක්ෂණ නිර්ණායක නියම කළ යුතු අතර, ශක්තිමත්, අපක්ෂපාතී, විනිවිද පෙනෙන තරඟකාරී ක්‍රියාවලියක් යටතේ හොඳම නාමයෝජනා තෝරා ගැනීම සඳහා ඉතා සුහුරු ලෙස ව්‍යුහගත, ලකුණු ලබා දීමේ සම්මුඛ පරීක්ෂණ ක්‍රමයක් ද නියම කළ යුතුය. වත්මන් සන්දර්භය තුළ පහත අනිවාර්ය සුදුසුකම් නිර්ණායකයින් සහ පියවර යෝජනා කෙරේ.

A) ‘පැෆ්රල්‘ නිර්ණායකයන්ට අමතරව පහත සඳහන් අවම සුදුසුකම් ඇතුළත් කරන්න.

i) අ.පො.ස. (උ.පෙළ) වාර 3කට නොවැඩි උත්සාහයන් තුළින් සාමාර්ථ 2ක් වත් ලබා තිබීම. (වර්තමානයේ එය අපහසු නොවේ.) අවම වසර 13 ක පාසල් අධ්‍යාපනය බෙහෙවින් වැදගත්ය.

ii) අවම වශයෙන්, පිළිගත් වෘත්තීය ආයතනයකින් ලබාගත්, වසර 01ක කාල පරිච්ඡේදයකට නොඅඩු, වෘත්තීය ඩිප්ලෝමා සහතිකයක් තිබිය යුතුය. පාසලෙන් විවෘත සමාජයට හුරුවීම වැදගත්ය.

iii) නාමයෝජනා භාරගන්නා අවසන් දිනය වන විට වයස අවුරුදු 65 ට අඩු විය යුතුය.

iv) නාමයෝජනා භාරගැනීමේ අවසන් දිනයට දින 7ක් ඇතුළත දාතමව, NEC හි ආදර්ශයට අනුව වත්කම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට පොරොන්දු ලිපියක්.

v) සම්මුඛ පරීක්ෂණ දිනයේදී, ලියාපදිංචි වෛද්‍යවරයකු විසින් මසකට අඩු කලකදී නිකුත් කළ හොඳ සෞඛ්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීමට පොරොන්දු ලිපියක් .

සටහන: ඉහත සඳහන් කර ඇත්තේ සම්පූර්ණ ලැයිස්තුවක් නොවන අතර, බදු ගෙවන්නන් විසින් මැතිවරණ සඳහා කරනු ලබන දැවැන්ත ආයෝජනයට සරිලන සේවයක් තහවුරු කරනු වස්, කාලීන වෙනස්කම්වලට අනුකූලව නිර්ණායක/කොන්දේසි එකතු කළ හැකිය.

B) ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ ක්‍රමය යටතේ, NEC විසින් නියම කර ඇති පරිදි බහු භාෂා කුසලතා, පරිගණක සාක්ෂරතාවය, විවාද කිරීමේ හැකියාව, සමාජ ඒකාබද්ධතාවය, දේශපාලනය, නීතිය, ආර්ථික සහ ගිණුම්කරණය පිළිබඳ දැනුම සහ පුළුල් චරිත
යෝග්‍යතාවය වැනි ගති ලක්ෂණ සඳහා සංඛ්‍යාත්මක අගයන් එකතු කළ යුතුය. තෝරාගැනීමේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා පක්ෂයන්ට අමතර වටිනාකම් කාණ්ඩ එකතු කළ හැක.

C) පක්ෂවල අදාළ කුසලතා ලැයිස්තුවල තේරී පත් විය හැකි ලෙස ස්ථානගත කිරීම සඳහා, කාන්තාවන් සහ තරුණයින් වෙනුවෙන් NEC විසින් නියම කරන ලද විශේෂ පූර්ව- සම්මුඛ පරීක්ෂණ ලකුණු එකතු කළ යුතුය. වෙනත් වචනවලින් කිවහොත්, සෑම අපේක්ෂකයන් 4 ක් තුළ කාන්තාවක් හා යෞවනයකු සිටිය යුතුය.
D) පක්ෂයන්ට ඔවුන්ගේ පූර්ව- සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය සහ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය පහසුවෙන් අවසන් කිරීමට හැකි වන පරිදි ඉහත කී අවම සුදුසුකම් නිර්ණායක සහ සම්මුඛ පරීක්ෂණ ලකුණු ව්‍යුහය නාමයෝජනා දිනට පෙර NEC විසින් නීති ගත කර දැන්විය යුතුය.

E) ඉන් පසුව, NEC විසින් පහත දක්වා ඇති ඕනෑම එක් ලැයිස්තුවක් භාවිතා කරමින්, පක්ෂ විසින් තම නාමිකයින්ගේ මූලික කුසලතා ලැයිස්තු 22 සකස් කර නිශ්චිත දිනයට පෙර NEC වෙත යැවිය යුතුය.

i ) කුසලතා අනුපිළිවෙළින් දිස්ත්‍රික් ලැයිස්තුව.

ii) 1978 ට පෙර කොට්ඨාස (ත්‍ඡඡ) ඡන්ද ක්‍රමයට අනුව, මැතිවරණ කොට්ඨාස මට්ටමින් කුසලතා ලැයිස්තුව. 196/225 අවශ්‍යතාවය සපුරාලීම සඳහා පක්ෂවලට තමන් තෝරාගත් විශාල මැතිවරණ කොට්ඨාසවලට එක් අපේක්ෂකයෙකුට වඩා නම් කළ හැක.

iii) මෑත කාලය දක්වා ජනතා විමුක්ති පෙරමුණ විසින් අනුගමනය කරන ලද කුසලතා අනුව මධ්‍යම නාම සංචිතය.

F) මහජන විරෝධතා නිශ්චිත දිනයකට පෙර ඉදිරිපත් කිරීම සඳහා, NEC විසින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් අවම වශයෙන් එක් ජාතික පුවත්පතක පක්ෂවල මූලික ලැයිස්තු (ඉහත E අනුව) ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කළ යුතුය.

G) NEC විසින් ඉදිරිපත් කරනු ලබන වලංගු විරෝධතා තිබේ නම්, පක්ෂ විසින් ඔවුන්ගේ ලැයිස්තු සංශෝධනය කර NEC වෙතින් අවසාන අනුමැතිය ලබා ගෙන ඒවා නාමයෝජනා දිනයේදී ලියාපදිංචි කිරීමට පෙර නැවත වරක් පුවත්පත්වල එම දේශපාලන වෘත්තිකයන්ගේ අවසන් ලැයිස්තු ප්‍රකාශයට පත් කළ යුතුය.

H) පක්ෂ විසින්, NEC ආකෘති අනුව දිවුරුම් ප්‍රකාශ හරහා තේරීම් භාර නිලධාරියාට නාමිකයින්ගේ සුදුසුකම්/ සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියේ නිවැරදි භාවය සහතික කළ යුතුය. තේරීම් භාර නිලධාරියා විසින් එවෙලේ හඳුනාගනු ලබන ඕනෑම, සාවද්‍ය තොරතුරක්/ප්‍රමාද දෝෂයක් වේ නම්, එය අවසාන දිනට පෙර නිදොස් කොට නැවත ඉදිරිපත් කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට හෝ ඉඩ දිය යුතුය. පසුව සොයාගනු ලැබුවහොත් මැතිවරණ පෙත්සමක් හරහා ක්‍රියා කළ හැක.

බර්නාඩ් ප්‍රනාන්දු
විශ්‍රාමික නියෝජ්‍ය මහා කළමනාකරු
ලංකා බැංකුව

advertistmentadvertistment
advertistmentadvertistment