සිසුවකුට දුන් දඬුවමක් නිසා සෙල්ලකතරගම රත්වෙයි – ගුරුවරයා රැකගන්න දෙමාපියන් පෙරට එයි

899

කතරගම, සෙල්ල කතරගම මහ විදුහලේ විනය භාර ගුරුවරයා විසින් එම විදුහලේ හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පිරිමි ළමයෙකුට පහර දීමක් සිදුකළැයි පවසමින් එම ළමයාගේ මව විසින් කතරගම පොලීසිය වෙත පැමිණිල්ලක් කිරීමෙන් පසු එම ගුරුවරයා අත්අඩංගුවට ගැනීම හා අධිකරණයට ඉදිරිපත් කිරීමක් නොකරන ලෙස එම විදුහලේ ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ දෙමාපියන් දහසකට (1000) ආසන්න පිරිසක් සෙල්ල කතරගම සිට පාගමනින් කතරගම පොලීසියට පෙරේදා (21දා) දින සවස පැමිණියහ.

සිසුවකුට දුන් දඬුවමක් නිසා සෙල්ලකතරගම රත්වෙයි - ගුරුවරයා රැකගන්න දෙමාපියන් පෙරට එයි

මේ පිරිස පැමිණීමත් සමග කතරගම පොලිසියේ ප්‍රධාන ගේට්ටුව වසා පොලිස් ආරක්ෂාව යොදා තිබූ අතර පැමිණි පිරිසෙන් පස්දෙනෙකුට හා ජනමාධ්‍යවේදීන්ට පොලිසිය ඇතුළට ඒමට අවසර හිමි විය. ඒ අනුව කතරගම පොලිස් ස්ථානාධිපති මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධ මහතා හමුවට පැමිණි දෙමව්පියන් ඉල්ලා සිටියේ පාසලේ විනය භාර ගුරුවරයා අත්අඩංගුවට ගැනීම හා අධිකරණයට යොමු කිරීම වළක්වා දෙන ලෙසත් එක ළමයෙක් වෙනුවෙන් දරුවන් දහසක් ඉගෙනුම ලබන පාසලක ගුරුවරුන් අධෛර්යමත් වුණොත් සමස්ත රටේම අනාගතය අඳුරු වන බවත් විනය විරෝධී ක්‍රියා නිසා ළමයෙකුට ගුරුවරයා දඬුවම් කළ විට ගුරුවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට යොමු කළහොත් සමස්ත රටේම ගුරුවරු නිසි ලෙස දරුවන්ට අධ්‍යාපනය ලබා නොදීම සිදුවිය හැකි බවත් තවද ගුරු වෘත්තීය සමිති යම් ක්‍රියාමාර්ගයක නිරත වුවහොත් සමස්ත රටේම දරුවන්ගේ හෙට දවස අඳුරු වන බැවින් වැරදි පූර්වාදර්ශයක් රටට නොදීමට කටයුතු කරන ලෙසත් ගුරුවරයාට විරුද්ධව පොලිසිය වෙත යොමු කර ඇති පැමිණිල්ල විභාග කිරීමට ගුරුවරයා පොලිසියට කැඳවා නොගෙන පොලිස් නිලධාරියකු පාසලට ගොස් පැමිණිල්ල විභාග කරන ලෙසත් පොලිස් ස්ථානාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළහ.

කතරගම පොලිසියේ ස්ථානාධිපති අනුරුද්ධ මහතා කියා සිටියේ පොලිස් ස්ථානයට ඕනෑම අයෙකුට පැමිණිල්ලක් සටහන් කිරීමට අවස්ථාව තිබෙන අතර එය පොලිස් නිලධාරීන් විසින් විමර්ශනය කර එළැඹෙන තීරණ අනුව අත්අඩංගුවට ගැනීම හා අධිකරණයට ඉදිරිපත් කිරීම කරන අතර අත්අඩංගුවට ගැනීම හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමට විමර්ශනය අවසන් නොමැති බවත් ඔබ කියන පරිදි විනය භාර ගුරුතුමා වරදක් කර නැතිනම් මව විසින් බොරු පැමිණිල්ලක් සටහන් කර ඇත්නම් එයට ද නීතිය ක්‍රියාත්මක කරන බවය.

ඒ අනුව ගුරුවරයා පොලිසියට කැඳවා පරීක්ෂණ සිදු කිරීම නොකරන ලෙස ඉල්ලා සිටින හෙයින් මගේ නිලධාරියෙකු පාසලට යොමු කොට පරීක්ෂණ කිරීමට ද අවස්ථාව ලබාදෙන බව ස්ථානාධිපතිතුමා ප්‍රකාශ කිරීමෙන් පසු පිරිස පොලිස් ස්ථානයෙන් එළියට පැමිණ ගේට්ටුව ළඟ රැඳී සිටි දහසකට ආසන්න පිරිසට පවසා සිටියේ ගුරුවරයා අත්අඩංගුවට ගැනීම නොකරන බවත් එසේ යම් හෙයකින් ගුරුවරයා අත්අඩංගුවට ගැනීම සිදු වුවහොත් නැවතත් මෙලෙසම කතරගම පොලිස් ස්ථානයට පිරිස පැමිණෙන බවය. ඉන්පසු පිරිස සාමකාමීව විසිර යාම සිදුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment