සිසුන් ගැන තීරණය සරසවි සතු කාර්යයක් – ආචාර්ය සංගමයේ සභාපති

270

විශ්වවිද්‍යාලවලට ඇතුළත්වන සිසුන් උපාධිය සම්පූර්ණ කළ යුත්තේ කුමන වසර ගණනකින් ද යන්න තීරණය කළ යුත්තේ ඒ ඒ විශ්වවිද්‍යාල තුළ පවතින සනාතන සභාව විසින් යැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය ඕ. එම්. එච්. එස්. කේ. බන්නැහැක මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

විශ්වවිද්‍යාලයට ඇතුළත්වන සිසුන්ගේ පාඨමාලා කාලය වසර 04 ක් හෝ 05 ලෙස පවතී නම් ඒ හා සමාන තවත් වසර ගණනාවක් උපාධිය අවසන් කිරීම සඳහා ලබාදෙන බව ද බන්නැහැක මහතා පැවසීය. එසේ නොමැතිව සිසුන් උපාධිය අවසන් කළ යුත්තේ කුමන කාලයකින් ද යන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හෝ වෙනත් බාහිර පුද්ගලයකුට නොහැකි බව ද ඒ මහතා සඳහන් කර සිටියේය.

විශ්වවිද්‍යාලයට සිසුවකු ඇතුළත් වී අනතුරකට හෝ වෙනත් විශේෂ හේතුවක් නිසා උපාධිය අවසන් කිරීමට පාඨමාලා කාලය දීර්ඝ කළ යුතු නම් ඒ ගැන පාලක මණ්ඩලය (සනාතන සභාව) විසින් වසර 08 ක් ද 10ක් ද ඊටත් අමතරව තවත් අමතර වසරක් ලබාදෙනවාද යන්න තීරණය කරන බව ද බන්නැහැක මහතා කීය.

විශ්වවිද්‍යාලවල පවතින සම්පත් අනුව ඒ ඒ විශ්වවිද්‍යාලවල මහාචාර්ය, ආචාර්යවරුන් ප්‍රමුඛ පාලක මණ්ඩලය පාඨමාලාව අනුව කාලය තීරණය කළ යුතු වේ.

ඒ සඳහා පාඨමාලා කාලය අවසන් කළ සිසුන් ද අමතරව ගෙන්වා ගන්නවාද යන්න එම පාලක මණ්ඩලය විසින් තීරණය කරන බව ද ඒ මහතා කීය. මේ සම්බන්ධයෙන් මේ සතිය ඇතුළත මාධ්‍ය හමුවක් පවත්වමින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවද බන්නැහැක මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment