සිසිලන පද්ධතිය සහිත බහුදින ධීවර යාත්‍රාවක් නිපදවීම විශාල පෙරළියක්

566

“පරණ ආර්ථික විද්‍යා පොතේ ධීවර කියලා කෑල්ලක් නෑ අලුත් සැලසුම් යටතේ ශ්‍රී ලාංකික ධීවරයා ලොවට පිවිසීම ක්‍රියාත්මක කරනවා” අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මුහුදෙන් නෙලාගන්නා මත්ස්‍ය අස්වැන්න සුරක්ෂිතව ගොඩබිමට ගෙන ඒම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දුන් සිසිලන පද්ධති සහිත ප්‍රථම බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට වරායෙන් ඉකුත් 03 දා දියත් කළ අවස්ථාවේදීය.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර මත පසු අස්වනු හානිය අවම කිරීම වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය. මෙම නියමු ව්‍යාපෘතිය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, නාරා ආයතනය, නර්ඩ් ආයතනය හා සීනෝර් යන ආයතනවල ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

අපේ මත්ස්‍ය නිෂ්පාදනයෙන් සියයට 40 ත් 60ත් අතර ප්‍රමාණයක් ගොඩබිමට ගේනකොට සුරක්ෂිත කර ගැනීමට බැරි නිසා සීයට සීයක ආදායමක් ලබාගන්න බැහැ. වඩාත් විශ්වාසනීය සැපයුම අඩු වෙනවා. නමුත් ධීවරයා මුහුණ දෙන වියදම අඩු වෙන්නේ නැහැ. යාන්ත්‍රික ලෙස මෝටර් බෝට්ටු බහුදින යාත්‍රාවලින් ධීවර කටයුතුවල නිරතව රැගෙන එන මත්ස්‍ය නිෂ්පාදනය විශාල ප්‍රමාණයක් ආරක්‍ෂා කරගන්නට යාත්‍රාවක් නිෂ්පාදනය කරල ධීවරයන් සඳහා ප්‍රයෝජනයට පත්කිරීම විශාල පෙරළියක්. අපේ නාස්තිය අඩුකර ගන්න පුළුවන් වන ප්‍රමාණයෙන් අපේ ජයග්‍රහණයේ ප්‍රමාණය ඉහළ යනවා. නව ක්‍රියාදාමය මගින් ධීවරයාගේ ආදායමට පමණක් නොව ඔහුගේ හා ඔහුගේ ජීවන වෘත්තියේ විශ්වාසයට දැවැන්ත ශක්තියක් බවට පරිවර්තනය වෙනවා. පරණ පොතේ ආර්ථික විද්‍යාවේ ධීවර කියලා කෑල්ලක් නැහැ. මෙච්චර කල් දත්ත සැපයුමේ ආර්ථික විශ්ලේෂණය ඇතුල්කරලා තිබුණේ කෘෂිකර්මය ඇතුළටයි. ධීවර කියන ක්‍ෂේත්‍රය ධීවර මාතෘකාව ස්වාධීන බවට පරිවර්තනය කර ස්වාධීන ලෙස ධීවර ක්‍ෂේත්‍රය නගාසිටුවීමේ අභියෝගය ආර්ථිකයට මහඟු රුකුලක් වෙනවා ඇති.

එහිදී අදහස් දැක්වූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා – ‘ධීවර ප්‍රජාවට ප්‍රශ්න රාශියක් තිබෙනවා. ඒ ප්‍රශ්න විසඳීමට අපි කැපවෙනවා. භූමිතෙල් මගින් ක්‍රියාත්මක වන ධීවර බෝට්ටු විසිහත්දහසක් පමණ අපේ රටේ තිබෙනවා. භූමිතෙල් මිල ගණන් වැඩිවීම නිසා ධීවර ජනතාවගේ ජීවනෝපාය අනතුරට පත්ව තිබෙනවා. ඒ නිසා අනෙක් පැත්තෙන්

පාරිභෝගික ජනතාවට අඩු මිලට මාළු ලබාදීමටත් නොහැකි වී තිබෙනවා.

මේ නිසා පිරිවැය අවම කර ගැනීම සඳහා අපි නවීන උපකරණයක් ඉදිරියේදී හඳුන්වා දෙන්න සූදානම්. බැටරි මගින් ක්‍රියාත්මක මේ උපකරණය මගින් අඩු මුදලකට මසුන් ඇල්ලීමට හැකි වෙනවා.

එහිදී අදහස් දැක්වූ ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා – මේ බහුදින යාත්‍රාවලින් අපට ලැබෙන මත්ස්‍ය සම්පත අපි නිවැරදිව නිසියාකාරව නෙළා ගන්නවාද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. මේ සියලු ගැටලු ඇතිවීමට ප්‍රධාන හේතුව තමයි නිවැරදි කළමනාකරණයක නිරත නොවීම. මේ අහිංසක ධීවර ජනතාව වෙනුවෙන් රටේ ආර්ථිකය වෙනුවෙන් ඉතා විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කරන්න පුළුවන්.

මේ වෙනකොට ධීවර ජනතාවගේ සුබසාධනය පිළිබඳ වගේම ඔවුන්ගේ අහිංසක දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳවත් ධීවර ජනතාවගේ සුරක්ෂිතතාවය පිළිබඳවත් රක්‍ෂණක්‍රමයක් සහ විශ්‍රාම ක්‍රමයක් හඳුන්වා දීලා ඒ ධීවර ජනතාවගේ දරුවන් වෙනුවෙන් ගිණුම් ක්‍රමයක් හඳුන්වා දීලා ධීවර ජනතාවගේ තියෙන ගැටලු ධීවර ජනතාව සමීපයටම ගිහිල්ලා විසඳීමට විශාල වැඩ කොටසක් මේ වෙනකොටත් ක්‍රියාත්මක කරගෙන යනවා.

advertistmentadvertistment
advertistmentadvertistment