සිස්ටම් චේන්ජ් නොකර, කුමට ‘නිදහස් හා සාධාරණ’ මැතිවරණ?

118

රටේ ආර්ථිකය අද මෙන් අඩාල නොවූ 2017 වසරේ සිට, රචක විසින් බලධාරීන්ට යෝජනා කළ මැතිවරණ ප්‍රතිසංස්කරණ මාලාවක එකක් වූයේ, මැතිවරණ වියදම් අඩුකර එහි ඵලදායිතාවය නංවාලීම සඳහා, වඩාත් පෑහෙන පාර්ලිමේන්තු සහ පළාත් සභා (PC) මැතිවරණ එකම දිනයක පවත්වන ලෙසයි. එපමණක් නොව, විධායක ජනාධිපති ධුරය, පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන (LGB) යනුවෙන් ස්ථර 04 කින් සමන්විත අපගේ දූෂිත හා ඵලදායී නොවන විමධ්‍යගත දේශපාලන පරිපාලන ව්‍යුහය වඩාත් අරමුණාත්මකව ඵලදායී බවට පත් කිරීම සඳහා, රචක විසින් 1997 සිට, පහළ මට්ටමේ LGB ස්ථරය දේශපාලනීකරණයෙන් ඉවත් කර, ‘ග්‍රාම රාජ්‍ය’ සංකල්පයට අනුකූලව, පුරවැසියන්ට පවරන ලෙස අඛණ්ඩව පෙන්වා දෙන ලදි. එය එසේ නොවීම නිසා, දේශපාලන පක්ෂග්‍රාහීත්වය, දූෂණය, ආත්මාර්ථකාමීත්වය සහ හීනමානය වැනි දුර්ගුණයන් පළාත් පාලන ආයතන තුළ පැලපදියම්වී, පුරවැසියන්ට සහ බදු ගෙවන්නන්ට ඒවා අද වනවිට තිත්ත වී ඇති බව නොරහසකි. මෙවන් තත්ත්වයක් තුළ, සමාජ සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරය (NMSJ) විසින් ග්‍රාම නිලධාරී කොට්ඨාස (GND) මට්ටමේ ජන සභා (JS) පිහිටුවීම සඳහා ඉතා යෝග්‍ය ආකෘතියක් සකස් කරමින් සුමක ‘ක්‍රම වෙනසක’ට මුලපුරා ඇත. එයට නිල පිළිගැනීමක් ලබා දීමේ ක්‍රියාවලිය අවසන් වෙමින් පවතින බවට රචක දැනුවත් වූ අතර, එයට අත්වැලක් වශයෙන්, දේශපාලන පක්ෂ අපේක්ෂකයන් වෙනුවට න්‍ී නියෝජිතයන් පත් කිරීම සඳහා සරල ක්‍රමවේදයක් සඳහන් රචකගේ යෝජනාවක් ද පසුගියදා පුවත්පත්වල පළවූ නමුත් එයට ද ප්‍රතිචාරයක් නොමැත .

එසේම, රටේ පවතින මජර දේශපාලන සංස්කෘතිය මනාව විදහා පාමින්, 1994 වසරේ සිට සෑම ප්‍රධාන පක්ෂයක්ම තම මූලික ප්‍රතිඥාව වශයෙන් ගෙන හැර දැක්වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, අද දක්වා සිදු නොවීම තුළ, එම තනතුර නිර්දේශපාලනය කර, කුලුනු 03 අතර තුලන හා සංවරණ ශක්තිමත් කිරීමට රචක කළ යෝජනාව ද හමස් පෙට්ටියට ගොස් ඇත.

ස්වෛරී ඡන්දදායකයින්ට ක්‍රම වෙනස්කම් යෝජනා කිරීමට අයිතියක් නැද්ද?

ඉහත සඳහන් යෝජනාවන්ද ඇතුළුව, මහ සහ පළාත් සභා මැතිවරණ හා ජනාධිපතිවරණ ක්‍රියාවලියන්හි ප්‍රතිසංස්කරණ අඩංගු, රචකගේ යෝජනාවලියක් කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විද්වත් නීතිඥ කමිටුව (2020), පාර්ලිමේන්තුව විසින් පත් කරන ලද මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ තේරීම් කාරක සභාව (2021), මැතිවරණ කොමිසම සහ ඡන්ද දායකයින් වෙනුවෙන් කැප වූ සිවිල් සංවිධාන වෙත (2021) යවන ලදි. ඒවා ලැබුණු බව දන්වා ඇතත්, ලැබෙන සාධාරණ ජනතා යෝජනා කිසිවක් තඹ දොයිතුවකට ගණන් නොගෙන, තමන්ගේම බල ව්‍යාපෘතිවල ඔවුන් යෙදී සිටින ආකාරය අපට ප්‍රහේලිකාවකි. තවද, පවතින දේශපාලන හා පරිපාලන යාන්ත්‍රණය තුළ රජයන දූෂණය, නාස්තිය හා හොරුන් ආරක්ෂා කිරීම යනාදිය වළකා, වියදම් අවම කර ඵලදායිතාවය සහ වගවීම සහතික කිරීම සඳහා රචක ඇතුළු ස්වෛරී ඡන්දදායකයින් විසින් කාලාන්තරයක් තිස්සේ තාර්කික සරල යෝජනාවලියන් අදාළ කමිටු, සංවිධාන හා බලධාරීන් හට ලිපි හා පුවත්පත් තුළින් ඉදිරිපත් කර ඇතත්, ඔවුන් ඒවාද ‘අලුරෑයම හෙලූ කෙළ පිඬක්’ ලෙසින් නොසලකා තමන්ට රිසි න්‍යායපත්‍රයන් ඔස්සේ කටයුතු කරමින් සිටිති. එවන් තත්ත්වයක් තුළ, සාමකාමී ‘අරගලයේ’ බුද්ධිමත් තරුණ පරපුර විසින්, ‘ක්‍රම වෙනස්කම්’ උග්‍ර ලෙස කරළියට ගෙන ඒම, අසරණ වූ නිහඬ ඡන්ද දායකයින්ට ඉමහත් ශක්තියක් වූ බව කිව යුතුය.

එහෙත් රටේ අවාසනාවට, ලැදියාවන් අතර ගැටුමක් (Conflict of interest) තිබියදීත්, යථෝක්ත කමිටු සාමාජිකයන් ලෙස නිල බලයෙන් පත්වන දේශපාලන පක්ෂ නියෝජිතයෝ, තමන් දැනට භුක්ති විඳින තත්වය, තාන්න මාන්න, වරප්‍රසාද හා පහසුකම් අහිමි වේ යැයි යන බියෙන්, එම ‘ක්‍රම වෙනස්කම්’ පසෙක තබා, බල පොරයක් තුළ, හයිඩ්‍රාවන් මෙන් බෙදී වෙන්වී, විශේෂයෙන් ප්‍රධාන විද්‍යුත් නාලිකාවල අනුග්‍රහයෙන් ‘ප්‍රයිම් ටයිම්’ ප්‍රවෘත්ති විකාශන තුළින් තම සුපුරුදු, ඉච්ඡා බස් හා රංගනයන්හි යෙදී සිටිති! රූපවාහිනිය තුළින් දිස්වන ඔවුන්ගේ ආක්‍රමණශීලී ස්වරයන් සහ හාස්‍යජනක බොරු පොරොන්දු තුළින් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ බලය අල්ලාගෙන සුපුරුදු පරිදි පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් තම දූෂිත හා ගැටුම්කාරී දේශපාලනය තවදුරටත් කරගෙන යෑමට අදිටන් කරගෙන සිටින බවයි. තවත් පැත්තකින් බදු ගෙවන්නාගේ වියදමින් තීරුබදු රහිත සුඛෝපභෝගී වාහන, විශ්‍රාම වැටුප්, පුද්ගලික කාර්ය මණ්ඩල ඇතුළු තවත් වරප්‍රසාද සහ දීමනාවලට කෑදර නවකයෝ පිරිසක්ද කැස කවමින් සිටිති! තවත් සමහර දේශපාලන පක්ෂ, බලයට පැමිණ සුළු ‘ක්‍රම වෙනසක්’ හෝ සිදු කර ‘අපි තමයි හොඳටම කළේ’ යන ’විරුදාවලිය’ හිමිකම් කීමට බලා සිටිති! මේ සියලු සංදර්ශනවල කුටප්‍රාප්තිය වන්නේ පළාත් පාලන මැතිවරණය දඩ මීමා කරගනිමින් මහමැතිවරණයක් තුළින් දැනට සිටින ’225’ හෝ ඒ හා සමාන තව ‘225’ ක් නැවතත් පාර්ලිමේන්තුවට වැඩම කරවීමය. එවිට ‘225 ම ගෙදර යවමු’ යන සටන් පාඨය නැවතත් සක්‍රීයවී රට අක්‍රීය වනු ඇත. නැවත නැවතත් සඳහන් කළ යුතු අපට තේරුම් ගත නොහැකි අනෙක් ජුගුප්සාජනක කාරණය නම්, ඇතැම් සිවිල් සහ ඡන්ද දායකයින් වෙනුවෙන් කැප වූ සංවිධාන සහ දේශපාලන වියතුන්ද, තම මූලික වගකීම් වන ජනතාව ඉල්ලා සිටින සාධනීය ‘ක්‍රම වෙනස්කම්’ පසෙක ලා, ඊනියා ‘නිදහස් හා සාධාරණ මැතිවරණයක්’ තුළින් ඡන්දදායකයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමේ මුවාවෙන්, පවතින අක්‍රමවත්, සංකීර්ණ, ඵලදායි නොවන, සහ අධි වියදම් සහිත මැතිවරණ ක්‍රියාවලියට නැවතත් ආවඩමින්, ‘ගොනාට පෙර කරත්තය’ හා ‘සෝද සෝදා මඩේ දැමීමේ’ ව්‍යායාමයක් සඳහා කූට දේශපාලනඥයන්ට උඩ ගෙඩි දීමයි!

බංකොලොත් රටකට යල් පැනපු අසාර්ථක ක්‍රම තවදුරටත් ක්‍රියාත්මක කළ හැකිද?

ඊනියා දේශපාලන වෘත්තිකයන්ට ‘මැතිවරණ උණ’ වැළඳ ගෙන, බදු වැඩි කිරීමට හා රැකියා අහිමිවීමට එරෙහිව දැනටමත් පාරට බැස ඇති අසරණ ජනතාවටද එය බෝකර, ඔවුන්ගේ දැවෙන ප්‍රශ්න පසෙක තැබීමට, කාලය මෙය නොවේ. දේශීය මෙන්ම විදේශීය දැවැන්ත ණය බර දරාගත නොහැකිව රට මරණාසන්නව සිටී.

එනිසා, රට සංවර්ධනය කෙරෙහි අවංක උනන්දුවක් දක්වන, බදු ගෙවන්නෝ/ස්වෛරී ඡන්දදායකයෝ, ‘තීරණාත්මක ක්‍රම වෙනස්කම්’ කඩිනමින් සිදුකිරීමෙන් පසුව, සැබෑ ‘නිදහස් හා සාධාරණ මහා මැතිවරණයක්, පළාත් සභා මැතිවරණයක් හා හැකිනම් අදාළ ජනමත විචාරණ ද එක දිනක පවත්වන තෙක් අපේක්ෂා දල්වාගෙන බලා සිටිති.

බර්නාඩ් ප්‍රනාන්දු
මොරටුව.
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment